එකකට එකක් වෙනස් රසවත්ම කේක් වර්ග 5ක් ගෙදරදීම හදාගමු!

පාන් වලින් විකාශනය වෙලා ඇවිත් අතුරුපසක් විදියට සැකසෙන කේක් වල බේසික් ලෙවල් එක තමා බටර් කේක් කියන්නෙ. ඒ කාලෙ එහෙම උනාට දැන් දැන් කේක් වර්ග ගණනාවක්ම තියෙනව. විවිධාකාරයෙන් කළ එළි බහින මේ කේක් වර්ග වලින් රසවත්ම කේක් වර්ග කිහිපයක් ඔයාලට අරන් එන්න අපි හිතුව. හැමදාම කන බටර් කේක්, චොකලට් කේක් පොඩ්ඩක් පැත්තකට කරල අළුත්ම කේක් වර්ගයක රස බලමුද?

 

අයිසින් රෙසිපි 1 කොටස මෙතනින් කියවන්න

අයිසින් රෙසිපි 2 කොටස මෙතනින් කියවන්න

රසවත්ම චොකලට් කේක් වර්ග හදාගන්න හැටි ගැන දැනගන්න මෙතනින් කියවන්න

 

1. රෙඩ් වෙල්වට් කේක්

Image Source – delish.com

රෙඩ් වෙල්වට් කේක් හදන ක්‍රම කීපයක්ම තියෙනව. වඩාත් පහසු සහ සරල ක්‍රමයක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 2 1/2
  2. සීනි කප් 2
  3. බටර් කප් 1
  4. බිත්තර 2
  5. වැනිලා තේ හැන්දයි
  6. කොකෝවා පවුඩර් මේස හැඳි 2
  7. බේකින් සෝඩා (ආප්ප සෝඩා) තේ හැන්දයි
  8. බටර්මිල්ක් කප් 1 (බටර්මිල්ක් නැත්නම් දෙහි යුශ මේස හැන්දක් එක් කර විනාඩි 5ක් තියාගත් කිරි කප් 1)
  9. රතු පාට ලික්විඩ් කලරින් මේස හැඳි 2

සාදන ආකාරය

  • පිටි, කොකෝවා සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කරගෙන තුන් වරක් හලාගන්න. වෙනම පොඩි බඳුනක බටර්මිල්ක්, වැනිලා සහ කලරින් මිශ්‍ර කරගෙන පසෙකින් තියාගන්න.
  • ලොකු බඳුනක් ගෙන එයට බටර් සහ සීනි එක් කර ක්‍රීම් වනතුරු බීට් කරගන්න. මිශ්‍රණය ක්‍රීම් වූ පසු එයට ගෑරප්පුවකින් ගසාගත් බිත්තර ටික ටික එක් කරමින් බීට් කරගන්න.
  • එයට පිටි මිශ්‍රණය ටිකෙන් ටික එක් කරමින් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
  • පිටි හොඳින් මිශ්‍ර කර ගත් පසු බටර්මිල්ක් මිශ්‍රණය එක් කර නැවත විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • බේකින් ට්‍රේ එකට දමා සෙල්සියස් 180ට ප්‍රී හීට් කළ උඳුනක විනාඩි 30-35ක් අතර කාලයක් බේක් කරගන්න.
  • ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එකෙන් සරසාගන්න. (මේ ලිපියේ ෆ්‍රොස්ටින් එක ඇතුළත්)

 

2. බනානා කේක්

Image Source – delish.com

කෙසෙල් වැඩිපුර ඉතිරි වෙන සිංහල අවුරුදු කාලෙට හදන්න ඔන්න කියාපු කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 2 1/2
  2. බේකින් සෝඩා මේස හැඳි 1
  3. බටර් කප් 1/2
  4. සීනි කප් 1
  5. දුඹුරු සීනි කප් 3/4
  6. බිත්තර 2
  7. පොඩි කරගත් හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 5
  8. බටර්මිල්ක් කප් 1 (බටර්මිල්ක් නැත්නම් දෙහි යුශ මේස හැන්දක් එක් කර විනාඩි 5ක් තියාගත් කිරි කප් 1)
  9. චොප් කරගත් කජු කප් 1/2
  10. කෝන් ෆ්ලා වල දවටා වැඩිපුර පිටි ඉවත් කරගත් වියලි මිදි කප්¼

සාදන ආකාරය

  • පිටි සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර තුන්වරක් හලා පසෙකින් තියාගන්න.
  • වෙනම බෝල් එකක බටර් සහ සීනි වර්ග දෙක හොඳින් ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයටම බිත්තර එකින් එක එක් කර බීට් කරගන්න. කෙසෙල් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • එයට පිටි සහ බටර්මිල්ක් මාරුවෙන් මාරුවට ටිකෙන් ටික එක් කරමින් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
  • අවසානයට කජු සහ වියලි මිදි එක් කර මිශ්‍ර කරගෙන සකසාගත් බේකින් තැටියක දමා සෙල්සියස් 175ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 30-35ක් බේක් කරගන්න.
  • මේ කේක් එක කැමති නම් චොකලට් සෝස් වලින් සරසගන්න පුළුවන්.

 

3. කැරට් කේක්

Image Source – kingarthurflour.com

කැරට් එළවළුවක් විදියට පාවිච්චි කරල එපා උන අයටයි මේ රසවත් කැරට් කේක් එක.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි කප් 2
  2. සීනි කප් 2
  3. එළවළු තෙල් කප් 1 1/4
  4. බිත්තර 4
  5. වැනිලා තේ හැන්දයි
  6. බේකින් සෝඩා තේ හැඳි 2
  7. ග්‍රේට් කරගත් කැරට් කප් 3
  8. චොප් කරගත් කජු කප් 1

සාදන ආකාරය

  • පිටි සහ බේකින් සෝඩා එකට මිශ්‍ර කර තුන්වරක් හලාගෙන පසෙකින් තියාගන්න.
  • වෙනම බඳුනක තෙල්, සීනි සහ වැනිලා එකට එක් කර හොඳින් බීට් කරගෙන එයට බිත්තර එකින් එක එක් කරන ගමන් බීට් කරගන්න.
  • පැතලි හැන්දක් ගෙන බිත්තර මිශ්‍රණයට පිටි එක් කරන ගමන් පෙරලමින් මිශ්‍ර කරගන්න. එයට කැරට් සහ කජු එක් කර මිශ්‍ර කරගෙන සෙල්සියස් 175ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 35-40ක් බේක් කරගන්න.
  • ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එකෙන් සරසගන්න.

 

4. චීස් කේක්

Image Source – myrecipes.com

කේක් කිව්වට මේක පෙනුමට ටාට් එකක් වගේ. නෝ බේක් සහ බේක්ඩ් වර්ග දෙකක් තියෙනව. මේ රෙසිපි එක බේක් කරල හදන චීස් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ක්‍රස්ට් එකට
  1. කුඩු කරගත් බටර් කුකීස් කප් 1 1/2
  2. සීනි කප් 1/2
  3. දියකරගත් බටර් කප් 1/2
  • ෆිලින් එකට
  1. ක්‍රීම් චීස් 220g
  2. බිත්තර 5
  3. වෙනම බිත්තර කහමද 2
  4. සීනි කප් 1 3/4
  5. පිටි කප් 1/8
  6. විපින් ක්‍රීම් කප් 1/4

සාදන ආකාරය

  • ක්‍රස්ට් එකට දී ඇති සියල්ල එකට මිශ්‍ර කර ස්ප්‍රින්ග් ෆෝර්ම් පෑන් එකක අඩියට දමා හොඳින් තද කරගන්න.
  • වෙනම බඳුනක චීස්, බිත්තර සහ කහමද දෙක එකට බීට් කරගන්න. එයට සීනි පිටි සහ විපින් ක්‍රීම් එක් කර නැවත බීට් කරගෙන සකස් කරගත් පෑන් එකට පුරවාගන්න.
  • සෙල්සියස් 200ට ප්‍රීහීට් කරගත් උඳුනක විනාඩි 10ක් බේක් කරගෙන උෂ්ණත්වය සෙල්සියස් 100ට අඩු කර විනාඩි 45-50ක් බේක් කරගන්න.
  • හොඳින් නිවෙන්නට හැර ශීතකරගන්න. ස්ටූ කරගත් ස්ට්‍රෝබෙරි/ස්ට්‍රෝබෙරි ජෙලි/ ස්ට්‍රෝබෙරි ජෑම් වලින් සරසාගෙන නැවත ශීතකරණයේ තබන්න.

 

5. කොෆී කේක්

Image Source – myrecipes.com

ලේසියෙන්ම හදාගන්න පුළුවන් කේක් එකක්. මේ දීල තියෙන ෆ්‍රොස්ටින් එකට නැතුව චොකලට් ෆ්‍රොස්ටින් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • කේක් එකට
  1. සීනි 170g
  2. පිටි 170g
  3. බටර් 170g
  4. බිත්තර 3
  5. බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
  6. උණු වතුර මේස හැන්දක දිය කරගත් ක්ෂණික කෝපි මේස හැන්දක්
  • ෆ්‍රොස්ටින් එකට
  1. අයිසින් සීනි 225g
  2. බටර් 100g
  3. උණුවතුර මේස හැඳි 1ක දිය කරගත් ක්ෂණික කෝපි මේස හැඳි 1 1/2

සාදන ආකාරය

  • සීනි සහ බටර් බෝල් එකක දමා බීට් කරගන්න. එයට බිත්තර එකින් එක එක් කරන ගමන් හොඳින් බීට් කරගන්න.
  • බේකින් පවුඩර් සහ පිටි එකට මිශ්‍ර කරගෙන වරක් හලාගෙන බිත්තර බටර් මිශ්‍රණයට ටිකෙන් ටික එකතු කරමින් විස්ක් එකකින් මිශ්‍ර කරගන්න.
  • එයට කෝපි එක් කර මිශ්‍ර කරගෙන සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් උඳුනක විනාඩි 25-30ක් බේක් කරගන්න.
  • හොඳින් නිවෙන්නට හරින්න. ෆ්‍රොස්ටින් එකට අවශ්‍ය ද්‍රව්‍ය වලින් බටර් සහ අයිසින් ශුගර් හොඳින් බීට් කරගෙන එයට කෝපි එක් කර නැවත බීට් කරගෙන නිවාගත් කේක් එක කැමති ආකාරයකට සරසගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *