කොළඹ අවටින් සබ්මැරීන් කන්න හොඳ තැන් 7ක්

අලුත් තාලේ කෑම බීම අතරේ පංකාදු පහේ කෑමක් තමයි සබ්මැරීන් කියන්නේ. හොඳ සබ් එකක් කෑවා නම් ඉතින් බඩේ වෙන දෙයක් කන්න ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ සබ් එකක් වෙන්න නම් ඒක බඩගින්නක් නිවන්න තරම් ප්‍රමාණවත් වෙන්න ඕනි. රහත් සුපිරියක් වෙන්න ඕනි. එහෙමයි කියලා ගිණි ගණන් වෙන්නත් බැහැ. ඉතින් එහෙම සබක් කන්න කොළොම්පුරේ ඇවිදිනවා නම් මේ තැන් අමතක කරොත් ඒක ලොකු අපරාධයක්.

 

1. Dinemore

Image Source – yamu.lk

මෙයාලා කොහොමත් ප්‍රසිද්ධ ඉස්තරම්ම සබ් නිසා. කොළඹ තැන් කීපයකම වාගේ Dinemore කට්ටිය ඉන්නවා. කොළඹින් පිටත් ඉන්නවා. කොළොම්පුරේ ගැන කතා කරෝතින් මැරීන් ඩ්‍රයිව් එකේ, බ්‍රේබෲක් පෙදෙසේ, කොහුවල, ධර්මපාල මාවතේ, තර්ස්ටන් එක පාරේ වගේ තැන් කීපයකම තියනවා. එක සබ් එකක් තනියෙන් කාගන්න නම් ලෙසටම බඩගින්නක් තියෙන්න ඕනි. නිකන් ආතල් එකට කියලා හිතාගෙන කන්න යනවා නම් එකක් දෙන්නෙක්ට හොඳටම ඇති. චිකන්, ස්පයිසි චිකන්, ටූනා, බීෆ්, ඉස්සෝ වගේම වෙජිටබල් සබ් වර්ගත් තියෙනවා. ස්පයිසි චිකන් නම් ටොප්. සබ් එකත් එක්කම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙමත් ලැබෙනවා.

අවන්හල් තියන තැන් ගැන තොරතුරු මෙතනින්

 

2. Fazly’s Halal Refreshments

Image Source – yamu.lk

කාලෙකට කලින් Burger’s King කියලා නම් දරාපු අයමයි මේ නම වෙනස් කරන් ඉන්නේ. අපූරු ම දේ තමයි මෙයාලා කෑම කඩේ අරින්නේ 4.30ට. පාන්දර 2 විතර වෙනකන් ඉතින් මෙතන ෆුල් හැපනින්. ඇයි ඉතින් 12න් පස්සේ ගොඩක් කඩ වහනවා. එහෙම තියැද්දී පොකැට් එකට නොදැනී රහ දෙයක් බඩට දාගන්න මීට වඩා තව කොහේ ද? අතොරක් නැති කෑමබීම අතරේ ඔන්න තියෙනවා සබ්. තඩි ම තඩි සබ් එකක් කාගන්න බැරි නම් පොඩි සයිස් එකටත් තියෙනවා. චිකන්, චිකන් මිනි, ටූනා, ටූනා මිනි විදියට චූටි චූටි සයිස් එකේ සබ් එහෙමත් ගන්න පුළුවනි.

3. OLEAF Cafe & Family Restaurant

Image Source – tasty.lk

ඕලීෆ් එක අලුතින්ම එකතු වුණ තැනක්. මහරගම හයිලෙවල් පාරේ තමයි පිහිටලා තියෙන්නේ. හඳුනාගන්න හරිම ලේසි වෙන්නේ මේකේ සැලසුම්කරණය එක්ක තමයි. එළියේ ඉඳන් බැලුවත් ඇතුළට ගියත් ගහක් දිහා බලනවා වගෙයි දැනෙන්නේ. සබ් වර්ග නහුතෙට තිබ්බත් මෙතැන දී කන්න ඕනි ම සබ් එක තමයි මට්න් සබ් එක. සබ්මැරීන් දෙන ඕනිම තැනක තියන අනෙකුත් සාම්ප්‍රදායික සබ් වර්ග තමයි තියෙන්නේ. මේත් එක්ක ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ලැබෙනවා හැබැයි සාගරේක තරම් ලුණු ගොඩක් එක්ක. අන්න ඒ නිසා සබ් එකක් ඕඩර් කරපු ගමන් ලුණු අඩුවෙන් දාන්න කියලා මතක් කරලා කියන්න.

4. Leesh Sandwich Bar

Image Source – facebook.com

මහරගම ඉඳන් කෙලින්ම හයිලෙවල් එකේ නුගේගොඩ පැත්තට ආවාම සැසිප් එක හරියේ මේ හුරුබුහුටි කඩ පොඩ්ඩ දැකගන්න පුළුවන්. ජෝඩුවක් එකතු වෙලා තමයි මේ තැන පවත්වාගෙන යන්නේ. චිකන්, සොසේජ්, ස්මෝක්ඩ් චිකන්, ටූනා වගේ සබ් වර්ග තියනවා. ප්‍රමාණය අතින් ගත්තාම කාගන්න අමාරු තත්ත්වෙක නැහැ. එහෙමයි කියලා බඩට දැනෙන්නේවත් නැති තත්ත්වෙකත් නැහැ. ඒ කිව්වේ හරි ගාණට. ගොඩක් වෙලාවට සෑහෙන ජනකායකින් පිරිලා ඉතිරිලා යනවා. එහෙමයි කියලා හදිස්සියට හදලා මේසෙට එවන්නේ නැහැ.

5. Royal Burger

Image Source – facebook.com

හයිලෙවල් පාරෙන් ගැලවීමක් නැති හැඩයි. දැන් එන්නේ හැව්ලොක් ටවුමට. රෝයල් ඉන්ස්ටිටියුට් එක ළඟ තමයි තියෙන්නේ. එළියෙන් බලද්දී ඒ තරම් ලකයක් පේන්න නැහැ. කුඩා ඉඩක පිහිටලා තිබ්බත් මහා ලොකු තදබදයක් ඇති වෙන්නේ නැහැ. චිකන් සබ් එක ලොකු පොඩි විදියට දෙවර්ගයකින් එනවා. ඒකත් නිකන් ම සබ් එක හෝ මීල් එකක් වශයෙන් ගන්න පුළුවන්. මීල් එකට එන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ මේයෝ සෝස් එකත් මාරම රහයි. ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියක ටච් එකක් තමයි කෑමේ දකින්න ලැබෙන්නේ.

6. Paan Paan

Image Source – facebook.com

ශ්‍රී ලංකාවේ බේකරි කර්මාන්තයේ මෑත කාලයේ නම් දරාපු කට්ටියක් තමයි මේ. සබ්මැරීන්වලිනුත් අනෙක් අවන්හල්වලට තරඟයක් දෙන්න පුළුවන් තරමේ සබ් මෙයාලා ගාව තියනවා. සබ් එකේ පාන් වර්ගය, ප්‍රමාණය සහ පිරවුම තෝරගැනීමට පුළුවන්. ඉතින් ඒ පිරවුම අනුව බාබකිව්, ටෙරියාකි, තන්දුරි චිකන් වගේ ම ටූනා, බීෆ් සබ් තියනවා. හැව්ලොක් ටවුමේ, ඇල්ෆ්‍රඩ් හවුසියේ වගේම Odel, Cool Planet වගේ ජනතාව නිතර ගැවසෙන ස්ථානවලත් Paan Paan කට්ටිය ඉන්නවා.

අවන්හල් තියන තැන් ගැන තොරතුරු මෙතනින්

 

7. Subway

Image Source – facebook.com

ලෝකයේ ප්‍රසිද්ධ අවන්හල් ජාලයක ශ්‍රී ලාංකික නැවතුමයි මේ. කලින් සඳහන් කරපු හැම තැනක් ම සබ්වලට විතරක් වෙන් වෙලා නැහැ. හැබැයි මේක නමින් ම තේරෙනවනේ. කොල්ලුපිටිය, රාජගිරිය, කොටුව කියන තැන්වල Subway අවන්හල් දැකගන්න පුළුවන්. අපි අනෙක් තැන්වල දී අපිට කැමති සබ් එක මෙනූ එක දිහා බලන් ඕඩර් කරනවා. එච්චරයි. නමුත් Subway එකේ දී අපිට සබ් එකේ පාන් වර්ගය, මස්, එළවළු වර්ග, සෝස් කියන දේ සම්බන්ධ තෝරාගැනීමක් කරන්න පුළුවන්. මේ අවන්හල් ජාලය සෑහෙන උන්මාදයක් ඇති කළා. නමුත් දැන් අතිශය සාමාන්‍යකරණය වෙලා කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අනෙක් අවන්හල් මොවුන්ට හොඳ තරඟයක් දෙනවා කියන එකයි.

අවන්හල් තියන තැන් ගැන තොරතුරු මෙතනින්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *