චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන් ගැන රසවත් කතා

දවසක් කෙනෙක් මහගමසේකරගෙන් අහනවා “සමකාලීන ගීතරචකයන් අතරින් විශිෂ්ටතමයා ඔබ නේද?” කියලා. සේකර උත්තර දෙනවා “නෑ, කොහෙත්ම නෑ, මානවේ” කියලා. සේකර “මානවේ” කියලා හැඳින්වුවේ “ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ” සූරීන්ව. අපි අද චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්ව හඳුනන්නේ ගීත රචකයෙක් සහ කවියෙක් විදිහට. මොකද එතුමා ලියපු ගීත තාමත් අපි අතර ජනප්‍රියයි. ඒ වගේම එතුමා පුවත්පත් කලාවේදියෙක්, ළමා කතා රචකයෙක්, මූර්ති ශිල්පියෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. මානවසිංහ මහත්තයාගේ ජීවිතය චමත්කාරජනක ජීවිතයක්. කාලයක් මහණ වෙලා ඉඳලා සිවුරු ඇරලා පුවත්පත් කලාවේදියෙක් වෙනකන් ගිය ගමන පුදුමාකාරයි. ඒ නිසා අපි අද මානවසිංහ මහත්තයාගේ ජීවිතයේ රස මුසු තැන් කීපයක් ගැන කතා කරන්න හිතුවා.

 

1. මානවසිංහට දඹුල්ලේදි හමුවුණේ කවුද?

Image Source – irishtimes.com

මානවසිංහ මහත්තයා තරුණ කාලේ දඹුල්ල විහාරයේ නැවතිලා ඉඳලා තියෙනවා. (දඹුල්ලට එන්න වුණු කතාවත් අමුතුම කතාවක්) දවසක් දඹුලු විහාරය බලන්න මහලු විදේශිකයෙකුයි ලංකාවේ මඟ පෙන්නන්නෙකුයි එනවා. දඹුල්ලේ චිත්‍ර බල බල මේ විදේශිකයා මඟ පෙන්වන්නාගෙන් ප්‍රශ්න අහනවා. උත්තර නැතුව නිරුත්තර වෙන මඟ පෙන්වන්නා ඒ අසල හිටපු මානවසිංහගේ උදව් ඉල්ලනවා. විදේශිකයා අහනවා “බුදු හාමුදුරුවන්ගේ හිස වටේ රැස් වළල්ලක් නිරූපණය කරලා තියෙන්නේ බුදු හාමුදුරුවන්ව අතිමානුෂික කෙනෙක් හැටියට නිරූපණය කරන්නද?” කියලා. මානවසිංහ උත්තර දෙනවා “එහෙම අතිමානුෂික බවක් නිරූපණය කරන්න නෙමේ, බුදුහාමුදුරුවන්ගේ අසමසම බව නිරූපණය කරන්න චිත්‍ර කලා ශිල්පීන් භාවිතා කරපු එක උපක්‍රමයක්” කියලා. මේ උත්තරයෙන් අසීමිතව සතුටට පත්වෙන විදේශිකයා මානවසිංහට ප්‍රශංසා කරනවා. එතකොට ඒ මඟ පෙන්වන්නා ඒ විදේශිකයා කවුද කියලා මානවසිංහට කියනවා. ඒ තමයි ලෝක පූජිත ගත්කතුවර “ජෝර්ජ් බර්නාඩ් ෂෝ”. මේ නිසා බර්නාඩ් ෂෝ ගැන මානවසිංහ මහත්තයට ලොකු ලැදියාවක් ඇති වෙනවා. ෂෝගේ ඡායාරූපයක් මානවසිංහගේ ගෙදර ආලින්දයේ එල්ලනවා වගේම ෂෝ මියගිය අවස්ථාවේදි මානවසිංහ සමරු ගීතයකුත් රචනා කරනවා.

 

2. කවුද අකමැති තමන්ගේ නෝනගේ ලස්සන ගැන අහන්න

Image Source – apekattiya.wordpress.com

මානවසිංහ මහත්තයා සෙත්කවි රචකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. මානවසිංහ ලියන සෙත්කවියක් කියෙව්වම වැඩේ කිරි ගහට හරි යනවා කියලා ලොකු විශ්වාසයක් ඒ දවස්වල පැතිරිලා තිබ්බා. දවසක් කෙනෙක් කතරගම දෙවියන් ඉස්සරහ කියන්න ගැලපෙන සෙත් කවියක් ලියලා දෙන්න කිව්වම මානවසිංහ මෙන්න මෙහෙම කවියක් ලිව්වලු.

“ගාන මනෝහර ගීත රසේ විඳ දේව කුලේ අබිරූපිනියන් පෑ කෝමල නාටක මෝහනයේ

පීන පයෝදර කම්පිත ලාලිත වල්ලිය දවානී ඔදගන්වා සේවිත සීත සමීරණයේ

පේන නිසාකර කෝටි පබාකර කන්ද කුමාර සුරදිපයාණෙනි රන් මයුරාසනයේ

ඩී. ඇම්. පී ගුණසේකරයන් හට දෙන් ගුණ සංකට මෝචනයේ”

මේ කවිය දකින අදාළ පුද්ගලයා ඇහුවලු “මානවසිංහ මහත්තයා මේ කවියේ කතරගම දෙවියන්ට වඩා වල්ලි අම්මා ගැන නේද ලියලා තියෙන්නේ?” කියලා. මානවසිංහ කිව්වලු “තමන්ගේ නෝනා ලස්සනයි කියලා අහගන්න ඕන මිනිහෙක් ආසයිනේ, වල්ලි අම්මා ලස්සනයි කිව්වම කතරගම දෙයියොත් සන්තෝස වෙලා වැඩෙත් හරියට කරලා දෙයි” කියලා.

 

3. මානවසිංහ කොහේ හෝ ඇත = සපත්තු කුට්ටම ඇත

මානවසිංහ මහත්තයා ලංකාදීප පත්තරේ වැඩ කරන කාලේ ඔෆිස් එකට ආපු ගමන් කරන පළවෙනි වැඩේ තමයි සපත්තු කුට්ටම ගලවලා මේසය යටට දාන එක. ආපහු සපත්තු කුට්ටම දාන්නේ ගෙදර යන වෙලාවට විතරයි. ඒ අතරතුර කාලේ ඔෆිස් එක පුරාවට විතරක් නෙමෙයි, කෑම කන්න කොටුවට යන්නෙත් මානවසිංහ සපත්තු නැතුව. කොටින්ම ලංකාදීපේ ප්‍රධාන කර්තෘ වෙලා හිටිය ඩී. බී ධනපාල මහත්තයා පවා මානවසිංහ එදා වැඩට ඇවිල්ලද කියලා දැනගන්නේ මේස යට තියෙන සපත්තු දෙකෙන්. දවසක් උඩකැන්දවෙල සරණංකර හාමුදුරුවෝ ලංකාදීප කාර්යාලයට එනවා මානවසිංහව මුණ ගැහෙන්න. මානවසිංහ ඉන්නවද කියලා සේවකයෙක්ගෙන් ඇහුවාම ඒ මනුස්සයා මේසේ යටට එබිලා “අනේ නෑ හාමුදුරුවනේ, තාම ඇවිත් නෑ” කියලා උත්තර දෙනවා. හාමුදුරුවෝ හිතන්නේ මේ මනුස්සයා තමන්වහන්සේව විහිළුවට ගත්තා කියලා. ඒත් ඒ අවස්ථාවේ හිටපු අනිත් අය වුණේ මොකද්ද කියලා හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේ සපත්තු කුට්ටම තියන  විශේෂම වාර්තාව වෙන්නේ සපත්තු කුට්ටම කොළඹ තියෙද්දි අයිතිකාරයා වලස්මුල්ලේ දේශපාලන වේදිකාවක කතා කරන එක. 😀

 

4. සෙනසුරු අපලේ

Image Source – apekattiya.wordpress.com

ධර්මසිරි ජයකොඩි ලංකාදීප පත්‍රයේම සේවය කරපු තවත් මාධ්‍යවේදියෙක්. ජයකොඩි තමන්ගේ කෙන්දරේ මානවසිංහ මහත්තයා ගාවට ගෙන්නේ තමන්ගේ අනාගතය ගැන දැනගන්න. කේන්ද්‍රය බලන මානවසිංහ සෙනසුරු අපලයක් තියෙනවා කියලා ජයකොඩිට කියනවා. ඊට පස්සේ දෙන්නා අතර ඇති වෙන්නේ මෙන්න මේ වගේ සංවාදයක්.

“ඉතින් මානවේ මොකද වෙන්නේ?”

“මුකුත් වෙන්නේ නෑ”

“ඇයි ඒ?”

“උඹට සෙනසුරා ලබනවා වගේම සෙනසුරාට උඹව ලබනවා”

 

5. හුලං ගිය ඉලංගරත්න

Image Source – slmp.lk

දවසක් මානවසිංහට ටී. බී ඉලංගරත්න ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමකට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. රැස්වීමට මානවසිංහ වෙලාවටම ගියත් ඉලංගරත්න ආවේ සෑහෙන්න පරක්කු වෙලා. “විද්‍යාලංකාර පිරිවෙණ ගාවදි කාර් එකේ හුලං ගියානේ” කියලා ඉලංගරත්න කිව්වා. එතකොට මානවසිංහ ගත් කටටම කිව්වේ “ගොඩක් ලොක්කන්ගෙ හුලං ඇරියේ විද්‍යාලංකාරෙන්” කියලා. ඒකට හිනා ගිය ඉලංගරත්න ආපහු කිව්වා “මම පිරිවෙනෙන්ම තමයි හුලං ගහන් ආවේ” කියලා. එතකොට අනිත් පැත්තට මානවසිංහ කිව්වේ “ඔය හුලං ගිය ලොක්කන්ට හුලං ගහන්නෙත් විද්‍යාලංකාරෙන්ම තමයි” කියලා. මොකද ඒ දවස්වල ඉලංගරත්න නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතුවම බැරි තැනක් වුණේ විද්‍යාලංකාර පිරිවෙන.

 

6. මානවසිංහගේ අතිජාත මිත්‍රයා

Image Source – nhpr.org

මානවසිංහ දවසක් ගමනක් යනවා කාර් එකේ කට්ටියක් එක්ක. මගදි මානවසිංහට මතක් වෙනවා තමන්ගේ අතිජාත යාලුවෙක් මේ ළඟ ඉන්නවා කියලා. කාර් එක නවත්තන්න කියලා මානවසිංහ යාලුවව හම්බවෙන්න යනවා. ටික වෙලාවකින් කාර් එකට එන මානවසිංහ කියනවා “මාර වැඩේනේ, යාලුවා ගෙවල් මාරු කරලනේ, අපි යන පාරෙමයි ඉන්නේ” කියලා. එහෙම කියන මානවසිංහ තව ඉස්සරහට ගිහින් ආපහු යාලුවව බලන්න බහිනවා. මේ යාලුවගේ නම තෙවරප්පෙරුම කියලා තමයි මානවසිංහ කියන්නේ. හැබැයි මේ යාලුවා එක තැනක ඉන්නේ නෑ, රට වටේම ඉන්නවා. ඒ වගේම මේ යාලුවව හම්බවෙන්න මානවසිංහ යන්නේ යන ගමනට සෙට් වෙලා ඉන්න අය “අමද්‍යප” නම් විතරයි ඉතින්.

 

7. ඊරියගොල්ල එක්ක පැටලුණු මානවසිංහ

Image Source – plus.google.com

අයි. එම්. ආර්. අයි ඊරියගොල්ල කියන්නේ අපේ රටේ ඒ දවස්වල නමගිය දේශපාලඥයෙක්. ඊරියගොල්ල එක්කත් දේශපාලන වැඩවලට මානවසිංහ රට වටේ ගියා. පරහකට තිබ්බේ ඊරියගොල්ල අමද්‍යප කෙනෙක්. ඒ හින්දා මානවසිංහට නිතරම තෙවරප්පෙරුමවත් හම්බවෙන්න සිද්ද වුණා. ගාණට සෙට් වුණු මානවසිංහ ඊරියගොල්ලව වාදකෙට ඇදලා ගත්තා. මොකද ඊරියගොල්ල ක්‍රිෂ්ණමූර්ති කියන දාර්ශනිකයව මහ ඉහලින් සලකපු කෙනෙක්. වාදය උණුසුම් තැනකට ගියාට පස්සේ කේන්ති ගිය මානවසිංහ “මට තමුසෙව සත පහකට වැඩක් නෑ අයිසේ, තමුසෙගේ ක්‍රිෂ්ණමුර්තිව වැඩකුත් නෑ” කියලා කිව්වා. ඊරියගොල්ල “තෝ වගේ හීරළුවෙක්ට ක්‍රිෂ්ණමුර්තිව වටින්නේ නෑ තමයි” කියලා කේන්තියෙන් කිව්වා. “පලයන් කොස්සෝ යන්න” මානවසිංහ එහෙම කිව්වේ දේශපාලනයට එන්න කලින් ඊරියගොල්ල වැඩ කළේ පොලීසියේ නිසා. කොහොම හරි වාදේ නැවතුණේ මානවසිංහ මගින් බැහැලා. මානවසිංහයි ඊරියගොල්ලයි නයයි මුගටියයි වගේ ඉන්න ඇති කියලාද ඔයාලා දැන් හිතන්නේ? මොන පිස්සුද? පහුවදාත් මානවේව එක්කන් යන්න ඊරියගොල්ල ආවා.

මානවසිංහ මහත්තයා ගැන ඔය වගේ රස කතා සෑහෙන්න කියන්න පුළුවන්. මේ ටිකක් විතරයි. එහෙනන් මේ ආටිකල් ෂෙයාර් කරන්න වගේම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *