පුංචි පැටියෙක් කියන්නේ පවුලක හීනයක්. ඒ හීනේ හැබෑ වුණාට පස්සේ ඊට කලින් තිබුණාටත් වඩා අවධානයක් දරු පැටියාට දෙන්න වෙනවා. දරුවගේ බර නිසි විදියට පවත්වාගෙන යන එක ඒ අතරින් වැදගත්. මොකද බර සටහනේ නියමිත බරට වඩා අඩු සහ වැඩි වීම කියන දෙකම ඉතා අහිතකර ලෙස බලපෑම් කළ හැකි දේවල් වෙන නිසා. ඉතින් මේ සම්බන්ධයෙන් මව්පියන් සැලකිලිමත් වෙන්න ඕනි කොහොම ද?
1. උස සහ බර මැනීම

Image Source – verywellfamily.com
කවදා හරි කරඳඩු උස්මහත් වුණ දවසක එයාම ජිම් එහෙකට වගේ ගිහින් මේවා බලාගනී කියලා පැත්තකට වෙලා ඉන්න ඕනි කාරණයක් නෙවෙයි මේක. බබාට කෑම කවනවනේ. ඉතින් ඔය කවන දේවලින් මොන විදියක හරි පෝෂණයක් ඇඟට යනවද? නැත්තන් ඒ කැවීමේ කිසි ප්‍රයෝජනයක් නැති ද? කවනවා වැඩි ද? කියන මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයා ගන්න නම් මාසිකව නොකඩවා දරුවාගේ උස සහ බර මනින්න ඕනි. අවුරුදු 5 වගේ වෙනකන් දරුවාගේ ශීඝ්‍ර වර්ධනය අපට පේනවා. හැබැයි ඒක නිසි පරිදි බර සහ උස මනින එක වළක්වන දෙයක් නම් කරගන්න එපා.
2. දරුවාගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගැනීම

Image Source – happyfamilyorganics.com
ළමයින්ට කෑම කවන එක යුද්ධයක්නේ. සමහරු කන්නේම නෑ. තවත් අය ඉල්ල ඉල්ලා කනවා. කන්නේ නැති අයට බලෙන් විශාල ආහාර ප්‍රමාණයක් කවන්න යන එකයි. ආහාර රුචියක් පෙන්වන දරුවාට දරාගන්න අපහසු විදියට කවන එකයි දෙකම වැරදියි. පොඩි බබාලාට තියෙන්නේ කුරුලු බඩවල්. අපි කනවා වගේ එයාලාට කවලා හරි යන්නේ නැහැ. ඉතින් මේ විදියට බබාලාගෙන් බබාලාට වෙනස් වන පෝෂණ අවශ්‍යතා හඳුනාගන්න ඕනි. ඒ වගේම ප්‍රවේණිගත දේවල් සහ ක්‍රියාශීලි බව මතත් පෝෂණ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්.
3. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම

Image Source – bubbahood.com.au
මේ කාලෙට ඉතින් ආදරේ වැඩිකමට එක එක අරුමෝසම් කවන්න හදනවා. හැබැයි ඒ දේ හරිහමන් පෝෂණයක් තියෙනව ද කියන ප්‍රශ්නය හිතෙන් අහලා ඉන්න ඕනි. දවසකට වේල් කීපයක් කවනවා නේ. ඒ කියන්නේ ප්‍රධාන වේල්වලට අමතරව. ඔය හැම වේලටම එළවළුවක් පලා වර්ගයක් සහ පිෂ්ඨමය වගේම මස් මාළු බිත්තර වගේ දෙයක් දෙන්න පුළුවන් නම් ඇත්තමයි වටිනවා. දුර්මතයක් තියෙනවා මේ වගේ ආහාර වේලක් දෙන්න නම් සෑහෙන පිරිවැයක් යනවාය කියලා. එහෙම එකක් වෙලා තියෙන්නේ චීස්, හැම්බේකන් වගේ දේවල් පොඩ්ඩොන්ට දෙන්න ඕනි කියලා කතන්දර හැදිලා තියෙන නිසා.
4. ක්‍රියාකාරකම්වල නිරත වීම

Image Source – youtube.com
සමහර ගෙවල්වල බබාලා කොයි වෙලෙත් නිදි. කන වෙලාවට විතරක් චුට්ටක් ඇහැ ඇරගෙන ඉන්නවා. කාපු ගමන් අනික් අතට ආය නිදි. මේක හිතන තරම් හොඳ වැඩක් නෙවෙයි. එහෙම නිදාගන්නේ නැති පොඩි බබාලාව පවා බලෙන් නිදි කරවනවා. නමුත් සිරුරට ලැබෙන ආහාර එක්කම මොකක් හෝ ක්‍රියාකාරකමක් දරුවාට අවශ්‍යයි. දණගාන්න, පොඩ්ඩක් ඇඳේ එහෙ මෙහෙ පෙරළෙන්න දරුවාට ඉඩ දෙන්න ඕනි.
5. අඩු බර දරුවන් සඳහා

Image Source -npr.org
බර සටහන් කරන පත්‍රිකාවේ අදාළ බරට වඩා පහළින් බර සඳහන් කෙරෙන්නේ මේ අයගෙයි. ඒ කියන්නේ තමන් මේ තරන් කාලයක් දරුවාට දුන්නු ආහාර කිසිම කමකට නැති ඒවා කියන එකයි. පිෂ්ඨමය ආහාර වැඩි වශයෙන් කෑම වේල්වලට එක් කරන්න ඕනි වෙනවා. ඒ වගේම සාමාන්‍ය දරුවෙකු ප්‍රධාන වේල් තුනක් ගන්න නිසා ඉන් ඔබ්බට ගිහින් ප්‍රධාන කෑම වේල් පහක් දරුවා වෙනුවෙන් වෙන් කරන්න ඕනි.
6. වැඩි බර දරුවන් සඳහා

Image Source – youtube.com
බර සටහන් කරන පත්‍රිකාවේ අදාළ බරට වඩා වැඩියෙන් බර සඳහන් කෙරෙන්නේ මේ අයගෙයි. ඒ කියන්නේ තමන් මෙතෙක් කල් ලබා දුන් ආහාර ඕනවටත් වඩා පිහිටලා කියන එකයි. එහෙම අයට වැඩිපුර පිෂ්ඨමය ආහාර ලබා දෙන්නේ නැතුව තම්බාගත් එළවළු දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේ ම නිසි ක්‍රියාකාරකම්වලට යොමු කරන්නත් ඕනි.
7. මවගේ පෝෂණය

Image Source – paleoplan.com
දරුවා මව්කිරි මත යැපෙන වයසක නම් ඉන්නේ මවගේ පෝෂණය අංක එක විය යුතුයි. ඇයි ඉතින් දෙයියනේ ඒ දරුවා තනිකරම පණ නල ගැට ගහන් ඉන්නේ ඔය බොන කිරි ඩිංගිත්තෙන් නේ. ක්ෂණික ආහාර, කාබනේට් අඩංගු පාන වර්ග හෙම පැත්තකින් තියලා මස් මාළු බිත්තර, පළා වර්ග, එළවලු වගේ ගුණදායක කෑම කන්න ඕනි.
Leave a Reply