සිනමා කර්මාන්තයත් එක්තරා විදියක බිස්නස් එකක්. හොඳ දෙයක් දෙනවා තමයි හැබැයි අනික් අතට මේවාට යන වියපැහැදම් එක්කම ලැබෙන ආදායම වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. සේසතම වියදම් කරලා කන්දක් විළි ලා මීයෝ වදාපු විදියට හැදුණ චිත්‍රපට තියෙනවා. ඒ වගේ ම අඩු බජට් එකකින් ලස්සන වැඩක් කරලා ගොඩ ගියපු චිත්‍රපටත් තියෙනවා.
1. Before Sunrise (1995)
අරුමෝසම් වැඩ කෑලි මොකවත්ම නැතුව ගුණාත්මක අතින් ඉහළ සංවාදවලින් වුණත් සාර්ථක චිත්‍රපට නිර්මාණය කරන්න පුළුවන් බවට සහතිකයක් දුන්න චිත්‍රපටයක් තමයි මේ. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම දෝ මන්දා තවත් චිත්‍රපට දෙකක්ම පස්සේ නිර්මාණය කෙරුණා. ඒ හැමදේට මුල් වුණ පළමු වැනි වෙළුමේ බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 2.5යි. බොක්ස් ඔෆිස් වාර්තාව ඊට වඩා දෙගුණයක් වැඩියි. ඒ කියන්නේ හරියටම ඇමරිකානු ඩොලර් මිලියන 5.5යි. රංගනයෙන් ඊතන් හෝක් සහ ජූලි ඩෙල්පී සම්බන්ධ වෙනවා. කෝච්චියේ දී අහම්බයක් ලෙස මුණ ගැහෙන දෙන්නෙක්ගේ සිතිවිලි හුවමාරුව තමයි කතාව පුරාම තියෙන්නේ.
2. Buried (2010)
මේ චිත්‍රපටයට සමස්ත වියදමම ඇමරිකානු ඩොලර් මිලියන 2යි. හැබැයි බොක්ස් ඔෆිස් පාර ඒ වගේ දහගුණේකට වැඩියි. හරියටම කිව්වොතින් ඇමරිකානු ඩොලර් මිලියන 21.3යි. චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම වාගේ තියෙන්නේ එකම එක දර්ශන තලයයි. ප්‍රධාන නළුවා සහ ලෑලි පෙට්ටියක්. ඩෙඩ්පූල් විදියට ලෝකය ආදරයෙන් වැළඳගත් රයන් රෙනෝල්ඩ්ස් තමයි නළුවා. ඇත්තටම එකම දෙයක් පැයකටත් වඩා වැඩි කාලයක් බලන් ඉන්න එක උපරිම ආස්වාදයක් බවට පත් කරන්නේ මේ නළුවයි. පහර දීමකින් පස්සේ පුද්ගලයෙක් දකින්නේ අඩුමකුඩුම කීපයක් එක්ක තමන්ව පෙට්ටියක වළ දාලා කියන එකයි. එතැන ඉඳන් කුතුහලය ඇවිස්සෙන විදිහට මේ කතාව දිගහැරෙනවා.
3. Lucia (2013)
බටහිර සිනමාව විතරක් නෙවෙයි, අපේ පැත්තෙත් එකෙන්ම වැඩ්ඩෝ තමයි ඉන්නේ. ඇමරිකානු ඩොලර් 70,000ක් පමණක් වියදම් කරලා ඇමරිකානු ඩොලර් 430,000ක් උපයපු Lucia කණ්ණඩ චිත්‍රපටයක්. මේකට මුදල් හොයාගැනීමත් කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආධාර මතයි. ඉන්සොම්නියා තත්ත්වයෙන් පෙළෙන කොලු ගැටයෙක් ඒකෙන් මිදෙන්න කියලා හිතන් පෙත්තක් පාවිච්චි කරනවා. ඉතින් ඒක එහෙම වුණාට පස්සේ තමයි කතාව පටන් ගන්නේ බලන් ඉන්න අපෙත් ඇඟ හීතල වෙලා යන විදියට. චිත්‍රපටය කොච්චර සාර්ථක ද කියලා කියනවා නම් ලන්ඩනයේ ඉන්දියානු චිත්‍රපට උළලේ දී ප්‍රේක්ෂක තෝරාගැනීම අනුව හොඳම චිත්‍රපටය බවට පත් වෙනවා.
4. Snow White and the Seven Dwarfs (1937)
සෑහෙන පරණයි. ඒ වගේම ඇනිමේෂන් එකක්. හැබැයි අඩු වියදමකින් හදලා ගහපු බොක්ස් ඔෆිස් පාරට අදටත් හීක් ගෑවෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 1.49කින් හැදුවා. බොක්ස් ඔෆිස් පාර තියනවා ඇමරිකානු ඩොලර් මිලියන 418ක්. හිතන්න ඉතින් ඒක මොන වගේ සාර්ථකත්වයක් ද කියලා. වෝල්ට් ඩිස්නි කාටුන් හැම කාලේටම පවතිනවා. 1937 හැදුවේ. ඒත් අපේ පරම්පරාව පවා පුංචි කාලේ පට්ට ගහපු ඇනිමේෂන් එකක්.
5. Hindi Medium (2017)
ඉර්ෆාන් ඛාන් ඉන්දීය සිනමාව නිර්මාණය කරපු සුපිරිම බුලට් එකක්. ඔහු රඟපාපු ගොඩක් චිත්‍රපට ඉතාම සාර්ථකයි. ඒවා අතරින් අතිසාර්ථකත්වයක් ලබපු චිත්‍රපටයයි මේ. ඒක එහෙම වෙන්න බජට් එක සහ බොක්ස් ඔෆිස් එකත් මිනුම් දඬු වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් වියදම් කරලා ඇමරිකානු ඩොලර් මිලියන 52.39ක් වගේ ආදායමක් ලබන්න තරම් කොහොම ගේමක් ගහන්න ඕනි ද? තමන්ගෙ දරුවව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ලොකු ඉස්කෝලෙට දාගන්න දෙමව්පියෝ කන කට්ට තමයි චිත්‍රපටයේ කතාව. මේක ඉන්දියාවේ විතරක් නෙවෙයි මෙහෙත් එක්තරා විදියක ප්‍රශ්නයක්.
6. Moonlight (2016)
74වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය අඩු වියදමකින් නිර්මාණය කරපු බව ඔබ දැනගෙන හිටියද? ඇමරිකානු ඩොලර් මිලියන 4ක් පමණ වියදම් කරලා ඇමරිකානු ඩොලර් මිලියන 65.3ක රෙකෝඩ් එකක් තමයි තිබ්බේ. ඇමරිකාවේ ප්‍රසිද්ධ තිර රචකයෙක් සහ රංගන ශිල්පියෙක් වන ටැරල් ඇල්වින්ගේ ජීවිත කතාව ආශ්‍රය කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.
7. Saw (2004)
එක්තරා විදියක ජුගුප්සාජනක හැඟීමකින් බැලුවා වුණත් Saw චිත්‍රපට මාලාවත් හෙන රැල්ලක් ඇති කරා නොව. ජිග්සෝ වෙස් මූණා එක එක මිනිස්සුන්ට දෙන දස වද ඉතින් තාමත් මතක් වෙනවා. බජට් එක ඇමරිකානු ඩොලර් මිලියන 1.2යි. බොක්ස් ඔෆිස් එක ඇමරිකානු ඩොලර් මිලියන 103.1යි. ඔව් ඒක එහෙමම වුණා.
Leave a Reply