රාත්‍රී ඡායාරූප ගැනීමකදී සැලකිලිමත් විය යුතු කරුණු

ෆොටෝ කියන්නේ ආලෝකය එක්ක කරන සෙල්ලමක්. ආලෝකය අඩු රෑ කාලෙත් ෆොටෝකාරයෙක්ට ටිකක් කරදරයි. ඒත් කරදර වුනත් රෑ ගහන ෂොට්ස් තියෙනවා නේද? සමහර ඒවා සිරාවටම ලස්සනයි. රෑ ෆොටෝ ගැහීමක් කියන්නේ දවල් වගේ නෙමෙයි, ආලෝකේ ගැන ටිකක් හිතන්න ඕනි. කැමරාවේ සෙටින්ග්ස් ගැන ටිකක් හිතන්න ඕනි. අපි මේ රෑ ෆොටෝ ගැහීම ගැන ටිකක් සොයාබලමු.

 

1. රෑට උචිත බැක්ග්‍රවුන්ඩ්

Image Source – deccanchrinicles.com

රෑ දොළහට හොල්මනකට මාව හසුවුනා කියලා පරණ සිංදුවක් තියෙනවා. හොල්මන් සෙට් වෙන්නේ කනත්තේ. කනත්තේ හොල්මන් කෙසේ වෙතත් සොහොන් කොත් නම් නිසොල්මන්. ඒ අතර තැනින් තැන පත්තුවෙලා තියෙන ලයිට් එක්ක කනත්තේ රෑට ගුප්ත අඳුරු ස්වභාවයක් තියෙනවා. කනත්තක් කියන්නෙත් නයිට් ෆොටෝ වලට කියාපු තැනක්. ගහකොළ, මල්, සතා සීපාවා ෆොටෝ ගහන්න නම් රෑට වඩා දවල් කාලය තමයි හොඳ. ගැස්සිලි බැස්සිලි නැති නගරබද සිටි ස්ට්‍රක්චර් වල ෆොටෝ, පුරාවස්තු වල ෆොටෝ, ලයිට් දාල තියෙන බිල්ඩින් වල ෆොටෝ වගේ දේවලට නයිට් ෆොටෝ ගැහීම කදිමයි. ඒ වගේම ලයිට් පේන්ටින් වලින් කරන ලස්සන නිර්මාණ වලටත් රෑ කාලය තෝරාගැනීම වැදගත්.

 

2. ත්‍රිපාදකය භාවිතා කරමු

Image Source – travelsistaz.com

මොන ත්‍රිපාදකයක්ද මේ? දන්න සිංහලෙන්ම කිව්වොත් ඒක ට්‍රයිපොඩ් (Tripod) එක. ට්‍රයිපොඩ් එකක් පාවිච්චියට හුරුවීම නයිට් ෆොටෝ වලදි අනිවාර්යය කාරණාවක්. රෑට ආලෝකය අඩුයි. ආලෝකය අඩු පරිසරයේදී වස්තුවල ආලෝකේ කැමරාවට අවබෝධ කරගන්න ටික වෙලාවක් යනවා. ඒ කියන්නෙ ටික වෙලාවක් කැමරාව ඇතුළට ලයිට් යන්න ඉඩ දෙන්න ඕනා. සුටුස් ගාල කැමරාව ඇරිලා වැහිලා හරියන් නැහැ. මේ වගේ වැඩි කාලයක් (ලෝන්ග් එක්ස්පෝශර්) ශටර් එක ඇරිලා තියෙද්දි කැමරාව හෝ ඔබ්ජෙක්ට් එක ගැස්සෙන් නැතිව ආරක්ෂා කරගන්න ඕනි. ඒ වගේ වෙලාවකට ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කිරීම කළ යුතු දෙයක්.

 

3. රෝ (Raw) ෆොටෝ ගහමු

Image Source – travelsistaz.com

ෆොටෝ ගහද්දි රෑ නිසා වර්ණ සහ සමහර පැති හරි හැටි කැමරාවට හසුවෙන්නේ නැහැ. ෆොටෝවල අඳුරු තැන් ආලෝකමත් කරලා ෆොටෝවේ එඩිට් කටයුතු කරන්න රෝ ගත්තාම ලේසියි. සාමාන්‍යයෙන් ජේපීඊජී ෆෝමැට් (JPEG Format) එකෙන් ෆොටෝ ෂූට් වුනත්, දැන් තියෙන ස්මාට්ෆෝන් වල පවා රෝ (RAW) හෙවත් එඩිට් කරන්නට වඩාත් පහසු විදියට ෆොටෝ ගන්න හැකියාව තියෙනවා. ඉතින් රෝ ගත්ත වගේ නෙමෙයි ඉන් පස්සේ කම්පියුටර් එකකට දාල එඩිට් කරගන්න ඕනි. කැමරාවෙන් එන ජේපීඊජී ෆොටෝ එකට වඩා රෝ අරගෙන හොඳ හැටි එඩිට් කරගත්තොත් ෆොටෝ එකේ ලස්සන වැඩිවෙනවා.

 

4. අලෝක ප්‍රභවයක් පාවිච්චි කරමු

Image Source – indorehd.com

ආලෝකය අඩුවෙලාවෙදි ෆ්ලෑෂර් පාවිච්චි කරනවා. ඒත් නයිට් ෆොටෝ වලදි එහෙම ෆ්ලෑෂර් ගහන එක දැන් දැන් එච්චර කොමන් නැහැ. කලාවක් විදියට නයිට් ෆොටෝ ෆලෝ කරද්දි ෆ්ලෑෂර් ගහලා කරන එක සාර්ථක නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ආලෝක ප්‍රභවයක් පාවිච්චි කරන්නට ඕනා. අපි හිතමු අපි නගරයේ තියෙන කැටයමක්, පොඩි පිළිමයක්, චිත්‍රයක් ෆොටෝ ගන්නවා කියලා. අපිට අවශ්‍ය තරමට ආලෝකය නැහැ. ඒ වගේ වෙලාවක ආලෝකය පාලනය කරන්න පුළුවන් ආලෝක ප්‍රභවයක් පාවිච්චි කළොත් ෆොටෝ එක හොඳටම ගන්න පුළුවන්කම තියෙනවා. මේ ආලෝක ප්‍රභවයේ තීව්රතාව පාලනය කරන්න පුළුවන් මාදිලි ගණනාවක ලයිට් සෝස් තියෙනවා. එහෙම පාලනය කරන්න පුළුවන් එකක් ගත්තොත් අපිට අවශ්‍ය වෙලාවට, අවශ්‍ය ප්‍රමාණයට ලයිට් එක පාලනය කරගන්නට හැකියි.

 

5. මැනුවල් සෙටින්ස් භාවිතය

Image Source – pinterest.com

ෆෝන් වල පවා දැන් මැනුවල් ගහන්න ඉඩකඩ තියෙනවා. දවල්ට හොඳ හැටි අලෝකේ තියෙද්දි කැමරාව ඇතුළේ තියෙන ප්‍රොසෙසර් බබාට ලේසියෙන් මේ මොකද්ද කියලා අඳුනාගන්න ලේසියි. ඒත් රාත්‍රියේදී කැමරාවට තියා අපිටත් ටිකක් අවට දැකගන්න අමාරුයි. ඒ නිසා කැමරා සෙටින්ස් ඔටෝ දාලා ෆොටෝ ගන්න එක රෑට සුදුසු නැහැ. ස්මාට්ෆෝන් එකක්, පොඩි පොකට් කැමරාවක් වුනත් රෑට ෆ්ලෑෂර් ඕෆ් කරලා, පුළුවන් තරම් මැනුවල් සෙටින්ස් වලින් ට්‍රයි කරන එක වැදගත්. පොඩි පොකට් කැමරාවල සහ ඇතැම් ෆෝන් කැමරාවල නයිට් ෆොටෝ මෝඩ් එකක් තියෙනවා. රෑ ගහද්දි දවල් තිස්සේ ස්මාට්ෆෝන් කැමරාවේ තියෙන මිශෙල් ඔබාමත් සුදුවෙලා පේන ඉෆෙක්ට්ස් නැතුව නයිට් මෝඩ් එකට කැමරාව දාගන්න ඕනා.

 

6. මැනුවල් නම් මොනාද සෙටින්ස්?

Image Source – divephotoguide.com

නයිට් ෆොටෝග්‍රැෆි වලදි අපිට පේන්න ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝ සැන් ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝක්, ලන්ඩන් නගර වල ෆොටෝ වෙන්න ඇති. ඒත් අපිටත් රෑ වෙනවා. අපේ ගෙවල් ළඟත් නයිට් ෆොටෝ වලදි සුපිරි තැන් සෙට් වෙන්න පුළුවන්. ඉතින් රෑ ෆොටෝ වලදි ගන්න ඕනි සෙටින්ස් මොනවද කියන එක අපිට හොඳින් අත්හදා බලන්නට අවස්ථාව තියෙනවා. Night Photography Camera Settings කියලා ගූගල් කළාම ඕනි තරම් සෙටින්ස් එනවා. රෑට වාහන වල ලයිට් එළිය ඉරි ඉරි වගේ පේන්න ගන්නවා නම් එහෙම, ලයිට් පේන්ටින් වලින් නිර්මාණයක් කරනවා නම් එහෙම, මහ රෑ යන පෙරහැරක් වගේ ෆොටෝ ගන්නවා නම් එහෙම, ලස්සන ලෑන්ඩ්ස්කේප් දර්ශනයක් තරු එක්ක ගන්නවා නම් එහෙම ආදී වශයෙන් සෙටින්ස් සෙට්ස් ගාණක් තියෙනවා. ෆොටෝ වලදි ඔයාට සැටිස් ෆොටෝව, ඔයා ආස ෆොටෝව අපිට කියන්න අමාරුයි. ඉතින් ඒ නිසා ගෙදර අය පොඩ්ඩක් හිනා වුනත් රෑට අපේම ගෙදර ෆොටෝව හරි කමක් නැහැ හත් අට දවසක් අරගෙන පුරුදු වෙන්නට ඕනා. ඉන් පස්සේ ඒ සෙටින්ස් ටික ඇඟට ඔලුවට දාගත්තම ඕනි කළුවරක ලස්සන ෆොටෝ නිර්මාණයක් කරගන්න ඔයාට පුළුවන්කම ලැබේවි.

 

7. ටයිමින් හෝ රිමෝට් ෂටර්

Image Source – divephotoguide.com

වැඩිවෙලා ගැස්සෙන් නැතිව කැමරාව තියාගන්නට ඕනි නයිට් ෆොටෝ ග්‍රැෆි වලදි. ඒ නිසා තමයි අපි කලින්ම ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්න කියලා කිව්වෙත්. ඒත් කැමරාව හරහා ෆොටෝ ගද්දි, කැමරාවේ තියෙන බොත්තම ඔබද්දි කැමරාව ගැස්සෙන්න පුළුවන්. ඒ නිසා කැමරාවලට තියෙන පොඩි රිමෝට් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. රිමෝට් නැතිම නම් ටයිමින් සෙටින්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි බොත්තම ඔබලා තත්පර කීපයකින් තමයි ෆොටෝ එක ගන්න පටන් ගන්නේ එතකොට.

රෑ තියෙන ඉවෙන්ට් එකකදි ඔන්න ෆොටෝකාරයෙක් එනවා. බුවත් හිනාවෙලා අපිටත් හිනාවෙන්න කියනවා. ඉන් පස්සේ තඩි ෆ්ලෑෂර් සෙට් එකක් පත්තුවෙනවා. ඔන්න ෆෝටෝ එක හරි. ඒ නයිට් ෆොටෝග්‍රැෆි නෙමෙයි. ඒ රෑට ගන්න ෆොටෝ එකක්. රියල් නයිට් ෆොටෝග්‍රැෆි කියන්නේ සමහරු ආගම වගේ අදහන ලස්සන කලාවක්. ඉතින් හොඳ කැමරාවක් තියේ නම්, එහෙම නැතිනම් ෆෝන් එකක් හරි තියේනම් පොඩි ට්‍රයි එකක් දාල බලමු නේද නයිට් ෆොටෝ වැඩකට.

zvr
Your Reaction

Comments