කොළඹ අවට අයිස්ක්‍රීම් කන්න තියෙන සුපිරි තැන් 7ක්!

මේ දවස් වල එහෙන් මෙහෙන් වැස්සක් තිබ්බට ගොඩක් වෙලාවට ගිණි ගහන රස්නයක් තියෙන්නේ කොළඹ. ඉතින් හවස් අතේ වුනත් කොළඹ කරක් ගහනකොට හිතෙන දෙයක් තමයි ඇඟයි හිතයි දෙකම කූල් වෙලා යන්න අයිස්ක්‍රීම් එකක් එහෙම කන්න තිබ්බා නං මරු කියලා. විශේෂයෙන්ම දෙන්නත් එක්කම ගිහින් කන්න පුළුවන් තැනක් නම් මරේ මරු. ඉතින් මේ කියන්න යන්නේ, කොළඹ අවට තියෙන ඒ විදියේ අයිස්ක්‍රීම් පාලර් කීපයක් ගැන. මේ හැම තැනක්ම මරේ මරු කියලා බය නැතුව කියන්න පුළුවන්!

1. Rio Ice Cream

 Image Source – yamu.lk

සාමාන්‍යයෙන් රියෝ අයිස්ක්‍රීම් ගැන ගොඩක් දෙනෙක් දන්නේ රියෝ එක තියෙන්නේ යාපනේ කියලා තමයි. ඔව්, ඒක ඇත්ත. හැබැයි යාපනේ විතරක් නෙවෙයි, වැල්ලවත්තෙත් රියෝ එකක් තියෙනවා, මීගමුවෙත් රියෝ එකක් තියෙනවා. මේ වැල්ලවත්තේ රියෝ එකේ අයිස්ක්‍රීම් ගොඩක් ෆැන්සි නෑ. ඒ කියන්නේ ඔය නිව්‍-යෝර්ක් චීස් කේක් වගේ අයිස්ක්‍රීම් නම් මෙතන නෑ. හැබැයි සෑහෙන පුළුල් පරාසයක අයිස්ක්‍රීම් වර්ග ගණනාවක්, සන්ඩීස්, අයිස්ක්‍රීම් මික්ස් එහෙම තියෙනවා තෝරගන්න. ගාණත් කොළඹ අනික් අයිස්ක්‍රීම් පාලර් වලට සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. යාපනේ රියෝ අයිස්ක්‍රීම් වල තරම් සීනි වැඩි ගතියක් වැල්ලවත්තේ රියෝ අයිස්ක්‍රීම් වල නැති නිසා ගාණට එන කිරි රසත් එක්ක මේ අයිස්ක්‍රීම් තවත් මරු.

දුරකථන අංකය: 0112058051

 

2. Il Gelato

 Image Source – yamu.lk

ඉතාලි භාෂාවෙන් ජිලාටෝ කියන්නේම අයිස්ක්‍රීම් වලට. ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙන ඉල්-ජිලාටෝ එකේ තියෙන්නේ ඉතාලි අයිස්ක්‍රීම් කියලා එතකොට නමෙන්ම තේරෙනවනේ. ඇත්තටම ඉල්-ජිලාටෝ අයිස්ක්‍රීම් පාලර්ස් කීපයක්ම තියෙනවා. ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙන පාලර් එක තමයි අපේ ප්‍රියතම ස්පොට් එක. මෙතන නියම කිරි රසෙන් අනූන ඉතාලි අයිස්ක්‍රීම් විවිධ රසයන්ගෙන් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රීමියම් කොලිටි එකේ අයිස්ක්‍රීම්, ප්‍රීමියම් රස වර්ගයන්ගෙන් ලබාගන්න පුලුවන්. ඒ අතරට සෝර්බේ සහ ග්‍රැනිතා නැතිනම් ඉතාලියානු අයිස් පවා ඇතුළත් වෙනවා. මිල ගණන් පොඩ්ඩක් වැඩියි.

දුරකථන අංකය: 0115328328

 

3. Carnival Ice Cream

 Image Source – yamu.lk

කොළඹ අයිස්ක්‍රීම් ගැන කතා කරනකොට කානිවල් අයිස්ක්‍රීම් ගැන කතා නොකරන එක ලොකුම අඩුවක්. අනාදිමත් කාලෙක ඉඳලා කොල්ලුපිටියේ තියෙන කානිවල් අයිස්ක්‍රීම් එක කාලෙන් කාලෙට නවීන වෙනවා. දැන් කානිවල් එකේ සුවපහසුවට වාඩි වෙලා දෙන්නත් එක්ක අයිස්ක්‍රීම් කන්න අවකාශයන් කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඊට අමතරව කානිවල් අයිස්ක්‍රීම් මෙනු එකට ඔය බිස්කෙටෝ, නිව්-යෝර්ක් චීස් කේක් වගේ ප්‍රීමියම් අයිස්ක්‍රීම් රස ගණනාවක්මත් ඇතුළත් වෙලා තියෙනවා. කානිවල් එකේ අයිස්ක්‍රීම් ස්කූප් එකක් ලෝබ නැතුව දෙන නිසා, අයිස්ක්‍රීම් පිස්සෙක්ට වුනත් ස්කූප් දෙකක අයිස්ක්‍රීම් එකක් හොඳටම ඇති. ගාණ රියෝ එකට වඩා වැඩි වුනත් ඉල්-ජිලාටෝ වගේ තැන්වලට වඩා ගොඩක් අඩුයි.

අනික් විශේෂත්වය මේකයි. කානිවල් එකේ අපිට ආස, අපිට වුවමනා විදියට අයිස්ක්‍රීම් මික්ස් ඇන්ඩ් මැච් කරලා, උඩට දාන්න ඕන සෝස්, ටොපින්ස් එහෙමත් ඕන විදියට තෝරගෙන අපේම ස්පෙෂල් අයිස්ක්‍රීම් එකක් හදාගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.

දුරකථන අංකය: 0115346139

 

4. Park Street Mews

 Image Source – yamu.lk

සාමාන්‍යයෙන් ඔය ලොකු ලොකු ෆැන්සි රෙස්ටුරන්ට් වල වුනත්, පොඩි පොඩි රෙස්ටුරන්ට් වල වුනත් මෙනු එකේ ඩිසර්ට් වලට ඉතාම ලොකු ඉඩක් වෙන් වෙන්නෙ නැහැනේ. එතකොට ඒ ඩිසර්ට් අතරිනුත් අයිස්ක්‍රීම් තියෙන්නේ එකක් නැත්තං දෙකක් විතරයි. හැබැයි පාර්ක් ස්ට්‍රීට් මිව්ස් රෙස්ටුරන්ට් එක ඊට වෙනස්. මේ අය ගාව විවිධ රස අයිස්ක්‍රීම් තියෙනවා. මේ සමහර අයිස්ක්‍රීම් රුබාබ්, අලිගැටපේර වගේ ලේසියෙන් වෙන තැන්වල දකින්න නොලැබෙන ඒවා. ඒ වගේම මේ අයිස්ක්‍රීම් හදන්නෙත් ඒ අයමයි. ඒ නිසාද කොහෙද මේ අයගේ අයිස්ක්‍රීම් වල විශේෂ රසකුත් දැනෙනවා. පාක් ස්ට්‍රීට් මිව්ස් වගේ රෙස්ටුරන්ට් එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් අයිස්ක්‍රීම් එකකටත් බරපතල බිලක්නේ. හැබැයි මේ අයගේ අයිස්ක්‍රීම් හිතන්න බැරි තරමටම ලාබයි!

දුරකථන අංකය: 0112300133

 

5. Frosty Roll

 Image Source – pulse.lk

අපි කලිනුත් කතා කරලා තියෙනවනේ ලංකාවේ තියෙන රෝල්ඩ් අයිස්ක්‍රීම් රස බලන්න තියෙන තැන් කීපයක් ගැන. එතනින් එකක් තමයි ෆ්‍රොස්ටි රෝල් කියන්නේ. අපි පොදුවේ අද අයිස්ක්‍රීම් ලිස්ට් එකට ෆ්‍රොස්ටි රෝල් දාන්නේ, එකක් ඒක කොළඹ මධ්‍යයේම තියෙන, බොහෝම දෙනෙක්ට යන්න එන්න ලේසි තැනක තියෙන නිසා. දෙක, ඒක අපේ ප්‍රියතම අයිස්ක්‍රීම් ස්පොට් එකක් නිසා.

මෙතන තියෙන්නේ අර අයිස්ක්‍රීම් කොත්තු කන්සෙප්ට් එකට හදපු මික්ස් කරලා රෝල් කරපු අයිස්ක්‍රීම් තමයි. නුපුරුදු කෙනෙක්ට බය වෙන්න දෙයක් නෑ, කන්න බැරි අයිස්ක්‍රීම් ජාති එකක්වත් මෙතන නෑ. බ්‍රවුනි බේක්, ඩබල් ඩිලයිට්, ස්ට්‍රෝබෙරි ස්ප්ලෑෂ්, චොකෝ බ්ලාස්ට්, පැණි කජු මික්ස් වගේ අයිස්ක්‍රීම් ගාණට රෝල් කරලා, කප් එකක දාලා, උඩට ටොපින්ග්ස් මොනවා හරි දාලා මේසෙට එන අයිස්ක්‍රීම් එක බඩ පිරෙන ප්‍රමාණෙන් තියෙනවා. ඒ අයිස්ක්‍රීම් සයිස් එකත් එක්ක හිතනකොට ගාණත් ඉතාම සාධාරණයි.

දුරකථන අංකය: 0773702582

 

6. Havelock Town Sen-Saal

Image Source – Image Source – instahu.com

අපි මෙතනදී හැව්ලොක් ටවුන් එකේ සෙන් සාල් එක ගැනම කියන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඒකේ ඩයිනින් ඒරියා එකේ තියෙන නිදහස් ගතිය. කොයිම වෙලාවක වුනත් මෙතන ජනාකීර්ණ ගතියක් දැනෙන්නෙ නෑ. මේකත් තනිකරම අයිස්ක්‍රීම් පාලර් එකක් නෙවෙයි. හැබැයි මේ අයගේ අයිස්ක්‍රීම් කවුන්ටර් එකක් වෙනම ඇතුළේ තියෙනවා. මෙතන චොකලට්, වැනිලා වගේ අයිස්ක්‍රීම් වගේම, පිස්ටාචියෝ, හේස්ල් නට් වගේ අයිස්ක්‍රීම් රස වර්ගත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉහළ මිලකට, පොඩි ස්කූප් වලින් අයිස්ක්‍රීම් ලැබෙන එක ගැන හිත හදාගත්තොත්, මෙතන තියෙන අයිස්ක්‍රීම් ඇත්තටම රසයි. විශේෂයෙන්ම හේස්ල් නට්, පිස්ටාචියෝ වගේ රස වර්ග මරු.

දුරකථන අංක: 0112508802 / 0115923432

 

7. Alerics

Image Source – yamu.lk

ඇලරික් කියන්නේ ලංකාවේ කාලයක් ඉතාම ජනප්‍රිය වෙලා තිබුණු අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක්. ඔය දැන් තියෙන එලිෆන්ට් හවුස් වගේ තමයි. තාමත් බ්‍රෑන්ඩ් එකක් විදියටත් ඇලරික් අයිස්ක්‍රීම් තිබුණත්, දකින දකින සුපර්මාකට් එකේ නං ඇලරික් අයිස්ක්‍රීම් නෑ. කමක් නෑ, අපි කෙලින්ම යමු ලිබර්ටි ආකේඩ් එකේ තියෙන ඇලරික් අයිස්ක්‍රීම් පාලර් එකට.

මෙතන අයිස්ක්‍රීම් මෙනු එක බලපු ගමන් තේරෙන දෙයක් තමයි, මේ අයිස්ක්‍රීම් කොයි තරම් ලාබද කියන එක. මෙතනත් ඔය ප්‍රීමියම් අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් එහෙම නම් නෑ. හැබැයි චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි වගේ තනි රසකින් හරි, එහෙම නැත්තම් චොකලට් චිප්, මින්ට් චොකලට් වගේ රසවලින් හරි අයිස්ක්‍රීම් මෙතනින් ගන්න පුළුවන්. ලොකූවටම විශේෂයක් මේ අයිස්ක්‍රීම් වල නැතත්, අඩු ගාණකට රසවත් අයිස්ක්‍රීම් එකක් කන්න කොල්ලුපිටිය අවට ඉන්න වෙලාවක මෙතනට ආවට කාරි නෑ.

දුරකථන අංකය: 0114387630

Leave a Reply

Your email address will not be published. Required fields are marked *