මේ සඳහා අනුග්‍රහය
කරාබුනැටි කියන්නෙ පුරාණෙ ඉඳන්ම බොහෝදෙනා භාවිතා කරපු, බොහෝ ප්‍රයෝජන තියෙන, ඖෂධීය ගුණ තියෙන දෙයක්. මේ කාලෙදිත් කරාබුනැටි විවිධ වූ නිෂ්පාදනවලට අංගයක් විදියට කනට ඇහෙන්න තියෙනවා. කරාබු නැටි ඔබ නොහිතන විදියටත් ඔබට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ඒ විදියට ගෙදර දොරේ වැඩවලට කරාබුනැටිවලින් තියෙන ප්‍රයෝජනය ගැනයි මේ සටහන වෙන් වෙන්නේ.
1. මවුත් වොෂ්
කරාබු නැටි කියන්නෙ ස්වභාවයෙන්ම සුවඳවත් බවින් යුක්ත දෙයක් කියලා හැමෝම දන්නවානෙ. ඔබට ස්වභාවිකවම මවුත් වොෂ් එකකින් සිද්ධ වෙන උපයෝගීතාවයම ලබා දෙන්නට සාමාන්‍ය කරාබුනැටිවලට හැකියාව තියෙනවා. ඔබේ ආහාර වේලකින් පසුව හෝ ඔබේ මුඛය වඩා සුවඳවත් විය යුතුයි කියා ඔබ සිතන ඕනෑම අවස්ථාවක කරාබු නැට්ටක් සපන්නට ඔබට හැකියාව තියෙනවා. එය මුව තුළ කැබලි වීමෙන් එහි ඇති විෂබීජ නාශක ශ්‍රාවයන් පිටතට නිකුත් වෙනවා. එය ඔබේ මුඛයට අපහසු යැයි දැනුනහොත් කුඩු කරන ලද කරාබු නැටි තේ හැන්දක ප්‍රමාණයක් වතුර කෝප්පයකට දමා මිනිත්තු 5-10ත් අතර රත් කරන්න. ඉන්පසුව එය දිනකට දෙවතාවක් භාවිතා කිරීම ඔබේ මුඛයේ දුඟද සේම විෂබීජද නසාවි.
2. ස්ක්‍රබ්
කරදමුංගු සමග කරාබුනැටි යොදා තනන මුහුණේ ආලේප කරන තරමක් සැර ස්ක්‍රබ් එකක් ගැන හැමෝම දන්නවා ඇති. මේ කියන්න යන්නෙ ඊට වඩා වෙනස්, මුහුණට නැවුම් සුවයක් දෙන ස්ක්‍රබ් එකක් ගැනයි. මේ මෙහි එක් වරකට සෑහෙන සාමාන්‍ය අනුපාතයයි. මෙයට අවශ්‍ය වෙන්නේ කුඩු කරන ලද කරාබු නැටි තේ හැඳි එකයි. මී පැණි තේ හැන්දයි. ලෙමන් බිඳු කිහිපයක් පමණයි. ඔබට මෙම සරළ ප්රතිකර්මය සිදු කරන්නට පැය භාගයක පමණ කාලයක් තමයි වැය වෙන්නේ. මෙම ත්‍රිත්වයම කුඩා භාජනයක දමා මිශ්‍ර කර මුහුණේ මිනිත්තු 20ක කාලයක් ආලේප කර තබන්න. එම මිනිත්තු විස්සට පසු කිසිඳු පිරිසුදු කාරකයක් භාවිතා නොකර ජලයෙන් මුහුණ සෝදා හරින්න.
3. දෙපතුල් සත්කාරය
දෙපතුල් සෝදා හරින්නට සකසාගන්නා මෙම ද්‍රාවණයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වෙන්නේත් කරාබුනැටි වීම සුවිශේෂයි. මේ වෙනුවෙන් උණු වතුර, පොල් කිරි කොප්පයක්, කරාබුනැටි තෙල් බින්දු 10ක්, කුරුඳු තේ හැන්දක් පමණ අවශ්‍ය වෙනවා. ඔබ දෙපතුල් ඔබාගෙන සිටින බේසම උණු වතුරෙන් පුරවාගන්න. පළමුව එයට පොල් කිරි සහ කරාබුනැටි තෙල් එක් කරන්න. ඉන්පසු උඩින් කුරුඳු ස්වල්පයක් එක් කරන්න. මෙම ජලයේ දෙපතුල් මිනිත්තු විස්සක් පමණ ඔබාගෙන සිටින්න. ඉන්පසු ස්වභාවිකව වියලෙන තෙක් නිදහසේ දෙපතුල් තබාගෙන සිටින්න.
4. පිරිසුදුකාරකයක් ලෙසින්
ගෙදරක ඕනෑම දෙයක් පිරිසුදු කරන්නට කරාබුනැටි භාවිතා කළ හැකි වග දැනගත්තොත් ඔබ පුදුම වේවි. කරාබු නැටිවල සුවිශේෂත්වය වන්නේත් එයයි. රෙදි, ලී බඩු, බිත්ති, කාපට්, හම්, ඇළුමිනියම් භේදයකින් තොරව, මුළුතැන්ගෙය හෝ නානකාමරය යනුවෙන් භේදයකින් තොරව පිරිසුදුකාරකයක් ලෙසින් කරාබුනැටි භාවිතා කළ හැකියි. පිරිසුදුකාරකයක් ලෙසින් භාවිතා කිරීමේදී බොහෝවිට යෝග්‍ය වන්නේ කරාබුනැටි තෙල් යොදාගැනීමයි.
5. කෑමකට, තේකට
බිරියානි කියන්නෙ රසින් වගේම සුවඳිනුත් ඉහළ අපි බොහෝදෙනෙක් ආසා කරන කෑමක්. බිරියානිවලට ප්‍රධානම කුළුබඩුවක් විදියට කරාබුනැටි භාවිතා කරන බව නොරහසක්. කෑමක සුවඳ වැඩි කරන්න වගේම, විෂබීජ නසන්නත්, නැවුම් රසයක් ඇති කරන්නත් කරාබුනැටි කියන්නෙ අත්‍යවශ්‍ය අංගයක්. සාමාන්‍යයෙන් ඔබ පානය කරන තේකට කුඩු කරපු කරාබු නැටි තේ හැඳි බාගයක් එක් කරගත්තොත් ඔබට ඔබ පානය කරන තේක වඩාත් රසවත් සේම මුවටත් නැවුම් වෙනසක් දෙන පානයක් විදියට දැනේවි.
Leave a Reply