මනුස්සයෙක් මැරුණට පස්සේ ඇත්තටම මොකද වෙන්නේ?

මනුස්සයෙක් උපන්නොත් අනිවාර්යයෙන්ම මරණයත් ඒ එක්කම උරුම වෙනවානේ. ඒ කියන්නේ අපේ පැවැත්ම ගැන අපිට උපන් හැටියේ ෂුවර් එකටම කියන්න පුළුවන් එකම දේ තමයි උපන්නොත් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම මැරෙණවා කියන එක. හැබැයි මිනිස්සු මැරෙන්න බයයි. මරණය කියන්නේ ඔය තරම් ෂුවර් දෙයක් කියලා දැන දැනම මනුස්සයෙක් ජීවිතේ දාලා යන්න බයයි, දුකයි, ලෝබයි. හැබැයි අපි ඇත්තටම මැරෙන්න බය වෙන්න ඕනද? මැරුණට පස්සේ අපිට මොකද වෙන්නේ? ආන්න ඒ ගැන තමයි අපි මේ කරුණු ටිකක් හොයාබලන්න යන්නේ.

 

1. සංසාරයේ එක නවාතැනක්…

Image Source – thenegativepsychologist.com

සංසාර චක්‍රය විස්වාස කරන, ඇත්තටම මැරෙන්න බය මිනිස්සු වුනත් කියන කතන්දරයක් තමයි “ජීවත් වෙන්න ගියහම සංසාරේ එපා වෙනවා” කියන එක. ඇත්තටම මේ සංසාරයක් ගැන කතන්දරේ තියෙන්නේ පෙරදිග ආගම් සහ චින්තනයන් සමහරක තමයි. බෞද්ධ දර්ශනයේ, හින්දු දර්ශනයේ එහෙම මරණය ගැන සාකච්ඡා කරන්නේ බොහොම තාවකාලික දෙයක් විදියට. ඒ කියන්නේ ජීවිතේ කියන්නේ මේ අනන්ත වූ සංසාරයේ තියෙන තවත් එක නවාතැන්පළක් විතරයි. ඇත්තටම අපි බය වෙන්න ඕන මරණයට නෙවෙයි. මේ ඉමක් කොනක් නොපෙනෙන සංසාරයට. අන්න ඒ නිසා අපි ජීවත් වෙලා ඉන්න කාලේ වැඩ කරන්න ඕන සසර ගමන කෙටිකරගන්න. නැත්නම් ඉපදෙනවා, මැරෙනවා කියන චක්‍රයේ සදාකාලයටම හිරවෙලා ඉන්න වෙන්නේ. ඔන්න ඕක තමයි සංසාරේ ගැන අති සරල කතන්දරේ.

ඇත්තටම සංසාර කතන්දරේ හරියට ඔලුවට දාගත්තහම මැරෙන්න බය හිතෙන්නේ නෑ.

 

2. දිව්‍යලෝකෙට යනවද බ්‍රෝ, නැත්තන් අපායට යනවද?

Image Source – thenegativepsychologist.com

මේ තමයි සෑහෙන්න ජනප්‍රිය කතන්දරේ. මැරුණට පස්සේ අපි කොහේ හරි යන්න ඕනනේ. යන්න පුළුවන් තැන් දෙකයි. එක්කෝ දිව්‍යලෝකේ, නැත්තන් අපාය! දැන් ඔය දිව්‍යලෝකේ කියන්නේ, සුදු සේද වළාකුළු වලින් වැහුණු, මිනිස්සු සුදු ඇඳගෙන සතුටෙන් ඔය වළාකුළු මත පාවී පාවී ඉන්න, අමුතුම පොට් එකක්ලු. සමහරු කියනවා දිව්‍යලෝකේ කියන්නේ අපේ ජීවිතේ සතුටුම මතකයන් අතරේ නැවත නැවත ඉන්න ලැබෙන තැනක්ලු. එතකොට අපාය කියන්නේ කෙලින්ම බුදු අම්මෝ තැනක්. වදබන්ධනයන් ලැබෙන තැනක්. කිසිම සතුටක් නැති දුකම තියෙන තැනක්. එතකොට හැමෝම ට්‍රයි කරන්නේ දිව්‍යලෝකෙට යන්නනේ.

ඔය නැවත උපතක් ගැන විස්වාස නොකරන ආගම් සහ විශ්වාසයන් වල කියන කතාව මේ තරමටම සරලයි. මැරෙන එව්වෝ ඔක්කොම දිව්‍යලෝකේ හරි අපායේ හරි යනවා කියන්නේ ඔය තැන් දෙක එසේ මෙසේ විශාල තැන් දෙකක් වෙන්න බැහැයි කියලා කට කැඩිච්ච කතන්දර කියන එවුනුත් ඉන්නවා ඉතින්.

 

3. මැරුණා, ඉවරයි!

Image Source – commons.wikimedia.org

මෙන්න මේකත් මේ වෙනකොට යම් තාක් දුරකට ජනප්‍රිය මතයක්. විශේෂයෙන්ම භෞතිකවාදීන් මේ මතයට කැමැත්තක් දක්වනවා. දැන් අපි කියමු අපි කියන සත්වයා ගත්තහම අපි හැදිලා තියෙන්නේ පරමාණු වලින් නේ. ඒ කියන්නේ මේක තමයි එක්තරා දුරකට මූලික තැනුම් ඒකකය. දැන් අපි මැරුණට පස්සේ භෞතිකව අපේ ශරීරයට මොකද වෙන්නේ? අපේ ශරීරය දිරලා ගිහින් අර පරමාණු ටික පරිසරයට, හරියටම කිවුවොත් ආයෙමත් සිස්ටම් එකට එකතු වෙනවා. ඒ කියන්නේ අද අපේ නහයේ තියෙන කාබන් පරමාණුවක්, මීට යුග ගණනාවකට කලින් ඩයිනසෝර් කෙනෙක්ගේ වලිගේ තිබුණා වෙන්න පුළුවන්. ඒකම අපි මැරිලා දශක ගණනාවකට පස්සේ ගහක කොළයක තියෙන්න පුළුවන්!

හරි, දැන් ඔය භෞතික ශරීරයට වෙන කතන්දරේ අර උඩින් කියපු දිව්‍යලෝක ඇන්ඩ් අපාය හාදයොත්, සංසාර හාදයොත් පිළිගන්නවා. ඒ අය කියන්නේ අපේ හරයක්, ආත්මයක්, සිතුවිලි පරම්පරාවන් වගේ මොනවා හෝ “අපි” කියලා හඳුන්වන්න පුළුවන් දෙයක් එතනින් එහාට වෙන තැනකට යනවා කියන එකනේ. හැබැයි බෞද්ධ දර්ශනයේ කියන කතන්දරේ ඔය තරම් සරල නෑ.

හැබැයි භෞතිකවාදියෙක් කියන්න පුළුවන් එහෙම දිව්‍යලෝකෙට යන්නවත්, නැවත උත්පත්තියකට යන්නවත්, සංසාර චක්කරේකට අහුවෙන්න වත් මොකක්වත් දෙයක් නෑ කියලා. ඒ කියන්නේ අපි මැරුණහම අපේ ශරීරය පස් වෙනවා වගේම අපේ හිතුම් පැතුම්, කොටින්ම අපි කියලා හිටපු මනුස්සයත් ඉවර වෙනවා. වෙනත් විදියකට කියනවා නම් මරණය කියන්නේ අවසානයට!

 

4. ඇත්තටම ශාරීරික මරණය මොකක්ද?

Image Source – steemit.com

ඔය දාර්ශනික ප්‍රශ්න සහ මතවාද පොඩ්ඩක් පැත්තකින් තියලා හොයලා බැලුවොත්, අපිට මරණය ගැන කියන වෛද්‍ය විද්‍යාත්මක කතන්දරේ හොයාගන්න පුළුවන්. ඇත්තටම මනුස්සයෙක් මැරෙනවා කියන්නේ හුස්ම ගන්න එක නැවතුනහමද?

සාමාන්‍යයෙන් අපේ හෘද ස්පන්දනය නැවතිලා, මොළේ විද්‍යුත් ක්‍රියාකාරකම් හැමදෙයක්ම නැවතුනහම සාමාන්‍යයෙන් මනුස්සයෙක් මැරෙනවා කියලා කියනවා. එහෙම වුනත් දැන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක යන්ත්‍ර පාවිච්චි කරලා තව ටිකක් දුරට මනුස්සයෙක්ව තියාගන්න පුළුවන්. හැබැයි එච්චර තමයි. ඔය කියන්නේ මොළේ මැරුණට පස්සේ ඉවරයි කියලා. බ්‍රේන් ඩෙත්! එතකොට හදවත නතර වෙනවා කියන්නේ ශරීරයේ රුධිර ගමනාගමනය නතර වෙනවා කියන එක. ඒ කියන්නේ අනිත් ශරීර කොටස් වල ක්‍රියාකාරීත්වයත් නතර වෙනවාය කියන එක. ඒකට කියන්නේ කාඩියැක් ඩෙත් කියලා. හැබැයි බොහොම කලාතුරකින් මිනිස්සු ඉන්නවා, කාඩියැක් ඩෙත් කියන අවස්ථාවට පත් වෙලත් ආයෙමත් ජීවිතේට ආපු.

සාමාන්‍යයෙන් සායනිකව මරණයට පත් වුනා කියලා කිවුවට පස්සෙත් ආයෙමත් ජීවිතේට එන්න පුළුවන් දුර්ලභ අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් සායනික මරණයට පස්සේ වුනත් බොහොම සීමිත කාලයක් ඇතුළතදී ආයෙමත් එන්න වෙනවා. නැතිනම් ශරීරයේ තියෙන කෑලි බෑලි ප්‍රයෝජනයට ගන්න, ඒ කියන්නේ ජීවයකට සපෝට් කරන්න බැරි විදියට විනාශ වෙනවා. ඒ කියන්නේ ජෛව විද්‍යාත්මක මරණය. එතනින් ඉවරෙටම ඉවරයි.

5. සුදු පාට එළියක් දිගේ මාව ඇදිලා ගියා!

Image Source – mithsofhinduism.blogspot.com

මෙන්න ඔය නියර් ඩෙත් එක්ස්පීරියන්ස්, එහෙම නැතිනම් මැරුණාම තමයි කියලා යන්තමින් ආයෙමත් ගොඩ ආපු අය කියන බොහොම ජනප්‍රිය කතන්දරය. ඒ කියන්නේ උඩ කියපු ජෛව විද්‍යාත්මක මරණයට යන්න කලින්, සායනික මරණයට පත් වෙලා ආයෙමත් ආපු අයගේ කතා. ඒ ගොඩක් අය කියන්නේ තමන් මැරිලාය කියන කරුණ සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් තිබුණා කියලා තමයි. ඒ කියන්නේ සමහරු කියනවා තමන් උඩට ඇදිලා යනකොට, තමන්ගේ ශරීරය පහළ ප්‍රාණය නිරුද්ධ වෙලා තියෙනවාත් දැක්කා කියලා.

ඉන්පස්සේ ගොඩක් දෙනෙක් කියනවා තමන්ව සුදුපාට ආලෝකයක් දිහාවට, නැතිනම් අඳුරු උමගක කෙළවරේ තියෙන සුදු ආලෝකයක් දිහාවට ඇදිලා ගියා කියලා. එතකොට අර ජනප්‍රිය මනෝ කාය නැතිනම් ඇස්ට්‍රල් බොඩි කියන කතන්දරේ පිළිගන්න වෙනවා. අනික් මොනදේ අමතක කළත්, කෙනෙක් මැරුණට පස්සේ ඒ කෙනා කියලා තිබුණු ආත්මය හෝ සාරය හෝ මනස හෝ සිතුවිලි හෝ ඔය හැම එකක්මත් ඉවරයි කියන මතය එතනින් කැඩෙනවා. ඒ කියන්නේ ඔය සුදු ආලෝක කතන්දරේ පිළිගත්තොත්.

හැබැයි ඕකටම තව තර්කයක් ගේන උග්‍ර භෞතිකවාදියෙක් කියන්න පුළුවන්, ඔය සුදු එළිය දිහාට ඇදිලා යන කතන්දර ඔක්කොම සිද්ධ වෙන්නේ හැබෑවටම මැරෙන්න කලින් කියලා. ඒක මනසේ ඇතිවෙන මායාවක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ෂුවර් එකටම මැරුණට පස්සේ ඔය සුදු එළි, සුදු වෑන් මොකුත් නෑ!

 

6. හොල්මං!

Image Source – destinationamerica.com

සමහර වෙලාවට මරණයත් එක්ක අපිට තියෙන භීතියට හේතුවක් වෙන්නේ ඇත්තටම අපි යන්නෙ කොහාටද, කොහේ හරි යනවද ඔය මොකුත් නොදැන ඉඳීම වෙන්න පුලුවන්. ඔය අතරේ ඔය අධිස්වභාවික කතන්දරත් එනවා. ඒ කියන්නේ හොල්මන්, අවතාර සහ භූතයෝ!

ලෝකේ ඕනෑම සංස්කෘතියක මේ මරණයෙන් පස්සේ යන තැනකට යන්න බැරි වෙලා, මියගිහිනුත් අපි ඉන්න ලෝකේ සැරිසරන හොල්මන් හෝ අවතාර හෝ භූතයෝ ගැන අහන්න ලැබෙනවා. සමහරු කියනවා මේ දේවල් අපේ මනසේ නිර්මාණයන් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් ලෝකේ හොල්මන් සහ අවතාර ගැන මිනිස්සු පෙන්නන සාක්ෂි සෑහෙන්න සුලභයි. ඒ නිසා මේක හුදු මිත්‍යාවක් විතරමයි කියලා අහක දාන්නත් බෑ. සමහර වෙලාවට ඔය හොල්මන් කියන්නේ ‘හෙලවෙන මනස’ ම වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ අපේ මනසේ නිර්මිතයක් විතරක් වෙන්න පුළුවන්.

හැබැයි ඔය උඩින් කියපු මරණයෙන් මතු ජීවිතයක් ගැන කතා කරන බොහෝමයක් විශ්වාසයන් ඇතුළේ මරණය සහ ඊළඟ භවය හෝ ඊළඟ අවස්ථාව හෝ ඊළඟ ජීවිතය අතරේ තියෙන අතරමැදි තැනක් ගැන විශ්වාසයන් තියෙනවා. සමහරු ඕකට ඊතරය කියනවා. සමහරු බාඩෝ කියනවා. සමහරු ගන්ධබ්භ අවස්ථාව කියනවා. හැබැයි ඉතින් ඔහොම එකක් තියෙනවා කියලත් අපිට ටක්කෙටම පෙන්නන්න සාක්ෂි සාධක නැහැය කියන එක අවධාරණය කරන්න වෙනවා!

 

7. ඉතින් මැරෙන්න බය වෙන්න ඕනද?

Image Source – reneetamara.wordpress.com

බොහොම හොඳ ප්‍රශ්නයක්. මැරෙන්න බය වෙන්න ඕනද? මැරුණට පස්සේ ඔක්කොම ඉවර වෙනවා නම් බය වෙන්න කාරියක් නෑ නේද? ඒත් සමහරු ඉන්නවා ඔක්කොම ඉවර වෙන එකට බය වෙන අය. එතකොට මැරුණට පස්සේ ආයෙමත් උත්පත්තියක් සිද්ධ වෙලා ආයෙමත් මේ සම්පූර්ණ පිචර් එක වෙනම විදියකට ගෙවන්න සිද්ධ වෙනවා කියලා සංසාරය විශ්වාස කරන අය කියනවා. ඔන්න ඕකටත් බය හිතෙනවනේ. ඇයි ඉතින් සදාකාලික චක්‍රයකට අහු වෙලා උපදිනවා, මැරෙනවා. ආයෙ උපදිනවා වෙනකොට? ඒකට තමයි සසර මග කෙළවර කරගන්න සිස්ටම් එක එක ආගම් වලින් කියලා දෙන්නේ.

තාමත් මැරෙන්න බයද? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. කවදාහරි අපිට ඔය ප්‍රශ්නෙට සහ මැරුණට පස්සේ මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තර ලැබෙයි. හැබැයි මරණෙන් පස්සේ කිසිම දෙයක් නැතිනම්, අපිට උත්තරයක් ලබාගන්න කියලා දේකුත් නෑ.

අඩු තරමින් මැරෙන මොහොතෙදී හිතට දුකක් නැතුව, කළකිරීමක් නැතුව, හිත් වේදනාවක්, පසුතැවීමක් නැතුව මැරෙන්න තියෙනවා නම් ඒත් මදෑ. ඒකට ඉතින් ඒ වගේ ජීවිතයක් ගෙවන්න ඕන. එච්චරයි.

zvr
Your Reaction

Comments