ප්ලේන් ටී, මිල්ක් ටී වලින් එහාට ගිය තේ කලාවක රසය අරගෙනයි ඔන්න අද ආවෙ. මේ ගිනි ගහන රස්නෙ කාලෙ මොන තේද කියල හිතෙයි. අද අරන් ආවෙ රස්නෙ වෙලාවට කූල් එකේ බොන්නත්, සීතල දවසක හොට්වට බොන්නත් පුළුවන් තේ රෙසිපි ටිකක්. වෙනස්ම රස කීපයකින් ගෙදරදීම තේ එකක් රස විඳින්න ඔයාලටත් පුළුවන්.
1. මින්ට් ටී පන්ච්

Image Source – lipton.com
අවශ්‍ය ද්‍රව්‍ය
- උතුරන වතුර කප් 3
- ටී බෑග් 4ක් හෝ තේ කොළ තේ හැඳි 4ක්
- සීනි කප් 1
- දොඩම් යුශ කප් 1
- ලෙමන් හෝ දෙහි යුශ කප් 1/4
- අයිස් වතුර කප් 5
- මිංචි කොළ ඉති හත අටක්
- පිළිගැන්වීමට ලෙමන්, දෙහි හෝ දොඩම් පෙති කීපයක් සහ අයිස් කැට
- මිංචි කොළ සහ ටී බෑග්ස් බඳුනකට දමා එයට උතුරන වතුර එක් කර විනාඩි 8ක් පමණ තියන්න. විනාඩි අටකට පසු ටී බෑග්ස් සහ මිංචි කොළ මිරිකා ඉවත් කරගෙන තේ මිශ්‍රණය පෙරාගන්න.
- සීනි එක් කර හොඳින් දියකරගෙන එයට ලෙමන් සහ දොඩම් යුශ එක් කර මිශ්‍ර කරගන්න. අයිස් වතුර ටිකත් එක් කර මිශ්‍ර කරගන්න.
- අයිස් කැට සහ ලෙමන් පෙති දමාගත් වීදුරු වලට පුරවා පිළිගන්වන්න.
2. රශියන් ටී

Image Source – today.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝල්මන්ස් හෝ ටෑන්ග් වැනි දොඩම් රස බීම පව්ඩර් කප් 2
- සීනි කප් 2
- තේ කොළ කප් 1/4
- කුරුඳු කුඩු තේ හැඳි 1
- කරාබුනැටි කුඩු තේ හැඳි 1
- උතුරන වතුර කප් 2
- අයිස් වතුර අවශ්‍ය පමණ
- තේ කොළ වලට උතුරන වතුර එක් කර විනාඩි 6ක් පමණ තියන්න. තේ කොළ ටික පෙරාගෙන එයට දොඩම් රස පව්ඩර් සහ සීනි සමඟ කුරුඳු කුඩු සහ කරාබු නැටි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
- මේ මිශ්‍රණය නැවත පෙරාගෙන නිවෙන්නට හැර රස අනුව අවශ්‍ය පමණ අයිස් වතුර එක් කර අයිස් කැට සමඟ පිළිගන්වන්න.
3. මසාලා චායි

Image Source – archanaskitchen.com
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කප් 2
- ටී බෑග්ස් 2
- ගම්මිරිස් ඇට තේ හැන්දක්
- කුරුඳු ස්ටික්ස් 1 (පැකට්ටුවේ එන සම්පූර්ණ කුරුඳු කූරක්)
- කරදමුංගු 2
- කරාබුනැටි 2
- ස්ටාර් අනීස් 1
- මිල්ක්මේඩ් කප් 1/2
- වතුර ටික රත් වෙන්න තියල උතුරන කොට මිල්ක්මේඩ් හැර අනික් සියල්ලම එකතු කරල විනාඩි දෙකක් විතර උතුරව ගන්න.
- ලිපෙන් ඉවත් කරල පෙරාගෙන මිල්ක්මේඩ් මිශ්‍ර කරල නැවත උතුරවාගෙන උණුවෙන්ම පිළිගන්වන්න.
4. කියුකම්බර් ටී ස්ප්‍රිට්සර්
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කප් 2
- සීනි කප් 1/2
- ටී බෑග්ස් 2
- අඟල් 1/4ක් මහතට පෙති කපාගත් පිපිඤ්ඤා
- අයිස් වතුර කප් 5ක් (ස්පාක්ලින් වෝටර් ගන්නත් පුළුවන්)
- ලෙමන් ගෙඩියක යුශ
- අයිස් කැට
- වතුර කප් 2 උතුරන්න තියාගන්න. එයට සීනි සහ ටී බෑග් එක් කර ලිප නිවා විනාඩි 5ක් පමණ තබා හොඳින් මිශ්‍ර කරගන්න.
- නිවුණු පසු එයට අයිස් වතුර සහ පිපිඤ්ඤා පෙති එක් කර එයට ලෙමන් යුශ මිශ්‍ර කරගෙන අයිස් කැට එක් කර පිළිගන්වන්න.
5. ජින්ජ්ගර් ඇන්ඩ් පයිනැපල් ටී
අවශ්‍ය ද්‍රව්‍ය
- අන්නාසි ගෙඩියේ මැද නාරටියෙන් 200g
- ටී බෑග්ස් 3
- ඉඟුරු 50g
- වතුර ලීටරයක්
- සීනි අවශ්‍ය පමණ
- වතුර ටික උතුරන්නට හැර එයට සිහින්ව පෙති කපාගත් ඉඟුරු සහ කුඩා කොටු කපාගත් අන්නාසි නාරටිය සමඟ ටී බෑග් එක් කර ගන්න.
- විනාඩි 2ක් පමණ උතුරුවාගෙන පෙරා සීනි අවශ්‍ය පරිදි එක් කර උණුවෙන්ම පිළිගන්වන්න.
- කැමති නම් නිවෙන්නට හැර ශීතකර අයිස් කැට එක් කර පිළිගන්වන්නත් පුළුවන්.
6. හොට් ඇන්ඩ් ස්පයිසි හිමාලයන් චායි

Image Source – thanksgiving.com
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කප් 7
- ඉඟුරු අඟල් 1 1/4ක්
- සීනි මේස හැඳි 6
- කුරුඳු ස්ටික් එකක්
- කරදමුංගු 6
- කරාබු නැටි 12
- බේ ලීව්ස් 2
- මහදුරු මේස හැඳි 1
- ගම්මිරිස් ඇට තේ හැඳි 1/2
- තේ කොළ තේ හැඳි 2
- කිරි කප් 1
- වතුරට තේ කොළ සහ කිරි හැර අනෙක් සියල්ලම එක් කර හොඳින් උතුරුවාගෙන තේ කොළ එක් කර ලිපෙන් ඉවත් කර විනාඩි 10ක් තියාගන්න.
- එයට කිරි එක් කර නැවත ලිප තබා උතුරුවාගෙන පෙරා පිළිගන්වන්න.
7. සිම්පල් හනී, ජින්ජර් ඇන්ඩ් ලෙමන් ටී

Image Source – twinings.co.uk
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කප් 4
- ටී බෑග්ස් 2
- රස අනුව මීපැණි
- ලෙමන් යුශ කප් 1/4
- ඉඟුරු අඟලක් පෙති කපාගෙන
- වතුර උතුරන්න හැර ලිපෙන් ඉවත් කර එයට ටී බෑග් සහ ඉඟුරු එක් කර විනාඩි 3ක් තියාගන්න.
- වෙන බඳුනකට පෙරා නිවෙන්නට හැර ලෙමන් යුශ සහ මීපැණි එක් කර ගෙන අයිස් කැට සහ ලෙමන් පෙත්තක් සමඟ පිළිගන්වන්න.
Cover Image Source – twinings.co.uk.com
Leave a Reply