යමුද කලා උළෙලක් බලන්න?
කලා උළෙලක් කියපු ගමන් හුඟ දෙනෙක්ගෙ හිතේ ඇතිවෙන්නෙ උදාසීන අදහසක්. මෙතුවාක් කල් කලා උළෙලවල්වල ස්වරූපයෙන් ඒ එක එක්කෙනා ලබපු අත්දැකීම් මේ විදිහෙ උදාසීන හැඟීමක් හිතේ ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. අපි හදන්නෙ ඒ හැඟීම බිඳල දාල වෙනස්ම අත්දැකීමක කොටස්කාරයෙක් වෙන්න ඔයාලට ආරාධනාවක් කරන්න. මේ වැඩේ නම තමයි Down Town Pulse. මේක කාලයක් තිස්සේ සිද්ධ වෙන වැඩක්.
1. බේකරිය
Down Town Pulse, එහෙමත් නැත්නම් යටිනුවර ස්ඵන්දනය ගැන කතා කරන්න අපිට එන්න වෙන්නෙ බේකරිය හරහා. දහසකුත් බේකරි අතර අපි මේ කියන බේකරිය ස්ථානගත වෙලා තියෙන්නෙ කොට්ටාවට ආසන්න මහල්වරාව කියන ගමේ. පාන් පුච්චන බේකරියක් සහ ඒ අවට ඉඩකඩේ කාලයක් තිස්සේ සෙට් වෙන පිරිසක් ඉන්නව. අද වෙද්දි බේකරිය කේන්ද්‍ර කරගෙන ඉන්න මේ පිරිසව හැඳින්වෙන්නෙ බේකරියෙ කට්ටිය නමින්. මේ අය බහුතරයක් යම් යම් කලාවන් ගැන අධ්‍යයනය කරන, කලාවට ලැදි පිරිසක්. මේ අවකාශයෙදි එදිනෙදා කෙරෙන මිතුරු සල්ලාපයන්ගෙන් එහාට ගිහිල්ලා දැනෙන වැඩ ටිකක් කරන්න මේ අයගෙ තියන කැමැත්තත් එක්ක විවිධ නිර්මාණ කාලෙන් කාලෙට එළියට එන්න ගන්නව. මහල්වරාවෙ වෙසක් පහන් කූඩුව ඒකෙන් එකක්. අනිත් ප්‍රධානම වැඩක් තමයි අපි මේ කියන Down Town Pulse කලා උළෙල.
2. යටි නුවර ස්ඵන්දනය
ඇත්තටම Down Town Pulse එක මේ වෙද්දි අවුරුදු අටක විතර කාලයක් තිස්සේ පැවතගෙන එන වැඩක්. මුලදි මේ වැඩේදි සංගීතය තමයි ප්‍රධාන කලා මාධ්‍යය වුණේ. නිතර දෙවේලේ ඇහෙන ජනප්‍රිය ගීත සහ සංගීතය නෙමෙයි, ප්‍රධාන ධාරාවෙන් වෙනස් විකල්ප සංගීත භාවිතාවන්ගෙන් යුතු පිරිස තමයි මේ ප්‍රසංග භූමියේදී අපිට දැකගන්න ලැබුණෙ. Saturday Night Fever වගේ නම් වලිනුත් මුලදි මේ ප්‍රසංගයම පැවැත්වුණා. කාලෙත් එක්ක Down Town Pulse නම ස්ථිර භාවිතාවට ආව. එතනින් විතරක් නැවතුණේ නැහැ. Down Town Pulse කියන කලා උළෙලේ හැඩයත් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්න පටන් ගත්තා. මුලදි එක දවසකට සීමා වෙච්ච මේ උළෙල පස්සේ දින ගණනාවක් පුරා පැවැත්වෙන්නටත්, විවිධ කලා ශානරයන් අවුරුද්දෙන් අවුරුද්දට මේකට එකතු වෙන්නටත් පටන් ගත්තා.
3. කලා සැණකෙළියක් කිවුවත් හරි
මුලදී රාත්‍රී කාලයේදී පැවැත්වෙන සංගීත සංදර්ශනය මූලික කරගෙන පවත්වපු Down Town Pulse පස්සේ අවුරුදු වලදී බේකරිය කේන්ද්‍ර කරගෙන දවස පුරාම සිද්ධ වෙන කලා අංගවලින් සමන්විත වෙන්න පටන් ගත්තා. ඡායාරූප ප්‍රදර්ශන, දෘෂ්‍ය සහ රංග කලා ආදියත් විවිධ සංවාද මණ්ඩපත් මේ උළෙලට එකතු වෙන්න පටන් ගත්තා. මේ අත්දැකීම මේ අවුරුද්ද වෙද්දි තවත් පුළුල් වෙලා තියනවා. බේකරිය කේන්ද්‍ර වෙලා ආරම්භ වෙච්ච Down Town Pulse එක මේ පාර මහල්වරාව ගම පුරා පැතිරුණු එකක් බවට පත්වෙලා තියනවා. කලාව විඳින්න වගේම සමරන්නටත් නිදහස මේ භූමිය තුළදී මේ අත්දැකීමේ කොටස්කාරයන් වෙන අයට හිමිවෙනවා. බීර විතක සිසිලස විඳින අතරේ තමන්ගේ නිදහස අනිකාගේ නාස් කෙළවර ස්පර්ෂ නොකරමින් කලාව විඳින පිරිසක් තමයි ඔබට මේ භූමියේදී දකින්න ලැබෙන්නේ. ඒ මිනිසත් බවේ අත්දැකීම විඳින්නට පමණක්ම වුවත් ඔබ මෙහි පැමිණීම වටිනවා.
4. පොඩිහිටියන්ටත් ඉඩක්
වර්තමානය වෙද්දි බේකරිය හදවත කරගෙන කලාවන් අධ්‍යයනය කරන, කලා නිර්මාණ වල නියැලෙන දරු පිරිසකුත් බිහිවෙලා තියනවා. මේ අය නාට්‍ය පාඨමාලාවලට සහභාගි වෙනව. මේ අයට පුහුණු කටයුතු කරන්නත් ඉඩක් බේකරිය භූමියේ වෙන්වෙලා තියනවා. Down Town Pulse උළෙලේත් විශේෂ වැඩසටහන් කීපයක්ම අපේ බාල පරම්පරාව වෙනුවෙන් වෙන්වෙලා තියනවා. ළමා පරපුර ඉලක්ක කරගෙන සම්මානනීය ළමා නාට්‍ය සහ ළමා චිත්‍රපට පෙළක් ප්‍රදර්ශනය කරන්නටත් Down Town Pulse සංවිධානය කරන පිරිස කටයුතු යොදල තියනව.
5. මොනවද වෙන වැඩ?
පෙබරවාරි 25 වැනිද ඉඳන් මාර්තු 2වැනිදා වෙනකම් හැමදාම උදේ 10 සිට රාත්‍රී 12 වෙනකම් බේකරිය සහ මහල්වරාව ගමේ විවිධ කලාවන් විඳින්න ඔබට ඉඩ කඩ විවර වෙනව. සින්දු අහන්නට, ඡායාරූප ප්‍රදර්ශන නරඹන්නට, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නරඹන්නට, රංග කලා (Performing Art) සහ ස්ථාපන කලා (Installation Art) දැකබලා ගන්නට දවස මුළුල්ලේම යම් යම් කාල වේලාවන් වෙන් කරල තියනවා. ඒ වගේම මේ කාලය ඇතුළතදි බේකරිය සහ මහල්වරාව ගම් පියසේ ඇවිදලා තාප්ප සහ බිත්ති වල නිර්මාණය කරල තියන Graffiti Art නරඹන්නත් ඔබට පුළුවන්. මේ කලා උළෙලේ අවසාන දවස, ඒ කියන්නෙ මාර්තු 2වැනිදා රාත්රියේදී සංගීත කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පවත්වන සංගීත සංදර්ශනයක් රස විඳින්නටත් ඔබට අවකාශ සැලසෙනව.
6. කලා හිතකාමීන් වැඩිම ප්‍රමාණයක් දායක වෙන විශාලම උළෙලක්
කලා ශානර 10ක් 12ක් විතර නියෝජනය කරමින් 100කට අධික කලාකරුවන් පිරිසක් Down Town Pulse භූමියේදී ඔබ හමුවට එනව. Down Town Pulse උළෙලට මුල් වරට එකතුවෙන වේදිකා නාට්‍ය අතරට උදයසිරි වික්‍රමරත්නගේ පෙම් යුවළක් ඕනෑ කර තිබේ, අසංක සායක්කාරගේ මම කෙළින් මිනිහෙක් සහ චමිල ප්‍රියංකරගේ මෙය තුවක්කුවක් නොවේ නාට්‍ය ඇතුළත් වෙනවා. විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටේ චිත්‍රපටය, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරගේ එකතුවෙන් නිර්මාණය වුණු තුන්දෙනෙක් චිත්‍රපටය මෙහි පෙන්වන චිත්‍රපට අතරින් විශේෂයි. ඝෝෂා, හැපී ජර්නි, මියුසික් මැටර්ස්, ස්කිට්සෝ ඇතුළු සංගීත කණ්ඩායම් 10ක් අවසාන දවසේ සංගීත සන්දර්ශනයේදී දැකගන්න පුළුවන්. කපුටු ආර්ට් සහ ඩොමිනික් විසින් නිර්මාණය කරන Graffiti චිත්‍ර නිර්මාණ වගේම කෝරලගෙදර පුෂ්පකුමාර සහ මහේෂ් තාබෘගේ ස්ථාපන කලා නිර්මාණත් ඒ අවකාශයේදී ඔබේ ඇහැ ගැටේවි. මීට අමතරව විරාජ් ලියනාරච්චි සහ අමිල ගමගේගේ ඡායාරූප ප්‍රදර්ශනයක් බේකරිය අවකාශයේදී නරඹන්නටත්, කුමාරි කුමාරගමගේ, ඔමාලි රාධිකා, බන්දු මනම්පේරි ඇතුළු පිරිසකගේ Performin Art නිර්මාණ නරඹන්නටත් ඔබට අවස්ථාව උදාවෙනවා.
7. ආදරේ රැළි සිඹින මිනිසත් බවේ වෙරළක්
මේ තමයි මේ පාර Down Town Pulseවල තේමා පාඨය. මේ මිනිසත් බවේ වෙරළ ස්පර්ශ කරන්නට දින 5ක් පුරාවට ඔබට ඉඩකඩ විවර වෙලා තියනවා. Down Town Pulse කලා උළෙලට දායක වෙන කිසිම කලා ශිල්පියෙක් මේ මගින් මුදල් ඉපයීමක් සිද්ධ කරන්නේ නැති බවත් මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕනෙ. ඒ වගේම මේ උළෙලට ඔබේ දායකත්වයත් ඉතාම වැදගත් බවත් අපි මතක් කරනවා. අවුරුද්දෙන් අවුරුද්ද ක්‍රම ක්‍රමයෙන් වැඩි පරාසයකට විහිදුණු යටි නුවර ස්ඵන්දනය අසන්නට, දකින්නට, විඳින්නට මේ ඉසවුවට ගොඩවදින්නට ඔබට පුළුවන්. දවස පෙබරවාරි 25 සිට මාර්තු 2 වැනිදා දක්වා. ස්ථානය මහල්වරාව බේකරිය සහ ඒ අවට.
එහෙනම් ආදරේ රැළි සිඹින මිනිසත් බවේ වෙරළකදී මුණ ගැසෙමු!
එතෙක් ජය!
Leave a Reply