ඕනිවට වඩා ෆෝන් එක ඔබනවයි කියලා අම්මලා කෑ ගහන්නේ ඒක ඇත්තෙන්ම භයානක කේස් එකක් නිසා වෙන්න ඇති කියලා මේ ලිපිය අවසානයේ දී හිතේවි. දුරකථනේ මාරයෙක් වෙන්නේ ඕනිවට වඩා ළඟට කරගෙන හුරතල් කරන්න ගියාමයි. හුරතල් කරන් ඉන්නවාය කියන්නේ ඉතින් රෑට ඕක ළඟ තියන් ඉන්න එකයි. දවල් දවස තිස්සේ එල්ලිලා ඉන්න එක වෙනම කතාවක්. මේක ඊට වඩා බැරෑරුම් කතාවක්. ඇත්තම කතාව ඕක නැතුව අපේ ජීවිතේ බොහොමයක් වැඩ අමාරු වෙන එකයි. ඉතින් තරම දැනගෙන භාවිත කරන එකේ කිසිම අවුලක් නැහැ.
1. නින්දට බාධා
දොස්තර මහත්තුරු කියන්නෙත් දවසට පැය 7ක් 8ක් නිදාගන්න කියලා. ෆෝන් එක දිහා රෑ එළි වෙනකන් බලාන හිටියම නිදාගන්න ඕනි මොන වෙලාවෙ ද නැත්තෙ මොන වෙලාවෙ ද කියන එක නිර්ණය කරගන්න අමාරු වෙනවා. ඔය තිරෙන් නිපදවෙන blue light කියන එළිය අපේ ඇඟේ නිපදවෙන මෙලටෝනින් කියන හෝර්මෝනේ එක්ක පුල් ඇරියර්ස්. ඒක නිසා තමයි දෙයියනේ කියලා අපේ ඇඟ විවේක සුවයක් ලබන්න ලකලෑස්ති වෙන්නේ. ඉතින් ඒක නැති වුණාම නින්දක් නෑ. නින්ද නෑ කියන්නේ තවත් ලෝකේ නැති ලෙඩ කන්දරාවක් හැදෙනවයි කියන එකයි.
2. පිළිකාවට අතවැනීම
පිළිකාවක් හැදෙනවා කියන එක දැන් උණ හෙම්බිරිස්සාව වගේ. පිළිකාවක් ඕනම මොහොතක හැදෙන්න පුළුවනි. ඉතින් ඊට එරෙහිව සටන් වදින්න අවශ්‍ය දේවල් අපි ළඟ තියෙන්න ඕනි. කලින් සඳහන් කරපු මෙලටෝනින් පිළිකාවලට එරෙහිව සටන් වදිනවා. ඒක නැති වෙනවා කියන්නේ ඉතින් පිළිකා අවදානමක් තියෙනවා කියන එකයි. ඊට අමතරව ෆෝන් එක ඇඳේ හෝ කාමරයේ ඔළුවට සමීපව තබාගැනීමෙනුත් මේ වගේ භයානක දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලයි කියන්නේ.
3. ඇසේ ආබාධ
ඇස් දෙක වගේ ෆෝන් එක පරිස්සම් කරන උදවියට ඇත්තටම ඇස් දෙක අමතක වෙලා යන්න පුළුවන්. තිරයෙන් එන නිල් එළිය දිහා සෑහෙන වෙලාවක් තිස්සේ බලන් හිටියම ඇහේ කහ බින්දුව සහ දෘෂ්ටි විතානයට හානි සිද්ධ වෙනවා. එතකොට ඉතින් බඩුම තමා. දෙයක් හරියට නාභිගත කරගන්න බැරි වෙනවා. බොඳ වෙලා පේන්න ගන්නවා. සුද මතු වෙනවා. මේවා ඕනි ද අනේ ඉතින්? නිදි මරාගෙන ෆෝන් එබුවා කියලා ඕවා තමයි ලැබෙන්නේ.
4. මොළයට වන ඇබැද්දි
මතකය නැතිභංගස්ථාන වීම, මානසික ආතතිය, ප්‍රතිචාර දැක්වීමට පමා වීම, අධික වෙහෙස, කෙඩෙත්තු ගතිය කියන දේවල් ඉතින් මේ විගඩමෙන් මොළේ වෙහෙසට පත් වුණාම වෙන දේවල් තමයි. නින්ද මදි වුණාම පරිවෘත්තීය ක්‍රියා අවුල් වෙනවා. එතකොට ඉතින් මොළේට ලේ යන්නේ හිතුණ හිතුණ විදියට.
5. විෂාදය තත්ත්වය ඇතිවීම
මෙලටෝනින් සිරුරට විවේක සුවය ලබා දෙන්න හිතාගෙන ශරීරයේ නිපැදවෙනවා. අනික් අතට මේ දුරකථන භාවිතය නිසා මෙලටෝනින් නිපදවීම අඩු වෙනවා. සමහර අයට නින්ද යන්නෙ නැති වුණාම පවා මෙලටෝනින් නිර්දේශ වන අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ තත්ත්වය ඩිංගක් බරපතල වෙනවා. හරිහැටි නින්දක් නැහැ, වෙලාව ගැනයි තමන් කරන දේවල් ගැනයි වැටහීමක් නැහැ. ඉතින් ඉක්මනට මේ තත්ත්වයකට මුහුණ දෙන්න තියෙන ඉඩ වැඩියි.
6. තරබාරු වීම
ඔක්කොමත් හරි ෆිගර් එක අවුල් ගියොත් කාට කියන්නද අප්පා. මේ මෙලටෝනින් කියන්නේ හොඳ කැලරි දාහකයක්. ඇඟේ එහෙමවත් එකක් දහනය වෙන්න තියෙන නිසා හොඳයි. ඒක නැති කරගත්තා කියන්නේ අද ඉන්නවට වඩා හෙට ශරීර ප්‍රමාණය වැඩි වෙන එකට. ඊට පස්සේ දවසේ ආයෙත් එහෙම වෙන එක.
7. මුහුණ අවලස්සන වීම
රෑට හැමෝම නිදි අස්සේ ෆෝන් එකට එබෙනවා නම් ඒ මූණෙන්ම අනික් පහු වෙනිදා කණ්ණාඩියට එබෙන්න නරකයි. එහෙම වුණා නම් ඇස් රතු වුණ, ඇස් යට කලු ගැහුණු, වළවල් හැදුණු මූණක් තමයි බලාගන්න වෙන්නේ. දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණෝතින් ඇත්තටම ප්ලාස්ටික් සර්ජරියකින්වත් මට්ටු කරන්න වෙන්නෙ නැහැ.
මේ නිල් එළිය අමුතු දෙයක් නෙවෙයි, දවාලටත් තියෙනවා. නමුත් රෑට තමයි හොඳටම පේන්නේ සහ වඩා අහිතකර වෙන්නෙත් ඒකමයි.
Leave a Reply