ශරීරය මහත යුවතියන්ට ඇඳුම් ගන්න හොඳම තැන් 7ක්

හැමෝම එක වගේ ද ආයිබොවන්ඩ! ඒත් ඇඳුම් මහන අය ඒක හරිහැටි දන්නේ නැතුවදෝ මන්දා විවිධතාවලට සරිලන විදියට ඇඳුම් ආයිත්තම් මහන්නේ නැහැ. මැහුවත් ඒක හරිම සීමිතයි. මේ නිසා අමු කට්ටක් කන්න සිද්ධ වෙන පාර්ශවයක් තමයි ශරීරය මදක් මහත් වුණ යුවතියන්. කඩේකට ගියොත් වැඩි හරියක් තියෙන්නේම ඉඟ සුඟ ගත හැකි මිටින වර්ගයේ ඇඳුම් කෑලි. ඉතින් ඕක කොරන්න බැහැනේ. අපහසුතාවයට පත් වෙන්නේ නැතුව බබා වගේ ගිහින් ඇඳුම් ගන්න පුළුවන් තැන් කීපයක් කොළඹ අවටින් හොයාගන්න පුළුවන්. මේ ඒ ගැන ලියමනක්.

 

1. The Outlet Store

Image Source – msnarchitects.lk

තුම්මුල්ල පහු කරන් ඇවිත් ඩුප්ලිකේෂන් පාරට ඔන්න මෙන්න වැටෙන්න තියා බම්බලපිටියේ ඉදි වුණ සුපිරි තැනක් තමයි මේ. මෙතන විශේෂයෙන් ම ශරීරය විශාල උදවියටයි කියලා හංවඩු ගැහිල්ලක් නැහැ. ඇත්තටම කියනවා නම් මේක රෙදි කඩේකට විතරක් සීමා කරන්නත් බැහැ. සෙල්ලම් බඩු, වීදුරු බඩු, සෙරෙප්පු, බෑග් වගේ දේවලුත් තියනවා. වැඩිපුර ඉතින් ඇඳුම් තමයි. එතනිනුත් ඇතුළු වෙන තැන ඉඳන් ඇස් දෙක යන්නේ ලස්සන පාටින් තියෙන කලිසම් දිහාවට. මේ හැම එකක් ම ප්ලස් සයිස් තමයි. කෙට්ටු කෙනෙක්ට නම් අතගාලා බලලා යන්න පුළුවන්. ලිනන් වගේ සැප රෙදි වර්ගයකින් තමයි මේවා මහලා තියෙන්නේ. ඔක්කොමටත් වඩා මිල ගණන් 1000ට අඩුයි. මෙතන සුවිශේෂ දෙයක් තමයි නිතරම වගේ සේල් දාන එක. කලිසම් විතරක්ම නෙවෙයි ගවුම්, පිජාමා, ස්පෝර්ට්ස් වෙයාර් වගේ එකී මෙකි නොකී ඕනි දෙයක් ලොකු ලොකු ප්‍රමාණවලින්. වරදවා වටහාගන්න නරකයි මෙතන ශරීරය මහත අයට පමණක් වෙන් වුණ තැනක් නෙවෙයි. උඩ තට්ටුවේ පිරිමින් සඳහා වෙන් කරපු ඇඳුම් අංගනයකුත් තියෙනවා.

 

2. Double XL

Image Source – pinterest.com

කලින් ගියපු සාප්පුවේ ඉඳන් මහා දුරක් යන්න ඕනි නැහැ. ඩුප්ලිකේෂන් පාරේම ටික දුරක් වැල්ලවත්ත පැත්තට ගියාම (ඒත් තියෙන්නේ බම්බා මායිමේ තමයි) පාරේ අයිනේ මේ නමත් එක්ක හුරුබුහුටි කඩයක් දකින්න පුළුවන්. නමින්ම පේනවනේ ඉතින් මේ කඩේ සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ ලොකු උදවියට තමයි. ඇඟේ තරමට ඉතින් පොකැට්ටුවත් ලොකුවට ඕනි කරනවා. හැබැයි ගාණට පුල් මාවලස්. සෙරෙප්පු සපත්තු වුණත් ප්ලස් සයිස්. අපේ ලියමනේ ගෑල්ලමයින්ට ඉස්පෙෂලි ලිව්වට මොකෝ මෙතන පිරිමි උදවියටත් පුංචි ඉඩක් වෙන් කරලා තියනවා. නිකන් ම නිකන් ගෝනි වගේ ඇඳුමක් බලාපොරොත්තුවෙන් යනවාට වඩා නව කාලයේ විලාසිතා එක්ක මුසු වුණු ඇඳුම් මෙතන තියනවා. පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය හොඳම ඇඳුම තෝරා දෙන්න කැප වෙලා ඉන්න විනීත සේවක පිරිසකුත් ඉන්න බව මතක් කරන්න ඕනි.

 

3. TASH

Image Source – mobile.facebook.com

තවම දුර යන්න කාරියක් නැහැ. පාර මාරු වෙන්නයි තියෙන්නේ. ඩුප්ලිකේෂන් එකේ ඉඳලා ගාලු පාරට පැනගත්තාම බම්බලපිටියේ පොලිසිය ගාව තමයි මේ සාප්පුව පිහිටලා තියෙන්නේ. ගොඩක් දෙනා මෙතනට යන්නේ පාටිවලට අඳින්න ඇඳුම් සාධාරණ මිලයට ගන්න පුළුවන් නිසයි. මෙයාලාගේ උදාන වාක්‍ය වගේ තියෙන්නේ “For the Independent Women” කියලයි. ඒකෙන් ම තේරෙනවා මේ අත්දැකීමේදී කිසිම අපහසුතාවක් ඇති වෙන්නේ නැති වග. ඇඳුම් ප්‍රමාණවල පරාසය බැලුවොත් S ඉඳන් 4XL වෙනකන් වගේ තියෙනවා.

 

4. Vonael

Image Source – mobile.facebook.com

මෙතනට යන්න වඩාත් සුදුසු ශරීරය තරමක්‍ මහත උදවියට විතරයි. ඒ කියන්නේ ප්‍රමාණ අනුව තෝරාගැනීම් අනික් සාප්පු එක්ක සසඳලා බලද්දී සීමිතයි කියන එකයි. ගොඩක් මහතා කෙනෙකුට නම් තෝරාගැනීමක් කරන එක යම්තාක් අපහසු වෙන්න පුළුවන්. පිහිටලා තියෙන්නේ බොරැල්ලේ කින්සි පාරේ. කොහොම නමුත් මේ තත්ත්වය යම් තාක් දුරට දැන් සමනය වෙලයි තියෙන්නේ. XS ඉඳන් 5XL දක්වා වගේ ඇඳුම් මිල දී ගන්න පුළුවන්. ළමා ළපටින්ට වගේ ම පිරිමි අයටත් කැපෙන ඇඳුම් තියෙනවා. ඒ අවට කොහොමත් මේ වගේ සාප්පු සීමිත ප්‍රමාණයක් තියෙන නිසා ඒ පැත්තේ ගියොත් ගොඩ වැදිලා යන්න අමතක කරන්න එපා.

 

5. Glam Girl

Image Source – mobile.facebook.com

ආයෙත් බම්බලපිටිය පැත්තටම එන්න හිතුණා. මෙයාලාගේ විශේෂත්වේ තමයි ඉතාම කාර්යක්ෂම ඩිලිවරි සේවාවක් පවත්වාගෙන යන එක. හැබැයි සාප්පුවට යන්න අවශ්‍ය කෙනෙක්ට ඩුප්ලිකේෂන් පාරෙන් පාසල් පටුමගට හැරිලා ගිහිනුත් ගන්න පුළුවනි. ඩිලිවරි සේවයේ දී ඔවුන්ගේ ෆේස්බුක් පේජයට ගිහින් මැසේජ් එකක් දාන්නයි තියෙන්නේ. චාම් විලාසිතා තමයි තියෙන්නේ. ගවුම් විතරක් නෙවෙයි අනෙකුත් ඇඳුම් වර්ග, ආභරණ සහ ආලේපන එහෙමත් තියනවා.

 

6. The Curve Closet

Image Source – mobile.facebook.com

සුට්ටක් විතර ඈතට ගිහිල්ලා දැන් සැපත් වෙලා ඉන්නේ පිළියන්දලටයි. පිළියන්දල මඩපාත පාරේ තමයි තියෙන්නේ. ඉතාම වටිනා පෙනුමැති ගවුම්, කාර්යාලයට ඇඳුම්, ස්පෝර්ට්ස් වෙයාර්, කැෂුවල් වගේ හැම දේම තියනවා. බුකිගත වෙලා පේජ් එකට ගිහින් ඩිලිවර් කරගන්නත් පුළුවන්. නුවර පාරේ කැලණිය විශ්වවිද්‍යාලයට ළඟින් මෑතක දී “Fashion Gruge” නමින් සාප්පුවක් විවෘත කරා. Curve Closet එකේ උදවිය තමන්ගේ ඇඳුම් මේ සාප්පුවේ අලෙවියට පවා බෙදා හැරලා තියනවා. පිළියන්දල යන්න කම්මැලි නම් කැලණියට එන්න.

 

7. Curvy by Chenara Dodge

Image Source – mobile.facebook.com

තනිකර ම අන්තර්ජාලය මත පදනම් වෙලා ඩිලිවරි කරන තැනක් තමයි මේ. තවත් සාප්පු තියෙද්දී ඇයි මේක ම කියන ප්‍රශ්නය එන්න පුළුවන්. පිළිතුර තමයි ඒ හැඩයට සහ ගාණට මීට වඩා හොඳ තැනක් යෝජනා කරන්න බැරි වීම. මොවුන්ගේ ෆේස්බුක් පේජයට ගිහින් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඒත් නැත්නම් 0763512338 කියන අංකයට වට්ස්ඇප්, වයිබර්, ඉමෝ කියන ඇප්වලින් සම්බන්ධ වෙලා ඕඩර් කරන්නත් පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *