මූණේ ලස්සන මොකටද හිත ලස්සන නැත්තං කියලා මාසෙකට කීප වතාවක් හරි අහන්න ලැබෙනවාම තමයි. ඒ කතාව එක්තරා දුරකට ඇත්ත. කොයි තරම් ලස්සනට ඉන්න මනුස්සයෙක්ගේ වුනත් හිතේ ලස්සනක් නැත්තං ඇති වැඩක් නෑ. හැබැයි ඉතින් ‘මගේ හිත ලස්සනයි බ්‍රෝ’ කියලා කියාගෙන ඉන්න මනුස්සයෙක් මළාට තමන්ගේ බාහිර පෙනුම ගැන හිතන්නේ නැත්තං, එහෙම ඩයල් එකකගෙන් ඇති වැඩකුත් නෑ.
සාමාන්‍යයෙන් කොල්ලෝ කියන්නේ කෙල්ලො තරම් ඔය පෙනුම ගැන ඒ තරම් උනන්දු වෙන ජාතියක් නෙවෙයිනේ. ඒක හරි. ගොඩක් වෙලාවට ඔලුවේත්, මූණේත්, ඇඟේත් ගාන්නේ ලයිෆ්බෝයි විතරයි. ඉන් පස්සේ කොණ්ඩේ අතින් හදාගෙන එලියට බහිනවා. රැවුල ඇණයක් වෙන තරමට වැවුනහම කපලා දානවා. ගොඩක් කම්මැලි පැත්තට බර අපි දන්න හාදයෝ ඔහොම තමයි. හැබැයි අපි කියන්නේ එහෙම බෑ කියලා. කොල්ලෙක් වුනත් ලස්සනට ඉන්න ඕන. තමන්ගේ බාහිර පෙනුම ගැන, පිරිසිදුකම ගැන හිතන්න ඕන. අද කියන්න යන්නේ එහෙම කොල්ලෙක් ගාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අඩුම කුඩුම කීපයක් ගැන.
1. ඔළුව පීරන පනාවක් දෙකක් ඕනැමයි!

Image Source – aliexpress.com
ඇත්තම කතාව තමයි ගොඩක් කොල්ලෝ ඔලුවට පනාවක් පෙන්නන්නෙ නෑ කියන එක. හැබැයි සෞඛ්‍යය අතින් ගත්තත් ඒක හොඳ දෙයක් නෙවෙයි. අපේ ඔලුවට, හරියටම කිවුවොත් කොණ්ඩෙට සහ හිස්කබලට හොඳ මසාජ් එකක් ඉඳලා හිටලා හරි අවශ්‍යයි. ඒකෙන් නිරෝගිමත් කොණ්ඩයක් ලබාගන්න පුළුවන්. ආන්න ඒ නිසා කොල්ලෙක් ගාව පනාවක් දෙකක් තියෙන්න ඕන. අර රවුම් බ්‍රෂ් එකක් හරි ෆ්ලැට් බ්‍රෂ් එකක් හරි එක්ක තව දැති තියෙන පනාවක් එහෙම තිබුණට කාරි නෑ. මේ එක් එක් පනා සහ බ්‍රෂ් වලින් සිද්ධ වෙන කාර්යයන් එකිනෙකට වෙනස්. ඒ එක්කම හරියට ඔළුව පීරන්නේ කොහොමද කියලත් පොඩ්ඩක් දැනකියාගෙන හිටියට කමක් නෑ.
ඒ එක්කම එහෙ මෙහෙ ගෙනියන්න සාක්කුවේ දාගන්න පුළුවන් පොඩි පනාවකුත් තිබුණට කාරි නෑ.
2. රැවුල පීරන්නත් පනා

Image Source – youtube.com
මේ කාලේ ස්ටයිල් එක තමයි රැවුල වවන එක. හැබැයි ඉතින් අපි කලිනුත් කියලා තියෙන විදියට ඉලුක් යාය වැවෙන්න දෙන්නැහේ ඔහේ රැවුලට ඕන විදියට වැවෙන්න දීලා හරියන්නෙ නෑ. හැමදාම රැවුලට සාත්තු කරන්න ඕන. මෙන්න මේ රැවුල් සාත්තුවට අත්‍යාවශ්‍ය දෙයක් තමයි රැවුල පීරන පනාවක් සහ රැවුල පීරන බ්‍රෂ් එකක්. දැන් ඔය පනා සහ බ්‍රෂ් තියෙනවා නම් හැමදාම නාලා කියලා ආවට පස්සේ ගාණට රැවුල පීරගන්න පුලුවන්. ඒ ක්‍රමෙන් අර කැතට වැවුණු රැවුලක් වෙනුවට, බොහොම පිළිවෙල සහගත දැකුම්කලු රැවුලක් වවාගන්න පුළුවන්. හැබැයි හරි විදියට තමයි රැවුල පීරන්න ඕනා.
3. බියර්ඩ් ඔයිල්

Image Source – youtube.com
දැන් හොඳට වැවුණු, පිළිවෙල, ලස්සන රැවුලක් නඩත්තු කරන්න නම් රැවුල පීරන එක විතරක් මදි. රැවුලට කරන්න ඕන තව සාත්තු සප්පායම් තියෙනවා. ඉන් එකක් තමයි නාන වෙලාවට රැවුල වෙනුවෙන්ම හදපු ෂැම්පො එකක් පාවිච්චි කරන එක. ඒක ඇණයක් වගේ නම් ඉතින් ඒ කෑල්ල අත් අරින්න පුළුවන්. හැබැයි රැවුලට තෙල් ආලේප කරන එකනම් අත අරින්න බෑ. ඒ කියන්නේ අර ඝනව, පිළිවෙලට වැවුණු රැවුලක් වුවමනා නම් බියර්ඩ් ඔයිල් එකක් කියන්නේ ඕනම රැවුල් කාරයෙක් ගාව තියෙන්න ඕනම අයිටම් එකක්. ඇත්තටම බියර්ඩ් ඔයිල් එකක් පාවිච්චි කරලා රැවුලේ තෙල් ආලේප කරන එකත් පොඩි ආට් එකක්. හැබැයි පටන් ගත්තට පස්සේ මාසයක් දෙකක් යනකොට පෙනෙයි වෙනස.
4. මැනික්‍යු පෙඩික්‍යු සෙට් එකක්!

Image Source – iatmoko.com
එහෙම කියපු ගමන් බය වුනාද? බය වෙන්න එපා. මේ කියන්නේ කොල්ලෙක්ගේ අත් වල සහ කකුල් වල නියපොතු කොහොමද හරියට පවත්වගන්නේ කියන එක සහ ඒකට ඕන අඩුම කුඩුම ගැන. දැන් ඕන නම් ගොඩක් දෙනෙක් කරනවා වගේ අර බහුකාර්ය නියපොතු කපන ගැජට් එකක් ගන්න පුළුවන්. ඒකේ හැන්ඩ්ල් එකේ පීරක් තියෙනවා නියපොතු හැඩ කරන්න. තව එලියට අදින්න පුළුවන් පොඩි උල් ගැජට් එකක් තියෙනවා නියපොතු අස්සේ කුණු අයින් කරන්න. ඒකත් අවුලක් නෑ. හැබැයි මේ ගැන ගොඩක්ම උනන්දු කොල්ලෙක්ට කෙලින්ම එක එක වැඩේට වෙන වෙනම බඩු තියෙන මැනික්‍යු පෙඩික්‍යු සෙට් එකක් ගන්න පුළුවන්. එතකොට අත් වල නියපොතු කපන එකෙන් කකුලේ නියපොතු කපන්න ඕන නෑ. කැපුවට පස්සේ ගාණට නියපොතු හැඩ කරන්න වෙනම ගැජට් තියෙනවා. නියපොතු ඇතුළ පිරිසිදු කරන්න වෙනම ගැජට් තියෙනවා.
5. නෝස් හෙයාර් ට්‍රිමර් එකක්

Image Source – t3.com
මොන කුණුහරුපයක්ද කියලා හිතන්න එපා! සාමාන්‍යයෙන් තරුණ වයස පහු කරනකොට සමහරුන්ගේ නාහේ ඉඳන් එළියට, දිගට රෝම කූප වැවෙනවා. සමහර වෙලාවට තරුණයින්ගේ වුනත් නාහේ රෝම කූප දකින්න පුළුවන්. වයස්ගත වෙනකොට නම් ඉතින් ඕක අනිවාර්යයෙන්ම වෙන දෙයක්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. නාහේ ඇතුළේ තියෙන රෝම කූප අපේ ශරීර සෞඛ්‍යය සඳහා අවශ්‍ය දෙයක් වුනාට, නාහෙනුත් එළියට ඇදිලා රෝම තියෙනකොට කැතයිනේ. ආන්න ඒ ප්‍රශ්නය ගෙදරදීම විසඳගන්න පුළුවන් හොඳ ට්‍රිමර් එකක් ගත්තහම. නෝස් හෙයාර් ට්‍රිමර් එකක් පාවිච්චි කරන එක ලොකු අමාරුවක් නෙවෙයි.
6. රැවුල බාන උපකරණ සෙට් එකක්

Image Source – amazon.com
රැවුල වවන එක විලාසිතාව කරගත්තු කොල්ලෙක් ගාව වුනත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි මේ. එක්කෝ හොඳ ඉලෙක්ට්‍රික් ෂේවර් එකක් හරි ට්‍රිමර් එකක් හරි ගන්න පුළුවන්. එහෙම නැතිනම් හොඳ ආරක්ෂිත රේසරයක් හරි දැලිපිහියක් හරි තල මාරු කරන රේසරයක් හරි තියෙන්නම ඕන. ඒ එක්කම ෂේවින් ක්‍රීම් එකක්, ෂේවින්ග් බ්‍රෂ් එකක්, ආෆ්ටර් ෂේව් එකක් එහෙමත් තියෙන එක හොඳයි. එතකොට රැවුල කපන පොඩි කතුරකුත් තිබුණට කමක් නෑ. කොයි තරම් රැවුල වැවුවත්, පනාවෙන් සහ බියර්ඩ් ඔයිල් එකෙන් විතරක් රැවුල නීට් කරගන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයට වැවුණට පස්සේ රැවුල නීට් එකට කපාගන්න වෙනවා. තමන්ට බාබර් කතුර හුරු නැතිනම් රැවුල ගාණට අඩු කරන්න, ෂේප් කරන්න බාබර් මහත්තයෙක් ගාවට යන්න වෙනවා.
එහෙම නැතුව රැවුල කපන කොල්ලෙක් ගාව මේවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ!
7. හෙයාර් ඩ්‍රයර් එකක්

Image Source – amazon.com
සාමාන්‍යයෙන් කොල්ලෙක්ට දිග කොණ්ඩයක් තියෙන්නේ කලාතුරකින්නේ. ඒ නිසා ගෑණු ළමයෙක්ට වගේ කොණ්ඩේ වේලගන්න දහදුක් විඳින්න දෙයක් කොල්ලෙක්ට නෑ. එහෙම වුනත් ඉතින් සමහර කොල්ලෝ නෑවා, එහෙන් මෙහෙන් කොණ්ඩේ පිහිදාගත්තා, තෙත තියෙනකොටම ගියා ක්‍රමේට තමයි වැඩ කටයුතු කරන්නේ. හැබැයි ඉතින් ඒකෙන් තමන්ගේ කොණ්ඩෙටම තමයි හානිය. ඒ නිසා කොල්ලෙක් ගාව වුනත් ඔය පොඩි හෙයාර් ඩ්‍රයර් එකක් තිබුණට කමක් නෑ. ඒකෙන් නාලා ආවට පස්සේ කොණ්ඩේ හොඳින් වියලා ගන්න පුලුවන්. හැබැයි ඉතින් හෙයාර් ඩ්‍රයර් එකක් වුනත් පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. හරි විදියට හෙයාර් ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්නත් දැනගන්න ඕන.
Cover Image Source – standard.co.uk/ businessinsider.com
Leave a Reply