ලංකාවෙ අපි බොහෝමයක් දෙනා හිස නමා ඉඩහරින අපරාධ

දැන් ස්වභාවයෙන්ම ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් එයා කියන්නෙ තමුන් අපරාධවලට ඉඩ දෙන්නෙ නෑ සහ ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියලනෙ. කොටිම්ම මහජන මුදල්වලින් පාලකයා පිස්සු නටද්දි කට්ටිය ඊට විරුද්ධව කෑ ගහනවානෙ. හැබැයි කෑ ගැහුවා කියලා කිසිම වෙනසක් වෙන්නෙ නැහැනෙ. අපි මේ කියන්න යන්නෙ අපි හිස නමාගෙන ඉන්න නිසා නිරන්තරයෙන්ම සිද්ධ වෙන අපරාධ සහ වැරදි දේ කිහිපයක් ගැනයි. රටේ සිද්ධ වෙන අපරාධ එක්ක බලද්දි මේවා අපරාධද කියලත් සමහරවිට ඔබට සිතේවි. ඒ කොහොම වුනත් ඇත්තටම අපි හිස නමා මගහරින මේ අපරාධ ගැන මීට වඩා මැදහත්ව කටයුතු කරන්න ඕන කියලයි ලයිෆි අපේ අදහස.

 

1. කහ ඉර

Image Source – autotrader.ca

මහා ව්‍යාපෘති විදියට සුදු කරගෙන ගියාට ලංකාවෙ අපිට හුරු කහ ඉර කියන එකනෙ. ඔය කියන කහ ඉර තියෙන්නෙ මගීන්ට කරදරයක් නැතුව පාර මාරු වෙන්නනෙ. එහෙමයි කියලා කහ ඉරෙන් වුනත් හිතූමතේ පාර මාරු වෙන්න බෑ කියන එකත් මගීන් හිතේ තියාගන්න ඕන. කොහොමින් කොහොමහරි ඔය කියන කහ ඉර උඩ පොලිසිය නැති වෙලාවට කලර්ලයිට් කොච්චර තිබුනත් දෙපාර්ශවයටම අසාධාරණකම් වෙනවා. වාහන තියෙන අය “හැප්පුනත් කමක්නෑ නවත්තන්නෙනං නෑ” කියන මූඩ් එකෙන් යනවා, පයින් යන අය “ඕකුන් වාහනේනෙ ඉන්නෙ” කියල හිත හිත, නිදහසේ කතා කර කර පාර පනිනවා. මේ නිසාම කහ ඉරේ අනතුරු බහුල වෙනවා වගේම නීතිගරුක මනුස්සයෙකුටවත් කහ ඉරේ නිසි ප්‍රයෝජනය ගන්නට බැරි වෙනවා.

 

2. තේරුං කරන්න අමාරු ලොකු අපරාධ

Image Source – dailymirror.lk

අපි ගණං නොගන්න අනිත් මහා අපරාධය තමයි දේශපාලකයින් සහ මහා ව්‍යාපාරිකයන් අතින් සිද්ධ වෙන තේරුං කරන්න අමාරු ලොකු මූල්‍ය අපරාධ. ඒ දේවල් මිනියක් මැරෙනවා, අලුතෙන් වාහනයක් ගන්නවා වගේ දේවල්වලට බනින්න පුරුදු වෙච්ච ජනතාවට දරන්න අමාරු තරම් විශාලයි. එනිසා ඒ අය ඒවා ගැන කතා නොකර ඉන්නවා. පොදු ජනතාව ඒ ගැන දකින්නෙ ඒවා උසාවිය බලාගනියි කියන තැනින්. මේ කොයි දේශපාලකයා අතිනුත් නාස්ති වෙන්නෙ අපේ බදු සල්ලි වගේම, රට හදන්න තියෙන සල්ලි නේද කියන දේ ඒ අයට නිකමටවත් මතක් වෙන්නෙ නෑ. මතක් වුනත් මතක් වෙන්නෙ ඒ අය ඡන්දෙ දාන පක්ෂයට විරුද්ධ පක්ෂෙ වංචා ගැන විතරයි.

 

3. වැල යන අත

Image Source – wordpress.com

සාමාන්‍යයෙන් ජනමාධ්‍ය සේවාවක් පරිශීලනය කරන්නට මූලිකම හේතුව වෙන්නෙ රට තොට ගැන විස්තර දැනගන්න. මීගමුවෙ හෝටල් කාමරයක සිටි දුවව බේරගන්න තාත්තා අඬ අඬ ආපු හැටි, කාර් එක හැප්පුනාම වයසක ඇන්ටි කෙනෙක් මහමග බැනපු විදිය දැනගන්න එක නෙමෙයි ජනමාධ්‍යයෙන් ප්‍රවෘත්ති දැනගනිද්දි ප්‍රධානම අරමුණ වෙන්නෙ. හැබැයි ඉතිං ප්‍රධාන පුවත් යට ගහලා, තමන්ට වාසි සහගත හිතවාදී දේශපාලන ඇජෙන්ඩාවලට ලක්වෙලා, මේ විදියෙ දේවල්ම ජනගත කරන මාධ්‍ය දිහා ඇත්ත තේරෙද්දි වුනත් අපේ අය කට ඇරගෙන බලාගෙන ඉන්න එකනම් නැවතිලා නැහැ.

 

4. ගෙවන මිලට

Image Source – news.com.au

අපි යම් සේවාවකට හෝ භාණ්ඩයකට ගෙවන මුදලකට රිසිට් පතක් එහෙමත් නැත්නම් බිලක් සෑම අවස්ථාවකම ලබාගන්නවාද? එහෙම ලබා නොදෙනවානම් එය ඉල්ලා සිටීම අපගේ යුතුකමක්. තවමත් එය අපරාධයක් කියා ඔබට හැඟෙන්නේ නැතිද? ඔබේ අතින් නිකුත් වන මුදල් තුන්වැනි පාර්ශවයක් හරහා කොතැනකට යනවාද කියා ඔබ දන්නවාද? එය ඔබට අදාළ නැහැ කියා ඔබ සිතනවාද? ඔබ ලද සේවයට​ හෝ ඔබ මිලදී ගත් භාණ්ඩයට වටිනාකමක් තිබෙනවාද? ගෙවන මිලට නිශ්චිත ලදුපතක් ලැබීම ඔබේ අයිතියක් බවත්, එය මගහැරීම අපරාධයක් බවත් සිහි තබාගන්න.

 

5. ශබ්ද දූෂණ

Image Source – theindependentbd.com

ඔබ විසින් ඔබ අවට සිද්ධ වෙන ශබ්ද දූෂණයන්ට හිස නමාගෙන සිටිනවාද? වෙළෙඳුන් නීතියට පිටින් ලවුඩ්ස්පීකර් බැඳගෙන සිදුකරන දෙයම ඔබේ ආගමික සිද්ධස්ථානය විසිනුත් සිද්ධ කරනවාද? ඒ කිසිවකට ඔබ එදිරි නොවී එය දරා සිටිනවාද? ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ස්ථාන පගාවෙන් සැනහෙනවානම් ඒ වෙනුවෙන් ඔබ නැගී සිටිය යුතුමයි. නැතහොත් දුෂණය වන්නේ ඔබ නිදහසේ ජීවත්වන වටපිටාවයි. ඔබට උරුම ඉඩමක, ඔබ ඉදිකළ නිවසක බදුගෙවමින් ජීවත් වන ඔබ එහි ශබ්ද දූෂණය නොවන්නට වග බලාගත යුතුමයි. නමුත් අප එලෙස නැගී සිටිනවාද?

 

6. පගාව

Image Source – corporatecomplianceinsights.com

පෙර කොටසේ කිවූ පරිදිම පොදු මහජනයා හිස නමන තවත් විශාල අපරාධයක් වන්නේ පගාවයි. නීතිමය වරදක චූදිතයා පගාව දී බේරී යනවානම් එහි වින්දිතයාට අත් වන ඉරණම කුමක්ද? උදෑසන පටන් පෝලිමක සිටි රෝගීන් අතරට මුදලේ බලයෙන් වෛද්‍යවරයා පැමිණෙන මොහොතේම පතිත වන කෙනෙකුට එරෙහිව ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? මෙවැනි වූ දෑ කොපමණ ඔබ අප අවට පරිසරයේ අප දැනුවත්වම සිදුවෙනවාද? අපද අවශ්‍යතාවය පැමිණිවිට එහි ප්‍රයෝජනය ගෙන කල් ගෙවනවා නේද?

 

7. පෞද්ගලිකත්වය

Image Source – privateinternetaccess.com

ඔබේත් මගේත් පෞද්ගලිකත්වය යනු බොහෝමයක් ව්‍යාපාරවල උන්නතිය වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්. එය ඔබත් මමත් නොදැනුවත්වම පිටස්තරයන්ට නිකුත් වන්නේ කෙලෙසකින්දැයි ඔබ දන්නවාද? ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි සියළු විස්තර ඔබට වෙනස්ම මූල්‍ය ආයතනයකින් වෙනත් ක්‍රෙඩිට් කාඩ් පතක් මිලදීගන්නට යෝජනා කරන පුද්ගලයා දන්නේ කෙසේද? ඔබේ දුරකතන අංකයට වෙනත් වූ සේවාවන් සම්බන්ධ දැනුම්වත් කිරීම් පැමිණෙන්නේ කෙසේද? මෙවැනි වූ දේ ෆේස්බුක් හෝ ට්විටර් හරහා මහාපරිමාණයෙන්ද සිදුවුනත් අප අසළම සිදුවන පෞද්ගලිකත්වය විකිණීමේ අර්බුදයටවත් එරෙහි නොවන්නේ ඇයි?

Cover Image Source – newsfirst.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *