ප්ලෑන් කරපු සර්ප්‍රයිස් එකක් වැරදෙන්න පුළුවන් විදි 7ක්

සමහරු තමන්ගෙ පෙම්වතුන් පෙම්වතියන්ට, දෙමවුපියන්ට, මිතුරන්ට, සහෝදරයින්ට සර්ප්‍රයිස් දෙන්න කැමැත්තක් දක්වනවා. ඒත් හැම පැත්තක්ම නොහිතුවොත් සර්ප්‍රයිස් එකක් අල වෙන්නට තියෙන ඉඩ කඩ බොහොම වැඩියි. අනික සාමාන්‍ය අල වීමකට වඩා සර්ප්‍රයිස් එකක් අල වීම ටිකක් නරක තත්ත්වයක් ඇති කරන්නත් පුළුවන්. මේ කතාව ඒ ගැනයි. මේ අතරින් සමහර සිද්ධි අපේ පාලනයෙන් දුරස්ථයි. හැබැයි සර්ප්‍රයිස් එකක් කරලා එයට ලක්වන්නා සහ එය සිදුකරන්නා කියන දෙදෙනාගේම සතුට දුකක් බවට පෙරලෙන්න පුළුවන් විදි ගැනයි මේ කතාව. ඔයාලගෙත් සර්ප්‍රයිස් අල වුණු අවස්ථා තියෙනවානම් අපිට කියන්න.

 

1. හොරා පොලිස්

සර්ප්‍රයිස් එකක් අල වෙන්න පුළුවන් නරකම විදියක් තමයි මේ. ඔයා එයාව බය කරන්න හොරෙන් ගෙදරට පැන්නම එයා ඔයාගෙ ඔලුවට රෙද්දක් දාලා පොලු පාරවල් දෙකක් දුන්නොත්? පොලිසියට කෝල් කළොත්? ඔයාගෙ සර්ප්‍රයිස් එක දෙන්න ගිහින් ඩ්‍රයිවු කරන මනුස්සයා වාහනේ හප්පගත්තොත්? එහෙමත් නැත්තං එක්ස්ප්‍රස්වේ වාහනේ නැවැත්තුවට දඩ කන්න වුනොත්? ඔයාගෙ සර්ප්‍රයිස් එකෙන් හටගන්න ගින්න ජීවිත හෝ දේපළ හානියක් සිද්ධ කළොත්. වන විනාසයක් නේද වෙන්නෙ? ඒ හින්දා සර්ප්‍රයිස් කරද්දි, සර්ප්‍රයිස් කරන මනුස්සයට තරමටම බාහිර පරිසරය ගැනත් අවධානය යොමු කරන්න. අවුල් යන්න පුළුවන් විදි, අවුල් යෑම මගහරවගන්න පුළුවන් විදි ගැන හිතන්න. අඩුම තරමෙ පොලිසියට අහුවුනේ නැතත් පොලු පාරක්වත් කන්න වුනොත් හරිනැහැනෙ.

 

2. අනියං

මේක ඉතිං සිද්ධ වෙන්න පුළුවන් පෙම්වතුන් අතරේ තමයි. ඔන්න ඉතිං සර්ප්‍රයිස් එක දෙන්න ප්ලෑන් කරලා රෝස මල් අරගෙන, පෙම්වතී ගෙදර ඉන්න බව සක්සුදක් සේ පැහැදිලි කරගෙන, එයාගෙ දෙමවුපියෝ ගෙදර නැති බවත් පැහැදිලි කරගෙන, එයාගෙ යාලුවෙකුටවත් නොඅඟවා, එයා කෝල් කළාමත් ඔෆිස් එකේ ඉන්න බව කියලා හොරෙන් යනවා ගෙදරට. එයාගෙ ගෙදර දොර හොරෙන් කපාගත්තු යතුර දාලා ඇරලා හෙමීට කාමරේ පැත්තට යනව. මෙන්න බොලේ කෙල්ල හෙලුවෙන් ඇඳ උඩ වාඩිවෙලා. කෙල්ලට යට වෙලා කොල්ලෙක් ඔලුව දාලා බලනවා. එයත් හෙලුවෙන්. වුනා නේද සර්ප්‍රයිස්!

 

3. පුං!

මෙන්න මහත්තයො කෙලවෙන්න පුළුවන් තවත් විදියක්. ටිකක් වයස්ගත කෙනෙකුට සර්ප්‍රයිස් දෙන්න කලින් මේ ගැන හිතුවොත් හොඳයි. නිකමට හිතමු මෙහෙම. ඔයා සර්ප්‍රයිස් එක දෙන කෙනා හෘද රෝගියෙක්නං. ඔයා දෙන කම්පනය එයාට දරාගන්න බැරි වුනොත්. පහුවදාට ඔයාගෙ සර්ප්‍රයිස් එක නිසා ජයරත්න මහත්තයට වාසියිනෙ. ඒ විදියෙ නරක අත්දැකීමකට ඔයාලාට මුහුණ දෙන්න වෙන්නෙපා කියලා අපි පතන ගමන්ම මතක් කරනවා කරන සර්ප්‍රයිස් එකක් දුරදිග හිතලා කරන්න කියලා. දැන් මහා වයස්ගත නොවෙන අයටත් හෘද රෝග තියෙනවානෙ

 

4. මේ මොකද්ද මේ?

නිකමට හිතන්න ඔයා සර්ප්‍රයිස් එකට දෙන්නෙ තෑග්ගක් කියලා. ඒ ගෑනු ළමයට ලස්සන පර්සියන් පූසෙක් සල්ලි දීලා ගන්නවා. ඌව පුළුන් කොට්ට පුරවපු වට්ටියකට ඇඳුමකුත් අන්දලා බස්සගන්නවා. ඊටපස්සෙ අරගෙන ගිහින් ඒ ගෑනු ළමයගෙ එඩ්‍රස් එක හොයාගෙන ගේ ළඟින් තියලා බෙල් එක ගහලා හැංගිලා බලාගෙන ඉන්නවා. ඒ ගෑනු ළමයා එයාගෙ බලු රෑන පිරිවරාගෙන එළියට ආවම කොහොමද ආතල් එක. පර්සියන් පූසා දුවයි රුසියාවට. ඊට හපං ඒ ගෑනු ළමයට සත්ව මවිල් ඇලර්ජික් නං. හචිං ගිහින් ඉවරයක් නැති වෙයි. සර්ප්‍රයිස් කරලා තෑගි දෙන්න ගිහින් සොරි කියනවට වඩා හොඳයි කැමති දේ අහලා අරන් දෙන එක.

 

5. බෑ!

මේකනං සර්ප්‍රයිස් එක දෙන කෙනාට සිද්ධ වෙන්න පුළුවන් ලැජ්ජා සහගත අවස්ථාවක්. මතකනෙ අලුත්ම අයිෆෝන් අනූනමයකින් රවුමක් හදලා ඒ මැදට තමුන් ආදරය කරන කෙනාව එක්කගෙන ගිහින් එයාට ප්‍රපෝස් කරපු චී​න පරිගණක ඉංජිනේරුවගේ කතාව. මේ වගේ ප්‍රසිද්ධියේ ඇදගෙන නාගන්න එක සල්ලි වියදමට වඩා හපං වැඩක්. ඇයි වටපිටාවෙ මිනිස්සු වීඩියෝ කරනවනෙ. ඊටපස්සෙ ගන්න දෙයක් නැති වෙනවා. ඇයි ඉතිං පහුවදාට ටැග් කරලා ඔන්ලයින් වීඩියෝ වැටෙද්දි කොහොමද ආතල් එක.

 

6. ලීක්!

අපි මේ ලීක් කියලා කිවුවෙ අර පුංචි එවුන් පුස්ලෝඩං කනවා වගේ කෙල්ලෙකුගෙ කට කන ගඩොල් ඔලුවගේ සීන් එක ගැන නෙමෙයි. මේ කියන්නෙ වෙනස්ම ලීක් එකක් ගැන. දැන් ඔය සර්ප්‍රයිස් කරද්දි ඒකට උදවුවට සෙට් කරගන්න අයත් ඉන්නවනෙ. උදාහරණෙකට පෙම්වතියව සර්ප්‍රයිස් කරනවානං පෙම්වතියගේ හොඳම යෙහෙලියගෙන් උදවුවක් ගන්න පුළුවන්නේ ඒකට. හැබැයි එයාට ඊරිසියා හිතුනොත්, නැත්තං ඇත්තටම කට වැරදුනොත් පෙම්වතාත් නොදැන පෙම්වතාට කලින් පෙම්වතිය ඒක දැනගන්න ඉඩ තියෙනවා. ඉතිං මොන සර්ප්‍රයිස්ද?

 

7. පොලු

පොලු කියලා කිවුවෙ සර්ප්‍රයිස් එක වැරදිලා පොලු පාරවල් කන්න වෙන එක ගැන නෙමෙයි. ඒ ගැන අපි කලින් කිවුවනෙ. මේ කියන්නෙ සර්ප්‍රයිස් එකට උදවුවට එන අය පොල්ල තියන එක ගැන. ලන්ඩන්වල ඇල්බට් අංකල් වගේ කෙනෙක් හදිස්සියේ උදවුවට නාවොත් ඉතිං මෙහෙම අවස්ථාවක අබ සරණයි! ඇයි ඉතිං සර්ප්‍රයිස් කරන්න ඕන ඔක්කොම බඩු ටික මං අරගෙන එන්නං කියපු යාලුවා කලින් දවසෙ රෑ හොඳට බීලා ෆෝන් ඕෆ් කරගෙන නිදිනං, මොන දෙයියන්ට කියන්නද? අපිට සර්ප්‍රයිස් වෙන්න තමයි වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *