කුණුහරුප කියන කොල්ලන්ට කෙල්ලන්ට විශේෂයි!

ටෞකන්ඩ ප්‍රශ්නයක් අරගෙන ආවේ අපි අද! හැබෑටම කුණුහරුප කියන එක හොඳද නරකද කියන එක තමයි ඒ ප්‍රශ්නය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් සමහරු ඉන්නවා ඇත්ත ජීවිතේදී මුණගැහුනත් දෙයියනේ කියලා කුණුහරුප කටින් වපුරගත්තු ගමන් තමයි කතා කරන්නේ. එතකොට තවත් සමහරු ඉන්නවා ඇත්ත ජීවිතේ හිමිජ්ජෝ වගේ හිටියත් ඔය සෝෂල් මීඩියා වලදී එහෙම සෙට් වුණහම කටේ කමසිරියාවක් නෑ. ආයෙ වචන දහයක් කතා කළොත් ඒකෙන් හතක් කුණුහරුප. හැබැයි ඉතින් දැන් කාලේ සමාජේ මෙහෙම හිටිවන කුණුහරුප කියන එක විවේචනයට ලක් වෙනවා වගේම, ඒකට පක්ෂවත් කරුණු කාරණා ඉදිරිපත් වෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ අන්න ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

 

1. මොනාද අනී ඔය කුණුහරුප?

 

Image Source – kickstarter.com

දැන් ඔය සමහර කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් ඉන්නවා, කුණුහරුපයක් කියලා හිතාගෙන ඉන්නේ “බූරුවා”, “තිරිසනා”, “මුගටියා” වගේ වචන වලට. හැබැයි ඉතින් එව්වා පරුෂ වචන මිසක් කුණුහරුප වචන නෙවෙයි. සාමාන්‍යයෙන් කුණුහරුප කියලා හැඳින්වෙන්නේ ලිංගිකත්වයත් එක්ක සම්බන්ධ වුණු, ශික්ෂිත භාෂාවේ වචන නෙවෙයි කියලා සැලකෙන වචන වලට. මේ වචන එක්කෝ ලිංගික අවයවයන් හැඳින්වෙන, ලිංගික කාර්යයක් හැඳින්වෙන ග්‍රාම්‍ය හෝ අසභ්‍ය වචන වෙන්න පුලුවන්. සමහර වෙලාවට මේ කුණුහරුපයක තීව්‍රතාවය වැඩි කරන්න මේකට අසම්මත ලිංගික චර්යාවක් එහෙමත් ඈ‍ඳෙන්න පුලුවන්.

 

2. යාලුවොත් එක්ක ඉන්නකොට

Image Source – videoblocks.com

දැන් ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ සෙට් එකත් එක්ක, එහෙම නැතිනම් කෙල්ලෝ සෙට් එකත් එක්ක සොමියේ ඉන්නකොට අපි කතා කලේ “සාමා, ඔයා අද පංති යනවද?”, “අමර, අද ගණන් පාඩම හොඳින් බලාගත්තද?” වගේ ලෙවල් එකකින් නෙවෙයිනේ මචං. ආයෙ නවය වසර විතර ඉන්නකොට නං අනිවා කුණුහරුප ඩයලොග්ස් මැද්දට හලාගෙනම තමයි හිටියේ. ඒකට කෙල්ලොද කොල්ලොද කියලා ගාණකුත් නෑ. ඔය වයසෙදි කුණුහරුප කියන්න ගොඩක්ම හේතුව, කුණුහරුප වගේම කුණුහරුප පාදක වෙන ලිංගිකත්වය ගැන උනන්දුවක් ඇති වෙන කාලෙත් ඕක නිසා තමයි.

 

3. ලොකු වුනහමත් යාලුවෝ එක්ක එහෙමද?

Image Source – srilankan.com

ඔව්. ඇත්තටම හොඳම යාලුවෝ එක්ක අපිට ඕනෑ විදියකට ඉන්න පුලුවන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට අපි හොඳම යාලුවෝ එක්ක ඕනෑම කුණුහරුප වචනයක් දිගෑරලා කියන්න පැකිළෙන්නේ නෑ. හැබැයි ඉස්කෝලේ කාලේ කුණුහරුප කීමේ සහ දැන් කුණුහරුප කීමේ වෙනසක් තියෙනවා. ඉස්කෝලේ කාලෙදි කතා කරන එක ඩයලොග් එකක මැද්දට කොහොමහරි ට්‍රයි කරලා කුණුහරුප හතරක් පහක් වත් බස්සනවනේ. ඒ කාලේ අර අලුතින් ඉගෙන ගත්තු වචන කියනවා වගේ, කුණුහරුප කියන එක වෙනමම ආතල් එකක්. හැබැයි වයසින් මුහුකුරා ගියාට පස්සේ එහෙම හොඳම යාලුවෝ මැද්දෙදි වුනත් හතර අතේ කුණුහරුප වක්කරන්නේ නෑ. කතා කරන දේට අදාළව ඔටෝ කටින් එලියට පනින කුණුහරුපයක්, නැත්තං කතාවේ ආතල් එක වැඩි කරන්න කියන කුණුහරුපයක් තමයි.

 

4. වලියකදී

Image Source – dailynews.lk

ආන්න කුණුහරුප කියවෙන තැන. කුණුහරුප මොනවද කියලා බලාගන්න නං එක්කෝ ඔය ගම් පිටින් ඇවිලෙන වලියකට සෙට් වෙලා බලන්න ඕන. එහෙම නැත්තං අතරමග වාහනයක එහෙම තමන්ගේ වාහනේ පොඩ්ඩක් ගාවලා බලන්න ඕන. ආයෙ ශුද්ධ සිංහලයේ විශුද්ධි බාසාවේ නිඝණ්‍ටු සෙට් එකම ඉගෙන ගන්න පුලුවන්. ඇත්තටම අපිට පුලුවන්ද දාර වලියකදී කුණුහරුප කියන එක වැරදියි කියන්න? ගොඩක් වෙලාවට වලියකදී හිතලා කුණුහරුප කියන්නේ නෑ. ඒ මොහොතේ එන ආවේගයත් එක්ක කුණුහරුපත් සමෝසමේ කියවෙනවා. ඇත්තටම අපිට ඒ ගැන ඔපීනියන් දෙන්න බෑ. අපිට කියන්න පුලුවන් එක දෙයයි. යම් කිසි සිදුවීමක් හෝ ප්‍රශ්නයක්, වලියක් වෙනකල් යන්න නොදී නිරාකරණය කරගන්න පුලුවන් නම් මරු. ඒ වගේම වලියක් ඇදුණට පස්සේ වුනත් ඒක බේරාගන්න පුලුවන් නම් ඒත් මරු. ගැ‍ටුම් කළමනාකරණය කියලා උගන්නන සීනුත් ඔතනට සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් වලියකදී කුණුහරුප කියවෙන ඒවා හරිද වැරදිද කියන්න නම් අපිට බෑ.

 

5. කුණුහරුප නොකියන්න ඕන තැන්

Image Source – quotabulary.com

මෙන්න මේ පොයින්ට් එක තමයි ඔලුවේ තියාගන්න ඕන වෙන්නේ. කුණුහරුප නොකියන්න ඕන තැන්. සාමාන්‍යයෙන් හොඳම යාලුවෝ එක්ක කුණුහරුප කිව්වත්, සාමාන්‍යයෙන් ශිෂ්ට සමාජේ ඉන්නකොට කුණුහරුප කීම අශිෂ්ට දෙයක් විදියට තමයි සැලකෙන්නේ. ඒක කාන්තාවෝ අතරේ ඉන්නකොටත් අශිෂ්ටයි. හරි හැටි අඳුනන්නේ නැති ගැහැණු මිනිස්සු අතරේ ඉන්නකොට වුනත් අශිෂ්ටයි. විශේෂයෙන්ම තරහකට නැතුව විනෝදයට කුණුහරුප කියන මනුස්සයෙක් වුනත්, ඔය පාටියක් මැද්දේ එහෙම කුණුහරුපයක් ඇඟට දැනෙන නොදැනෙන ලෙවල් එකට ලිස්සලා ඇරියහම සමහරු ඒක ජෝක් එකක් විදියට අරගෙන හිනාවෙයි. හැබැයි ඒක අශිෂ්ටයි කියන එක තාමත් සමාජයේ මතයක් විදියට තියෙනවා කියන එකත් ඔලුවේ තියාගන්න ඕන.

 

6. ෆේස්බුක් එකේ කමක් නැද්ද?

Image Source – complex.com

මෙන්න මේක බොහොම ජනප්‍රිය, ඒ වගේම දිගින් දිගටම කතා කරන්න පුලුවන් මාතෘකාවක්. හරි, පොදුවේ සමාජ ජාල අවකාශයක වුනත් කුණුහරුප වක්කරගෙන ඉන්න මනුස්සයෙක්ට ඒක පි‍ටුපස්සේ මානසික විශ්ලේෂණයකින් බැලිය යුතු හේතුවක් තියෙන්න පුලුවන්. හැබැයි අපි හිතමු හොඳම යාලුවෙක් අපේ වෝල් එකේ දානවා මොකක් හරි කට කැඩිච්ච ස්ටේටස් එකක්. දැන් යාලුවෝ යාලුවෝ අතරේ කුණුහරුප අවුලක් නෑනේ. එතකොට මම ගිහින් ඒකට දානවා හොඳ ලුණු ඇඹුල් ඇතුව පදමට සෙට් කරපු කුණුහරුප රිප්ලයි එකක්. දැන් ඒක අවුලක් නැද්ද? හරි, අපි කතා කරන්නේ යාලුවා දාපු ස්ටේටස් එකේ වෙන්න පුලුවන්. හැබැයි අපේ වෝල් එක පබ්ලික් නේද? අපේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න සැබෑ ජීවිතේ යාලුවන්ට වගේම සැබෑ ජීවිතේ යාලුවෝ නොවෙන අයට වුනත්, වෘත්තිමය සගයන්ට වුනත් අපේ කුණුහරුප රිප්ලයි එක පේනවා නේද? ආන්න එතන තමයි කේස් එක.

සාමාන්‍යයෙන් ඔය සයිබර් අවකාශේ වපුරන කුණුහරුප හින්දා රස්සා නැතිවුණු මිනිස්සු ගැන පවා කතන්දර තියෙනවා. ඒ නිසා තමන්ගේ වෝල් එකක දාන කුණුහරුපයක් හරිද වැරදිද කියන එක පුද්ගලානුබද්ධයි. ඒක තම තමන්ගේ කැමැත්ත සහ තමන්ගේ අවදානම.හැබැයි පොදු සමූහයක හෝ පේජ් එකක හෝ කුණුහරුප දාන එක අනුමත කරන්න බෑ.

මේකට තව කතන්දරයක් එකතු කළොත්, සයිබර් අවකාශයේ සිද්ධ වෙන විවාදයකට කතා කරන්න කුණුහරුප පලන්නේ නැතුව බැරි නම්, ඒ මනුස්සයා ගැන මනුස්ස වටිනාකම් එක්ක සලකලා පළක් නෑ.

 

7. අලුත් කුණුහරුප සහ ඉංග්‍රීසි කුණුහරුප

Image Source – twitter.com

අපි දැකලා තියෙනවා අලුත් පරම්පරාවක් ඉංග්‍රීසියෙන් කුණුහරුප කියන. මේ අය සිංහලෙන් කුණුහරුපයක් කියන්න ලැජ්ජ වුනත්, ඉංග්‍රීසියෙන් අත දිගෑරලා කුණුහරුප කියනවා. සමහර වෙලාවට ඒක තමන්ගේ භාෂාව නොවෙන නිසා හිතට පහසුවක් වෙන්න පුලුවන්. සමහරු තමන් පොෂ් කියලා පෙන්නන්නත් ඉංග්‍රීසියෙන් කුණුහරුප කියනවා. හැබැයි ඉතින් සිංහලෙන් කිවුවත්, ඉංග්‍රීසියෙන් කිවුවත්, මොන බාසාවෙන් කිවුවත් කුණුහරුප කියන්නේ කුණුහරුප. ඒක මතක තියාගන්න එක හොඳයි.

දෙවෙනි කතන්දරේ මීට වෙනස්. මේ වෙනකොට බොහොම අපූරු පද සන්ධි කුණුහරුප සංස්කෘතියක් ඇතිවෙලා තියෙනවා. මේ කුණුහරුප සංස්කෘතියේ ජනප්‍රියම වචනේ තමයි “ටෞකන්ඩ” කියන්නේ. මේක දරුණු වර්ගයේ කුණුහරුපයක් වුනත්, ශබ්ද වෙන ආකාරයත් එක්ක පද සන්ධි කරලා අරගත්තහම වෙනම නවීන කුණුහරුප සංස්කෘතියකට අයිති වෙන වචනයක් බවට පත් වෙලා තියෙනවා. ඒකේ දරුණු ගතිය වුනත් මැකිලා ගිහින් තියෙනවා. එතකොට මේ ජාතියේ කුණුහරුප අවුලක් නැද්ද? ආන්න ඒ ප්‍රශ්නේට උත්තරේ ඕන නම් ආයෙමත් උඩ ටික කියවගෙන එන්න. එතකොට උත්තරේ හම්බුවෙයි.

 

8. කුණුහරුප කියන්නේ මොන වගේ අයද?

Image Source – commongunsense.com

සාමාන්‍යයෙන් තියෙන මතය තමයි, කුණුහරුප කියන්නේ හරි ශිෂ්ටත්වයක් නැති මිනිස්සු. හොඳ සමාජ මට්ටමක් නැති මිනිස්සු. හොඳ අධ්‍යාපනයක් නැති මිනිස්සු කියන එක. කොහොම ගත්තත් සම්මත සමාජේ විදියට නම් කුණුහරුප වක්කරගෙන ඉන්න ඩයල් එකක් ස්ථානගත වෙන්නේ ඔය හැම දර්ශකයකම අන්තිම අඩියේ. හැබැයි අපිට මුණගැහෙන්න පුලුවන් ඉහළ ‍රැකියා කරන, ඉහළ අධ්‍යාපනයක් තියෙන ඒත් ෆේස්බුක් එකේ එහෙම කුණුහරුප වක්කරගෙන ඉන්න ඩයල්ස්. ඒක හොඳයිද නරකයිද කියලා අපිට කියන්න බෑ. මොකද මේ කාරණාව ලෝකේ සීරියස් ලෙවල් එකේ වාද විවාද වලටත් හේතු වුණු දෙයක්.

හැබැයි අපි මෙහෙම කියලා ආටිකල් එක ඉවර කරන්නං. කුණුහරුපයක් නොකිවයුතුයි කියලා තමන්ට දැනෙන තැනකදී කුණුහරුපයක් ඕනෑම බාසාවකින් කියවුනොත්, ඒකට ශිෂ්ට විදියට කණගා‍ටුව ප්‍රකාශ කරන්න. කුණුහරුප නොකිව යුතු තැන් වලත් කුණුහරුප කියන එක තමන්ට අවුලක් කියලා දැනෙන්නේ නැත්තං, ඒක ඇත්තටම තමන්ගේ අවුලක්ය කියන එක මතක තියාගන්න.

දැං මේ කතන්දර ටික කියෝලා තමන්ගේ හිතට එන ප්‍රශ්නයක් එහෙම තියෙනවා නං කමෙන්ට් එකක් විදියට සඳහන් කළාට කමක් නෑ. අදහසක් තිබුණත් කමෙන්ට් එකකින්ම කියන්ඩ. එහෙම නැතුව කුණුහරුපෙන් දෙකක් කියන්න හිතුනත්, ඔන්න තියෙනවා කමෙන්ට් බොක්ස් එක!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *