දූවිලි ඇලි කිහිපයක්ම ලංකාවේ තිබේ. එයින් නක්ල්ස් දූවිලි ඇල්ල විශේෂ තැනක් වන්නේ ඇල්ල ඇතුළට යෑමේ ඇති හැකියාව නිසාය. ගුහාවක් වැනි තැනක් හරහා ඇල්ල ගලාබසින ඇතුළතට ළඟාවිය හැකි අතර ඒ ආසන්න ගල් ගුහාවක නවාතැන් ගත හැකිය. නකල්ස් දූවිලි ඇල්ල සහ පිවිසීම ගැන අපි සුන්දර තොරතුරු ටිකක් දැනගමු.
1. දූවිලි ඇල්ලට යන පාර
දූවිලි ඇල්ලට යන ලේසිම පාර වන්නේ රඹුක්ඔලුව හරහා වැටී ඇති මාර්ගයයි. රඹුක්ඔලුව යනු නකල්ස් හරහා දිවෙන පිටවල පතන ඉලුක්කුඹුර මහාමාර්ගයේ ඇතුළට යනවිට හමුවන කුඩා ගමකි. එසේම දූවිලි ඇල්ලට රත්තින්න හරහාද පාරක් පවතී. ඒ පාරවල් දෙකටම අමතරව තවත් පාරක් දූවිලි ඇල්ලේ සම්පූර්ණයෙන්ම වෙනස් දිහාවකින්ද පවතී. ලෙබනන් වතුයාය හරහා කේ එම් පී වාඩියට පැමිණ, එතැන් සිට කැලේ කඩාගෙන පාරවල් හදාගෙනද දූවිලි ඇල්ල කරා පිවිසෙන උදවිය වෙති. එහෙත් ඒ කේ එම් පී වාඩිය හරහා දූවිලි ඇල්ලට ඒම දවස් දෙකක විතර වැඩකි.
2. රඹුක්ඔලුව සහ මොරගහකන්ද
මොරගහකන්ද ජලාශයට යටවෙන ගම්මාන කිහිපයක්ම ඒ යටවෙන තැන්වලින් ඉවත් කොට වෙනත් තැන්වල පිහිටුවන්නට කටයුතු සිදුවිය. ඒ අනුව ඒ යටවන ගම් වල ජනයාට අලුත් ඉඩම් ලැබුණි, වන්දි ලැබුණි. රඹුක්ඔලුව ගම ඇත්තටම වතුරට යට වෙන්නේ නැත. එහෙත් ජල පෝෂක පළාතක් වන හෙයින් ඒ පළාතේ ගම්මාන අයින් කිරීමට නියම වී තිබේ. ඉතින් ඒ නිසා රඹුක්ඔලුව ගම තවත් වසරකින් පමණ අතීතයට එකතු වූ ගමක් බවට පත්වණු ඇත.
3. රඹුක්ඔලුව දූවිලි ඇල්ල පිවිසුම
දූවිලි ඇල්ලට ඇති පහසුම මග වන රඹුක්ඔලුව පිවිසුම හරහා දූවිලි ඇල්ලට ඇති දුර කිලෝමීටර 8කට ආසන්න වේ. ඒ ගමනද යායුතු මග දුෂ්කර එකකි. දිය දහරාවන්ම කිහිපයක්ම තරණය කළ යුතු වේ. රඹුක්ඔලුව ගම්මානයට තිබූ වෙල්යායද දැන් ඉදිරියට පුරන් වීමට නියමිතය. අද හෙටම ගියොත් ඒ ඉවත්වෙන ගමේ සිරියද ටිකක් බලාගත හැකි වණු ඇත. මෙම දූවිලි ඇල්ල ඇත්තේ නකල්ස් වල ජලජ පරිසර කිහිපයක්ම වැටී ඇති පසුබිමකය. එම නිසා වැසි කාලයට හෝ අධික වැසි ඇති විට දූවිලි ඇල්ල ගමන යොදාගැනීම කිසිසේත්ම යෝග්‍ය නොවේ.
4. දූවිලි ඇල්ල අතරමග
දූවිලි ඇල්ල අතරමග තවත් ඇලි කිහිපයකි. දුම්බර ඇල්ල ඉන් එකකි. තවත් ඇල්ලක් තිබෙන අතර එහි මුදුනටම අපිට ළඟා විය හැකිය. මුදුනේදී ඇල්ල වැටෙන තැන සිට පොටෝ ගැහීම එම ඇල්ලේදි කළ හැකිය. එතැන භූමි දර්ශනය මනරම්ය. මතක ලෙසට එය කැකුණ ඇල්ලය.
5. කරදර, බාධක
ජල පහර කීපයක්ම තරණය කළ යුතුය. ඇතැම් එකක විශාල ඒදණ්ඩක් ආකාරයට ගසක් වැටී තිබේ. තවත් ඒවා මතින් පැනගෙන ගල් මතින් යා හැකිය. මේ අස්සේ නකල්ස් නම් මේ අපේ අඩවිය නොවැ කියන්නාක් මෙන් කූඩැල්ලෝද යහමින් සිටිති. මේ නකල්ස් කූඩැල්ලෝ යනු ඉඳහිට එකා දෙන්නා සිටින ජාතියක් නොවේ. එල්ලෙන්නට වූ කළ කූඩැල්ලන් කිහිප දෙනා පරණ තරහ මරහ අමතක කොට, සමාදාන වී අපේ කකුල්වල එල්ලී ලේ බොති.
6. ගමනට යන කාලය
මේ ගමන යන අය බොහෝවිට රැයක් ඇල්ල අසල හෝ යට ඇති තැනක ගත කරති. දූවිලි ඇල්ල උඩ ගුහාවක් පවතින අතර එහි කූඩාරමක් නැතිවම නවාතැන් ගත හැකිය. සොබාදම් සිරි විඳිමින් දූවිලි ඇල්ල කරා යන්නේ නම් යන ගමනටම දවසක්වත් ගත වේ. එනම් යන්නට දවසකුත් එන්නට පැය කිහිපයකුත් තැබූ විට ඒ සඳහා අඩුම දවසකට වැඩි කාලයක් උවමනා වේ. ඇල්ල බැලීමට යැයි පිරිස් පැමිණ, ඇල්ලට ඇති දුර ගැන දැනගත් විට නැවත හැරී යන බව රඹුක්ඔලුව ගම්වාසියෙක් කීවේය.
7. දූවිලි ඇල්ල ඇතුළ
වතුර වැටෙන පසුබිමට ඇතුළින් පිවිසීමට දූවිලි ඇල්ලේදී හැකිය. එය තරමක අනතුරුදායකය. එහෙත් ප්‍රවේශමෙන් සේයාරුවක් ගැනීමට එම ස්ථානය ආරක්ෂාකාරීය. එහෙත් කිසිවිටෙක මත්පැන් හෝ මත් දෑ ගෙන එවැනි අවදානමක් ගැනීම සුදුසු නොවේ. මන්ද දූවිලි ඇල්ලෙන් වැටුනහොත් එය දරුණු ඛේදවාචකයක් මිස කිසිදු සුන්දර අත්දැකීමක් නම් නොවේ…
දූවිලි ඇල්ලට ඇති දුර නිසාත්, ඒ සඳහා ගතවෙන කාලය නිසාත් දූවිලි ඇල්ල තනි දවසක හෝ දවස් දෙකක ගමනකි. දැන් ඉදිරියට රඹුක් ඔලුව ගම මොරගහකන්ද ජලාශය නිසා ඉවත් වේ. එවිට තවත් කිලෝමීටර කිහිපයක් ජනයාට වනය වෙත පිවිසීමට පයින් ආ යුතුය. කෙසේ වෙතත් මේ රක්ෂිත වනයකි. එම වනය අයිති සතා සීපාවාට මෙන්ම අපිටද අනාගතයට එය රැකගැනීම සඳහා පොලිතින් ප්ලාස්ටික් තැන තැන නොදා රැගෙන යන සියලු දේ නැවත රැගෙන ඒම දූවිලි ඇල්ල බලන්නට යනවා නම් කළ යුතුම වැඩකි.
Cover Image Source – Amila Chaturanga
Leave a Reply