වැලන්ටයින්ස්, එහෙමත් නැත්නම් ආදරවන්තයින්ගේ දිනය කියන්නේ අපේ රටෙත් අඩුවක් පාඩුවක් නැතුව සැමරෙන දවසක්නේ. චොකලට්, රෝසමල් වගේ තෑගිබෝග හුවමාරු කරගනිමින් තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක රෝමාන්තික දවසක් ගෙවන්න අපේ රටේ පෙම්වතුනුත් මේ දවස යොදාගන්නවා. හැබැයි අපේ රටේ අපි එක එක්කෙනාගෙ කැමැත්ත පරිදි මේ වැලන්ටයින් සැමරුම සිද්ධ වුනාට, වෙනස් වෙනස් විධිවලට මේ ආදරවන්තයින්ගේ දිනය සමරන රටවල් තියනවා. බලන්න කොයිතරම් අපූරුද කියලා ඒ අය මේ දවස සමරන විදිහ…
1. ආදර දේවාල වැඳපුදාගන්න යන චීන ජාතිකයෝ
ලංකාවෙ පෙම්වතුනුත් සමහරක් දෙනා ආදරවන්තයින්ගේ දවස ගත කරන්න ආගමික ස්ථාන යොදාගන්නවා. හැබැයි චීනෙ පෙම්වතුන් ආදරවන්තයින්ගේ දවසෙදි යන ආගමික සිද්ධස්ථාන වල වෙනසක් තියනවා. ඒ තමයි ඒවා ආදරය වෙනුවෙන්ම නිර්මාණය වුණු දේවාල වීම. යුවෙ ලාඕ කියන චීනයේ ආදරයට අධිපති දෙවියා අරක්ගත් මේ ආදර දේවාල වලට වැලන්ටයින් දවසේදි යන චීන පෙම්වතුන් තමන්ගේ ආදරය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරල දෙන්න කියල ඉල්ලනවලු. ඒ විතරක් නෙමෙයි, තනිකඩ තරුණ තරුණියොත් තමන්ගේ ඉරණම්කාරයාව ඉක්මනටම මුණ ගස්සන්න දෙයියනේ කියල ඉල්ලන්න නොවැරදීම පෙබරවාරි 14 වැනිදට මේ දේවාල වලට යනවලු.
2. දකුණු කොරියාවේ අමුතු වැලන්ටයින්
පෙබරවාරි 14 වැනිදා දකුණු කොරියානුවනුත් වැලන්ටයින් දිනය සමරනවා. හැබැයි ඒ අයගෙ ආදරය සැමරීම පෙබරවාරි 14 වැනිදායින් නතර වෙන්නෙ නෑ. ඒ වෙනුවට හැම මාසයෙම 14 වැනිදා ආදරය හා සම්බන්ධ දෙයක් සමරන්න දකුණු කොරියානුවන් යොදාගන්නවා. ඒ රටේ සාමාන්‍යයෙන් වැලන්ටයින් දවසෙදි පෙම්වතියො තමයි පෙම්වතුන්ට තෑගි ලබාදෙන්නෙ. පෙම්වතුන්ගේ වාරය එන්නෙ ඊළඟ මාසෙ, ඒ කිවුවෙ මාර්තු 14 වැනිදාලු. ඒ දවස හඳුන්වන්නේ වයිට් ඩේ නමිනුයි. මේ දවසෙදි සුදු පාටට බර තෑගි, විශේෂයෙන්ම වයිට් චොක්ලට් සහ සුදු පැහැයට හුරු සරාගී යටඇඳුම් තමන්ගේ පෙම්වතියන්ට තෑගි දෙන්නට පෙම්වතුන්ට සිද්ධ වෙනවලු. ඊට පස්සෙ එළඹෙන අප්‍රේල් 14 වැනිදා වෙන්වෙලා තියෙන්නෙ තනිකඩ උදවියටලු. බ්ලැක් ඩේ නමිනුයි මේ දවස හඳුන්වන්නෙ. තනිකඩ අය එදාට තමන්ගේ තනිකඩ බව සමරන්න ආපනශාලා වලට එකතුවෙලා කළු නූඩ්ල්ස් නමින් හැඳින්වෙන විශේෂ ආහාරයක් ලබාගන්නවලු. මේ දවස්වලට අමතරව හාදු දිනය, වැළඳගැනීමේ දිනය, චිත්‍රපට දිනය වගේ විශේෂ දවසුත් ඊළඟට යෙදෙන මාස වල 14 වැනිදාවල මේ අය විසින් සමරනවලු.
3. සිය, දහස් ගණන් විවාහ මංගලෝත්සව පවත්වන පිලිපීනය
පිලිපීනය කියන්නෙත් වැලන්ටයින් දවස ඉතාම ඉහළින් සමරන රටක්. මේ අය ආදරවන්තයින්ගේ දවස කොයිතරම් සීරියස් විදිහට අරගෙන තියනවද කියනවනම් පෙබරවාරි මාසයේදී තමන්ගෙ විවාහ උත්සවය ගන්න ගොඩක් අය පොරකනවලු. මේ හින්දම රජයේ වියදමින් සිද්ධ කරන මහා විවාහ මංගලෝත්සවත් වැලන්ටයින් දිනය සහ ඒ මාසය ඇතුළත පිළිපීනයේදී පවත්වනවලු. එකපාර මනාල යුවළවල් සිය ගණන් තමන්ගේ මුදු මාරු කරගෙන විවාහ ජීවිතේට පා තබන සුන්දර උත්සව පෙබරවාරි මාසය පුරාවට පිලිපීනයේදි දකින්න පුළුවන්ලු. රජයෙන් වැඩි බරපැනක් දරණ නිසා ආර්ථික අපහසුකම් වලින් පෙළෙන පෙම්වතුන්ටත් මේ හින්දා වැඩි වියදමක් නැතිව, අමතක නොවෙන ආකාරයකට විවාහ මංගල්‍යය ගන්න අවස්ථාව උදා වෙනවලු.
4. ආදරය කොටු නොකරන එස්තෝනියානුවන්
එස්තෝනියාවේදී වැලන්ටයින් දවස යෙදෙන පෙබරවාරි 14 වැනිදා හඳුන්වන්නේ ‘Sobrapaev’ නමින්. මේකෙ ඉංග්‍රීසි තේරුම තමයි මිත්‍රත්වයේ දිනය කියන එක. ගොඩක් වෙලාවට යාලුවො එක්ක එක්කාසු වෙලා මිත්‍රත්වය සමරන එක මේ දවසෙදි එස්තෝනියානුවන් සිද්ධ කරනවා. හැබැයි මේ අයගෙ ආදර සැමරුම එතනට විතරක් සීමා වෙන්නෙ නෑ. පෙම්වතුන්, අඹුසැමියන්, දෙමාපිය දරුවන්, සහෝදර හිතවතුන් ආදී හැමෝම අතරේ මේ ආදර සැමරීම් බෙදී යනවා. මේ හැම කෙනෙක් එක්කම තෑගි බෝග සහ සුබපැතුම් හුවමාරු කරගන්න ගමන්ම සංගීතය නර්තනය සහ රසබර ආහාර එක්ක වැලන්ටයින් දින සැමරුම ඉහළින්ම සිද්ධ කරන්න එස්තෝනියානුවන් වගබලාගන්නව.
5. ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි රහසිගත පෙම්පත්
මේක ඇවිල්ලා නියම විනෝදබර වැඩක්. ඒ වගේම කාලයක් තිස්සේ තමන් හිතේ තියන් ඉන්න ආදරේ නෝන්ඩි නැතිව හෙළි කරලා වැඩේ හරි යයිද කියලා බලන්න පෙම්වතුන්ට අවස්ථාව සලස්වන වැඩක්. මේ වැඩේ සිද්ධ වෙන්නේ ඩෙන්මාර්කයේ සහ නෝරේවේ රටෙයි. මේ රටවල පෙම්වත්තු වැලන්ටයින් දවසට හාස්‍යමය ගතියෙන් යුතුව ලියපු, එළිසමය සහිත පදවැල් සහ පණිවුඩ පෙම්වතියන්ට යවනවලු. Gaekkebrev නමින් තමයි මේ හසුන්පත් හඳුන්වන්නෙ. හැබැයි මේ වල තමන්ගෙ නම සඳහන් කරන්නේ නැතිව ඒ තැනට තිත් පේළියක්ලු තියන්නේ. ඉතින් පෙම්වතියට සිද්ධ වෙනවා තමන්ට රහසින් ආදරය පාන මේ හසුන්පතේ හිමිකරුවා කවුද කියලා හඳුනාගන්න.
6. වැලන්ටයින් වෙනුවට ඩ්වින්වෙන් සමරන වේල්සය
ලෝකේ හැම රටකම වගේම වේල්සයටත් ආදරවන්තයින්ගේ දිනයක් තියනවා. හැබැයි ඒ්ක වැලන්ටයින්ස් දවසක් නම් නෙමෙයි. ඒ මොකද කියනවනම් මේ අය ආදරයේ ශාන්තුවරිය හැටියට සළකන්නෙ ශාන්ත ඩ්වින්වෙන් නැමැති තැනැත්තියක්. ඒ වගේම ඒ අයගෙ ආදරවන්තයින්ගේ දිනය වැටෙන්නෙ ජනවාරි 25 වැනිදට. ඩ්වින්වෙන් දිනය හැටියට තමයි ඒ දවස හැඳින්වෙන්නෙ. අපි වැලන්ටයින් දිනය සමරනවා වගේම තමයි මේ අය ඩ්වින්වෙන් දිනය සමරන්නේ. හැබැයි වේල්සයටම විශේෂිත වෙච්ච තෑග්ගක් නම් තියනවා මේ දවසෙදි ආදරවන්තයින් අතර හුවමාරු වෙන. ඒ තමයි ලී හැන්දක්. විවිධ කැටයම් වලින් ඔප දමාපු ලී හැන්දක් තමයි රෝසමල් වලටත් වඩා වේල්සයේ ආදරවන්තයින් අතර ජනප්‍රියම ආදර තෑග්ග වෙන්නෙ. හුඟක් වෙලාවට පෙම්වතා විසින්ම තමයි ලී වලින් හැඩ වැඩ දාල මේ හැන්ද නිර්මාණය කරන්නෙ.
7. වැඩිහිටියන්ට පමණයි! – ජර්මනිය
ජර්මනිය කියන්නෙත් වෙනස්ම විදිහට වැලන්ටයින් සමරන රටක්. හැබැයි මේ අයගෙ ඉස්කෝල ළමයින්ට එහෙම වැලන්ටයින් කාඩ්, තෑගි හුවමාරු කරගන්න තහනම්. මොකද එහෙ මේ උත්සවය වැඩිහිටියන්ට පමණක් සීමා වුණ එකක් හැටියටයි පැවැත්වෙන්නෙ. ජර්මනියේ වැලන්ටයින් තෑගි සහ කාඩ්පත් වල තියන තවත් විශේෂත්වයක් තමයි ඒවායේ එන ආදර සංකේත අතර ඌරන් ප්‍රධාන තැනක් ගැනීම. ඌරෙක් විසින් මල් කළඹක් දෙන වැලන්ටයින් පින්තූර තමයි ජර්මානුවන් වැඩිපුරම භාවිතා කරන්නෙ. මේ ඌරු පින්තූර මගින් ආදරය සහ රාගය සංකේතවත් වෙන බවක් තමයි ජර්මානුවන් විශ්වාස කරන්නෙ.
Cover Image Source – amamasstory.com/ thanksgiving.com
Leave a Reply