ලංකාව වෙනස් කරපු දොන්ලා

ලංකාවේ ගොඩක් අය ගේලා. වැරදියට හිතන්න එපා එයාලා නමින් ගේ, සමහරු ලාගේ. මේ ගේලා සහ ලාගේලා අතරට 1505 දි පෘතුගීසින් ලංකාවට ඒමත් එක්කම අලුත් කට්ටියක් එකතු වුණා. ඒ තමයි දොන්ලා. පෘතුගීසින් ලංකාවේ මිනිස්සුන්ට සාම්ප්‍රදායික නම් වෙනුවට තමන්ගේ මව්රටේ තමන්ට හුරු පුරුදු නම් දෙන්න පටන්ගත්තා. සිල්වා, පෙරේරා, ඩයස්, බර්තොලමියුස් වගේ වාසගම් හැදෙන්න ගත්තේ ඒ වගේ. ඒ වාසගම්වලට අමතරව තමයි සමහරුන්ගේ නමට මුලින් දොන් කෑල්ලක් ආවේ. දොන් කෑල්ල සමහරුන්ට දීලා තියෙන්නේ  ගෞරවයක් විදිහට. මොකද මුල් කාලේ දොන් කියලා පාවිච්චි කරලා තියෙන්නේ පාප්තුමාට. පස්සේ පූජකවරුන්ටත්, අවසානම වශයෙන් වංශාධිපතියන්ටත් පාවිච්චි වෙලා තියෙනවා. කොහොමින් කොහොමහරි මේ විදිහට දොන්ලා විශාල ගාණක් ලංකාවේ බිහිවෙලා තියෙනවා. අද වෙනකොට ගෑනු, පිරිමි නම්වල භේදයක් නැතුවම දොන් කියලා පාවිච්චි වෙනවා. ඒත් මුල් කාලේ පිරිමි අයට ‘දොන්’ කියලත් ගැහැනු අයට ‘දෝන’ කියලත් වෙන වෙනම පාවිච්චි කරලා තියෙන්නේ. හරි දැන් කතාබතා පැත්තකට තියලා කෙලින්ම කාරණාව කිව්වොත් අපි අද කතා කරන්නේ ලංකාව වෙනස් කරන්න දායක වෙච්ච දොන්ලා ගැන.

 

1. දොන් ජුවන් ධර්මපාල

Image Source – en.wikipedia.org

ලංකාවේ පළමුවෙනියටම දොන් බවට පත්වුණු කෙනා විදිහට ධර්මපාල කුමාරයාව හඳුන්වන්න පුළුවන්. ධර්මපාල කුමාරයා ඉපදෙන්නේ ලංකා ඉතිහාසයේ තීරණාත්මක යුගයක. මේ වෙනකොට ලංකාව කෝට්ටේ, යාපනය සහ උඩරට කියලා ප්‍රධාන රාජධානී තුනකට බෙදිලා. ප්‍රධාන රාජධානිය වුණු කෝට්ටේ රාජධානියත්  අනුකොටස් තුනකට කැඩිලා තිබ්බේ. සීතාවක, රයිගම සහ කෝට්ටේ වශයෙන්. කෝට්ටේ රජකරපු හත්වෙනි බුවනෙකබාහු රජ්ජුරුවන්ට තමන්ගේ  උරුමය පවරන්න පුතෙක් හිටියේ නෑ. හිටියේ ‘සමුද්‍රදේවී” කියලා දුවෙක් විතරයි. ඒ කුමරිය විවාහ වෙන්නේ රණ ශූරයෙකු වුණු වීදිය බණ්ඩාර එක්ක. ඔවුන් දෙදෙනාගේ පුතා තමයි “ධර්මපාල කුමාරයා”. හත්වෙනි බුවනෙකබාහු රජ්ජුරුවෝ තමන්ගෙන් පස්සේ තමන්ගේ මුණුබුරා වුණු ධර්මපාල කුමාරයට රජකම පවරන්න හිතනවා. ඒත් රටේ තියෙන තත්ත්වය උඩ තමන්ගේ මුණුබුරාගේ රජකම ආරක්ෂා කරගන්න පෘතුගීසින්ගෙන් උදව් ගන්න රජතුමා හිතනවා. පෘතුගීසින් මේ වෙනුවෙන් කොන්දේසි පනවනවා. ඒ කොන්දේසියක් අනුව ඇත්දත්වලින් ධර්මපාල කුමාරයගේ පිළිරුවක් හදලා පෘතුගාලයට යවලා බෞතීස්ම කරනවා “දොන් ජුවන් ධර්මපාල” කියන නමින්. මේ ධර්මපාල කුමාරයා හත්වෙනි බුවනෙකබාහුගෙන් පස්සේ කෝට්ටේ රජවෙනවා. නමුත් පෘතුගීසින්ගේ රූකඩ රජෙක් විදිහට තමයි ඔහුට රජකරන්න වෙන්නේ. අවසානයේදී ඔහු තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගාලයේ රජුට පවරනවා.

 

2. අවුස්ත්‍රියාවේ දොන් ජුවන් (ඔස්ට්‍රියාවේ දොන් ජොන්)

Image Source – en.wikipedia.org

පෘතුගීසින්ට යටත් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයේ තිබ්බ ලංකාවේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දායක වෙච්ච තවත් දොන් කෙනෙක් තමයි අවුස්ත්‍රියාවේ දොන් ජුවන්. හැබැයි ඒ නම නෙමෙයි අපිට හුරුපුරුදු. අපිට පුරුදු පළවෙනි විමලධර්මසූරිය කියන නම. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් යටතට සම්පූර්ණයෙන් යටත් වෙද්දි ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියා කළේ සීතාවක රාජධානිය. නමුත් පළවෙනි රාජසිංහ රජ්ජුරුවෝ හින්දු ආගම වැළඳගැනීම සහ බල ලෝභයෙන් යුතුව ක්‍රියා කිරීමට පටන්ගැනීමත් එක්ක රටේ ජනතාව අතරමං තත්ත්වයකට පත්වුණා. රාජසිංහ රජ්ජුරුවෝ තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතාගෙන උඩරට ප්‍රබල ප්‍රභූවරයෙක් වුණු “වීරසුන්දර බණ්ඩාර”ව බොරු වළක වට්ටවලා මරා දානවා. මේ කුමන්ත්‍රණය ගැන දැන ගන්න වීරසුන්දර බණ්ඩාරගේ පුතා වුණු කොනප්පු බණ්ඩාර පෘතුගීසින් ගාවට ආරක්ෂාවට යනවා. එතනදි ඔහු කතෝලික ආගම වැළඳගෙන “අවුස්ත්‍රියාවේ දොන් ජුවන්” කියන නම ලබාගන්නවා. ඒත් අවස්ථාව ආවම පෘතුගීසින්ට විරුද්ධව දොන් ජුවන් ක්‍රියා කරනවා. උඩරට රාජධානියට උරුමකම තියෙන දෝන කැතරිනා කියන නමින් බෞතීස්මය ලබපු කුසුමාසන දේවියව විවාහ කරගෙන, පෘතුගීසින්ව කන්ද උඩරටින් එලවලා දොන් ජුවන් පළමුවෙනි විමලධර්මසූරිය කියන නමින් රජ වෙනවා. පළමු විමලධර්මසූරියගෙන් පටන් ගන්න උඩරට රාජධානිය 1815 වෙනකන්ම ස්වාධීනව පවතිනවා.

 

3. දොන් ඩේවිඩ් හේවාවිතාරණ

Image Source – picture.lk

මේ කියන්න යන දොන් නිවට නියාලු තත්ත්වයට වැටිලා හිටිය සිංහලයන්ව නැගිට්ටවන්න විශාල කැපකිරීම් කරපු කෙනෙක්. රට වටා ගිහින් සිංහලයන්ගේ දියුණුව වෙනුවෙන් දේශනා පවත්වපු කෙනෙක්. සමහරුන් එතුමාව දැක්කේ කර්කෂ පුද්ගලයෙක් විදිහට. ඒත් හරියට හිතලා බැලුවොත් මේ දොන් ලංකාවේ විතරක් නෙමෙයි, විදේශයන්වලත් වෙනස්කම් කරන්න දායක වුණු කෙනෙක්. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ට ලැබිලා තියෙන්නේ විදේශිකයන්ගෙන් ලැබුණු නමක් කියලා දැනගත්තම මෙතුමා තමන්ගේ නම වෙනස් කරනවා “ධර්මපාල” කියලා. බුද්ධ ශාසනය වෙනුවෙන් මුලු ජීවිතයම කැපකරපු මෙතුමාව අපිට වඩාත් හුරුපුරුදු “අනගාරික ධර්මපාලතුමා” විදිහට. එතුමා ආරම්භ කරපු අමද්‍යප ව්‍යාපාරය රටේ නිදහස වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් බවටත්, පස්සේ කාලෙක පත්වෙනවා. එතුමා එතෙක් හින්දුන් යටතේ පැවැතුණු බුද්ධගයාව නැවතත් බෞද්ධයන්ට දිනාදෙන්න සමත් වෙනවා. ඒ වගේම එතුමා විවිධ කර්මාන්ත ආදිය අධ්‍යයනය කිරීමේ වැදගත්කම සිංහලයන්ට වටහා දෙනවා. සමහර අවස්ථාවල එතුමා තමන්ගෙම පෞද්ගලික ධනයෙන් විවිධ අය පිටරට යවලා කාර්මික අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.

 

4. දොන් බාරොන් ජයතිලක

Image Source – dailynews.lk

මේ නම අපිට හුරු පුරුදු ශ්‍රීමත් ඩී. බී ජයතිලක විදිහට. අද වෙනකොට අපිට මේ නම එච්චරම මතකයේ තිබ්බේ නැති වුණත්, ශ්‍රීමත් ඩී. බී ජයතිලක අපේ ජාතික නිදහස් සටනේ පුරෝගාමියෙක්. හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා එක්ක එකතුවෙන ජයතිලක මහතා ලංකාවේ බෞද්ධයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරනවා. කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය වගේ අද වෙනකොට ප්‍රධාන පෙළේ  බෞද්ධ පාසල් බවට පත්වෙලා තියෙන පාසල්වල දියුණුවට ජයතිලක මහත්තයා රෑ දවල් නොබලා මහන්සි වෙලා තියෙනවා. 1915 කලබල කාලේ ජයතිලක මහත්තයා ඇතුළු නිදහස් සටනේ නායකයන්ව අත් අඩංගුවට ගැනෙනවා. ඩොනමෝර් කොමිසම යටතේ පිහිටවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධූරය සහ ස්වදේශීය අමාත්‍යධූරයත් හිමිවෙන්නේ ජයතිලක මහතාට. සමහරු කියන විදිහට ලංකාවේ පළවෙනි අගමැතිධුරයට සුදුසුකම් තිබ්බේ ජයතිලක මහත්තයටලු. ඒ අවස්ථාව වලක්වන්න කුමන්ත්‍රණයක් දියත්වෙලා ජයතිලක මහත්තයාව ලංකාවේ නියෝජිතයා විදිහට ඉන්දියාවට යැව්වලු.

 

5. දොන් ස්ටීවන් සේනානායක

Image Source – en.wikipedia.org

ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම අගමැතිවරයා කවුද කියලා ඇහුවොත් සීයට අනූ නමයයි දශම නමයයි නමයක්ම පිළිතුර විදිහට හම්බ වෙන්නේ “ඩී. එස්. සේනානායක” කියන නම. ඔය ඩී අකුරෙයි එස් අකුරෙයි තේරුම තමයි දොන් ස්ටීවන් කියන්නේ. බොහොමයක් දෙනා පිළිගන්න විදිහට ඩී. එස් සේනානායක මහත්තයා “ජාතියේ පියා” විරුදාවලියටත් සුදුසුයි. ඉන්දියාවට සාපේක්ෂව ඉතාම සාමකාමී විදිහට ලංකාවට නිදහස ලබාගන්න හැකියාව ලැබුණේ ඩී. එස් සේනානායක මහතාගේ දූර්දර්ශී වැඩපිළිවෙළ නිසා කියලා අපේ රටේ නිදහස් සටන ගැන කියවෙන හැම තැනකම වගේ කියවෙනවා. ගල් ඔය ව්‍යාපාරය වගේ රටේ දියුණුවට හේතුවෙන වැඩ පිළිවෙළ කීපයක් එතුමා ආරම්භ කළා. ඒ වගේම ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කිසිම බලකඳවුරකට ගැති නොවී ගෙනියන්නත් එතුමා සමත් වුණා.

 

6. පටබැඳිගේ දොන් ජිනදාස නන්දසිරි විජේවීර

Image Source – hwnews.in

නිදහස ලැබීමෙන් පස්සේ ලංකාවේ පාලන ක්‍රමයට විරුද්ධව පොදුජන කැරැලි දෙකක් මෙහෙයවන්න පුළුවන් වුණු එකම කෙනා තමයි මේ. හැබැයි අපි දන්නේ රෝහණ විජේවීර කියන නමින්. ඒ වගේම රෝහණ විජේවීර ගැන කියන හැම තැනකම වගේ සඳහන් වෙන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර කියන නම විතරයි. මොකක් හරි හේතුවක් නිසා ‘ජිනදාස” කියන නම හැලෙනවා. ඒ කතා පැත්තක තිබ්බොත් විජේවීර නායකත්වය දුන්න 1971 සහ 1989 කැරැලි ගැන අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ බෙදුණු අදහසක්. සමහරුන්ට විජේවීර කියන්නේ වීරයෙක්. සමහරුන්ට ද්‍රෝහියෙක්. විජේවීරගේ නායකත්වය යටතේ ඇති වුණු ජනතා විමුක්ති පෙරමුණ අද වෙනකන්ම රටේ ප්‍රධානම දේශපාලන  ධාරාවක් වෙලා තියෙනවා.

 

7. දොන් ඇල්වින් රාජපක්ෂ

Image Source – hwnews.in

අවසාන වශයෙන් අපේ ලැයිස්තුවට එන්නේ ඩී. ඒ රාජපක්ෂ මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් වුණු එතුමා දේශපාලනයේ අත්පොත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ බෙලිඅත්ත ආසනයේ මන්ත්‍රීවරයා විදිහට. ඒත් ඒ පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක එකඟ නොවුණු එතුමා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය හැරයන අවස්ථාවේදී ඔහු සමග එකට එකතු වෙනවා. පස්සේ කාලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ  අමාත්‍ය තනතුරු වගේම නියෝජ්‍ය කතානායක ධුරයත් දරනවා. ඒ වගේම එතුමා ප්‍රසිද්ධ වෙන්නේ පිරිසිදු දේශපාලකයෙක් විදිහට. එතුමාව අද අපි සිහිපත් කරන්නේ හිටපු ජනාධිපති සහ වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් විදිහට.

මේ දොන්ලා හැර තවත් දන්න කියන දොන්ලා ගැන කියන්න තමයි Comment section එක වෙන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *