විශාල මන්දිරයක් හදනවාට වඩා අපාර්ට්මන්ට් එකකට සෙට් වීමේ වාසි

ගෙවල් හදන්න හොඳ මොන වෙලාවෙද කියලා ඇහුවොත් ජ්‍යෝතිෂ්‍ය ගැන දන්න කෙනෙක් නම් රාහු කාලය පන්නලා සුබ වෙලාවක් හදලා දෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් හැදිලා, වැඩිලා, ඉගෙනගෙන රැකියාවක් කරලා සෙට්ල් වේගෙන එද්දි නිවාසයක අවශ්‍යතාවය එනවා. එතකොට නෑදෑ මව්පිය ආශිර්වාදයෙන්, උදව්වෙන් ගෙවල් හදන්න ගන්නවා. සමහර අය ආසාවට විශාල ගෙවල් පටන් ගන්නවා. ණය අරගෙන බාස්ලා හොයාගෙන, බඩු ගෙනල්ලා පටන් ගන්න ගේ හදන වැඩේ සම්පූර්ණයෙන්ම නිම වෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලගේ යාලුවෝ කී දෙනෙක් එයාලගේ හදන්න ගත් ගෙවල් සම්පූර්ණයෙන්ම නිම කරලා තියේද කියලා. ගොඩක් අයට තව කරන්න වැඩ ඉතිරි වෙලා තියෙනවා නේද? අපි බලමු මේ ගෙවල් හැදීම වෙනුවට අපාර්ට්මන්ට් එකක් තෝරාගැනීමේ වාසි

 

1. සියළු පහසුකම් අතේ දුරින්

Image Source – booking.com

නිවාස සංකීර්ණයක තියෙන මැද මිල මට්ටමේ අපාර්ට්මන්ට් එකක වුනත් බොහෝ පහසුකම් තියෙනවා. ලොන්ඩ්රි පහසුකම්, ජිම්, කුඩා ක්‍රීඩා අවකාශයක්, ළමා උයනක්, පොඩි ග්‍රොසරියක් වගේ දේවල් අපාට්මන්ට් එක තුළම සොයාගන්නට පුළුවන්. නගරයෙන් ඈතට වෙන්න ඉඩමක් අරන් ගෙයක් හැදුවොත් පූල් එකක් තියෙන තැනක් හොයන්න අපි කාර් එකේ ගොඩක් දුර යන්නට ඕනි. ඒත් බොහෝ අපාර්ට්මන්ට් වල පූල් එකක් සහ ඒ පහසුකම් ඒ සංකීර්ණය තුළම තියෙනවා.

 

2. ආරක්ෂාව

Image Source – bluemountainapartments.lk

ගෙවල් බිඳින්න හොරු ආවට අපාර්ට්මන්ට් එකක් බිඳින්න හොරු එන්නේ නැහැ. බොහෝවිට තට්ටු ගණන් ඉහළ තැන්වල පිහිටල තියෙන අපාර්ට්මන්ට් සංකීර්ණ තුළට සොර සතුරු අවදානම අඩුයි. ඒ වගේම හොඳ අපාර්ට්මන්ට් වල සෙකියුරිටි සර්විස් එකක් තියෙනවා. ඒ කියන්නෙ පාරෙ යන එන හැම අයටම අපාර්ට්මන්ට් එකට යන්නට හැකියාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා නිවෙස්වලට දවල් කාලේ එන සංචාරක වෙළෙන්දන් ආදී කරදර වලිනුත් අපාර්ට්මන්ට් එකක ඉද්දි ගැලවෙන්න හැකියාව ලැබෙනවා.

 

3. අවශ්‍ය ප්‍රමාණය තීරණය කළ හැකි වීම

Image Source – skygardens.lk

ලොකු ගෙයක් හැදුවාම අපිට ඒකේ හැම කොටසක්ම එක සේ මේන්ටේන් කරන්නට වෙනවා. ඒත් අපාර්ට්මන්ට් එකක් කියන්නේ ජෝඩුවකට ඕනානම් එහෙම, තව ෆැමිලි එක ඉන්නවා නම් එහෙම වශයෙන් අවශ්‍යතාවය අනුව අවකාශයන් වෙනස් කරගන්නට පුළුවන් විසඳුමක්. ඒ තුළින් තමුන්ගේ ජීවිතයට අවශ්‍යම අවකාශ විතරක් මිලදී අරගන්නත් අපාර්ට්මන්ට් එකක් තෝරාගනිද්දි අපිට හැකි වෙනවා.

 

4. අවට සමාජය

Image Source – kickstarter.com

තනිකඩව ඉද්දි සහ ජෝඩු වෙලා ඉද්දි අවට සමාජය ගැන එතරම් අවුලක් නැතත්, දරුවෙක් මල්ලෙක් හැදිලා ඒ දරුවන් ලොකු මහත් වෙද්දි අවට සමාජය අපිට බොහොම වැදගත්. දරුවන්ට ආශ්‍රය කරන්න හොඳ යාලුවෝ සහ පරිසරයක් තියෙන්නට ඕනි. ලංකාව වගේ රටවල අපාර්ට්මන්ට් වල ජීවත් වෙන බොහෝ දෙනා නිහඬ, අනුන්ට කරදර නැති ජීවිත ගෙනයන අය. එවන් පරිසරයක් තුළ දරුවන්ට පාඩම් කිරීමට වගේම නිවිහැනහිල්ලේ ජීවත් වෙන්නත් හැකියාව ලැබෙනවා.

 

5. එක් වරක් පමණක් වියදම

Image Source – riverwoodmke.com

ගෙයක් හැදීම ගැන හිතුවොත් වියදම් වල කෙළවරක් නැහැ. සම්පූර්ණ ඉදිකිරීම් ඉවර වුනත් ඉන් පස්සේ තවත් උද්‍යාන සැකසීම්, ලස්සන කිරීම් කරන්නට වෙනවා. ඒ වගේම යම් අවශ්‍යතාවයන් අනුව මුළුතැන්ගෙය, ආලින්දය ආදී කොටස් හදාගන්නත් වෙනවා. ඒත් අපාර්ට්මන්ට් කියන්නේ එහෙම හැමදාම වියදම් වෙන වියදමක් නෙමෙයි. ලොකු මිලක් යනවා තමයි. ඒත් අපේ ඉඳුම් හිටුම් වෙනුවෙන් යන ඒ වියදම එකවර ගෙවීමක් පමණයි. ඊට අමතරව අපිට ලැබෙන පහසුකම් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් යම් මුදලක් මාස්පතා ගෙවන්නට වෙන අවස්ථා තියනවා. නමුත් විශාල නඩත්තු කටයුත්තක් වැනි අවස්ථාවකදී එම වියහියදම් අපිට දරන්නට නොවීම නිසා එයින් ලැබෙන්නේත් වාසියක්.

 

6. ප්‍රවාහන පහසුව

Image Source – uber.com

කොළඹ ගත්තොත් කොළඹින් කිලෝමීටර 20ක විතර ඈතින් උනත් ඉඩමක් ගැනීම, ලාබ නැහැ. ඒ ඉඩමක් අරං ගෙයක් හැදුවා වුනත් පැයකින් හමාරකින් මෙහා කොළඹට එන්නත් බැහැ. කොළඹ ඇතුළේම තියෙන අපාර්ට්මන්ට් එකක් ගත්තොත් ටැක්සියකට අත දාල හරි, ඌබර් එකක් ගහගෙන හරි අපිට විනාඩි ගාණකින් වැඩට යන්න පුළුවන්කම ලැබෙනවා. දරුවන් පාසැලට ඇරීම වගේම නගරය මැද තියෙන චිත්‍රපටි බැලීම්, කලා කටයුතු, නාට්‍ය, සංදර්ශන, සමුළු ආදී හැම දේටම සහභාගි වෙන්න පහසුවෙන්ම පුළුවන් නගරය තුළ අපාර්ට්මන්ට් එකක හිටියොත්.

 

7. නඩත්තුව

Image Source – 1juegos.org

ගෙයක් කියන්නේ අනිවාර්යයෙන් නඩත්තු කරන්නට ඕනි දෙයක්. ඒ වගේම ලයිට්, වතුර, වයරින් වැඩ වගේ දේවල් ගැනත් සොයාබලන්නට ඕනි. අපාර්ට්මන්ට් එකකදි සම්පූර්ණ නඩත්තු කටයුතු බොහොමයක් ඒ හිමිකරුවන් විසින්ම කරනු ලබනවා. ගෙයකට සාපේක්ෂව ගෙහිමියාට කරන්නට සිදුවෙන නඩත්තු වැඩ ආදිය අපාර්ට්මන්ට් එකක වාසය කිරීමේදි බොහොම අඩුයි.

 

පැරණි තාලෙට ජීවත් වුණු, මිදුලේ පය පාගලා උදේට එළියට පහලියට බැහැලා ඇවිදලා ඉන්න පුරුදු කෙනෙක්ට නම් කොළඹ අපාර්ට්මන්ට් එකකට හුරු වෙන්න ටිකක් අමාරුයි. ඒත් ලැබෙන පහසුකම්, ට්‍රැෆික් වල ඉන්න වෙන කාලය වගේ දේවල් එක්ක හිතුවාම අමාරුවෙන් හරි අපාර්ට්මන්ට් එකකට සෙට් වීමේ ලොකු වාසියක් තියෙනවා.

Cover Image Source – trillium.lk/ thekingsburyhotel.com