ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල අගමැති පොරය

ලංකාවේ අගමැති තනතුර කාටද අයිති කියන එක ගැන පහුගිය අවුරුද්දේ විශාල කැලඹීම් දේශපාලන ලෝකයේ ඇතිවුණා. ඒ වගේම සමහරු කියන විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව යන්නත් මූලිකම හේතුව තමන්ට අගමැතිකම නොදීමලු. මේ හැම දේශපාලන ගිනිවිජ්ජුම්බර බල බල ලංකාවේ දේශපාලනය ගැන කතා කරන හැම කෙනෙක්ම වගේ එක කතාවක් කියනවා “ලංකාවේ අද දේශපාලනය නම් ගන්න දෙයක් නෑ, ඒ කාලේනේ බලන්න ඕන ඩී. එස්ලා, ඩඩ්ලිලා, සර් ජෝන්ලා” කියලා. හැබැයි මෙහෙම කියන්නේ  ඒ අයගේ නොදන්න කමට. ලංකාවේ දේශපාලනය එදා අද කියලා වෙනසක් නෑ.එකම විදිහයි. එකම දේ අපිට ඉස්සර දේශපාලනය ගැන අවබෝධයක් නෑ, මොකද ඒ කාලේ අපි හිටියේ නැති නිසා. ඒත් අද වෙන දේ ගැන අපි දවස්පතා අප්ඩේට් වෙනවා. මෙන්න මේ නිසා අපි හිතුවා පරණ දේශපාලන පොරයක් ගැන කතා කරන්න. මේක කියවලා බලද්දි ඔයාටම තේරෙයි අදයි ඊයෙයි කියලා ලොකු වෙනසක් නෑ කියලා. ඒත් එක දෙයක්. එදා දේශපාලනඥයන්ට අද අයට වඩා ඉවසීම තිබිලා තියෙනවා. මේ අගමැති පොරය ඇතිවෙන්නේ ඩඩ්ලි සේනානායක සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්වරු අතර.

 

1. ඩඩ්ලි සහ ජෝන්ගේ පෞද්ගලික නෑදෑකම

Image Source -getty images.com

දේශපාලනයට එන්න කලින් ගත්තත් ඩඩ්ලි සහ ජෝන් නෑදෑයෝ. මේ නෑදෑකමට හේතු වෙන්නේ මුදලිඳු ඩී. සී. ජී  ආටිගල. ආටිගල මුදලිතුමා දහනමවන සියවසේ ලංකාවේ ප්‍රධානම ධනවතෙක්. එතුමාගේ වැඩිමල්ම දියණිය ඇලිස් ආටිගල. ඇය විවාහ වෙන්නේ පොලිස් ඉන්ස්පැක්ටර් කෙනෙක් වුණු ජෝන් කොතලාවල එක්ක. මේ දෙන්නගේ පුතා තමයි සර් ජෝන් කොතලාවල. ආටිගල මුදලිතුමාගේ දෙවෙනි දුව ලීනා ආටිගල විවාහ වෙන්නේ ටී. ජී ජයවර්ධන එක්ක. ටී. ජී ජයවර්ධන කියන්නේ ජේ. ආර් ජයවර්ධන මහත්තයාගේ බාප්පා. මුදලිතුමාගේ තුන්වෙනි දුව ඇලන් ආටිගල. එතුමිය විවාහ වෙන්නේ එෆ්. ආර් සේනානායක, ඒ ඩී. එස් සේනානායක මහත්තයාගේ අයියා එක්ක. මේ විදිහට තමයි සේනානායක සහ කොතලාවල පවුලේ නැදෑකම ඇතිවෙන්නේ.

කවුරුවත් නොදන්නවා වුණාට ජෝන් කොතලාවල මහත්තයා තවත් විදිහකට සේනානායකවරුන්ගේ නෑයෙක් වෙනවා. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා ජෝන් කොතලාවල මහත්තයා අවිවාහකයෙක් කියලා. නමුත් ඒ කතාව වැරදියි. ඔහු විවාහ වෙන්නේ ඩී. එස් සේනානායක මහත්තයාගේ සහෝදරියගේ දියණියක් වුණු එෆී මන්ත්‍රී ඩයස් බණ්ඩාරනායක එක්ක. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ලක්ෂ්මි කොතලාවල නමින් දියණියකුත් ලැබෙනවා. නමුත් ටික කාලයකින් ඔවුන් දෙදෙනා වෙන් වෙනවා.

 

2. ඩඩ්ලි සහ ජෝන්ගේ දේශපාලනය

Image Source -dailynews.lk

ඩඩ්ලිට වඩා සර් ජෝන් වැඩිමල්. මේ නිසාම ඩී. එස් සේනානායක මහතාගේ දේශපාලන කටයුතුවලට වැඩි දායකත්වයක් ලබා දෙන්න සර් ජෝන්ට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ඩී. එස් සේනානායක මහතාව 1915දී හිරගත කරලා තිබ්බ අවස්ථාවේ ඩී. එස් ඇතුළු පිරිසට ආහාරපාන ගෙනගියේ ඒ කාලේදි කුඩා දරුවෙක් වුණු සර් ජෝන් කියලා කතාවක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පිහිටවන වෙලාවේ කැඳවුම්කරු විදිහට කටයුතු කරන්නෙත් සර් ජෝන් විසින්. 1931දී ජෝන් කොතලාවල මහත්තයා කුරුණෑගල මන්‍ත්‍රීවරයා බවට පත් වෙනවා. ඩඩ්ලි සේනානායක මහත්තයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ 1936දී. එහෙම බැලුවත් දේශපාලනයට පිවිසීමේදිත් ඩඩ්ලිට වඩා මුල් තැනක් සර් ජෝන්ට හිමිවෙනවා. ඒ වගේම ඩී. එස් සේනානායක මහත්තයා රටෙන් බැහැර වෙන හැම අවස්ථාවකම වගේ වැඩ බලන අගමැතිකම පවරලා තියෙන්නෙත් ජෝන් කොතලාවල මහත්තයට.

 

3. ඩී. එස්ගේ මරණයෙන් පසුව ඇති වුණු තත්ත්වය

Image Source -dailynews.lk

1952 මාර්තු 26 වෙනිදා ඩී. එස් සේනානායක මහතා අසු පිටින් වැටීමෙන් මියයනවා. මේත් එක්කම ඊළඟ අගමැති ධුරය ලැබෙන්න ඕන කාටද කියන ප්‍රශ්නය ඇති වෙනවා. සම්ප්‍රදාය අනුව මේ අගමැති ධුරය ලැබෙන්න ඕන ජෝන් කොතලාවල මහත්තයාට. නමුත් එවකට අග්‍රාණ්ඩුකාර ධුරය දරපු සෝල්බරි සාමිවරයා තීරණය කරන්නේ අගමැති ධූරය ඩඩ්ලි සේනානායක මහතාට ලබාදෙන්න. ඔහු ඒකට හේතුව විදිහට දක්වන්නේ ඩී. එස් තමන්ගෙන් පස්සේ අගමැතිකම තමන්ගේ පුතාට දෙන්න ඕන කියලා ඉල්ලීමක් කලින් කළා කියන එක. ඩී. එස්ගේ මරණය වෙද්දි සෝල්බරි සාමිවරයා ඉන්නේ විදේශගතව. ආණ්ඩුකාර ධූරයේ වැඩ බලන්නේ ශ්‍රීමත් ඇලන් රෝස්. නමුත් සෝල්බරි සාමිවරයා ඇලන් රෝස්ට දන්වනවා, තමන් ලංකාවට එනකන් අගමැති ධූරය පිළිබඳව කිසිම තීරණයක් ගන්න එපා කියලා. මේ තත්ත්වය ජෝන් කොතලාවල අනුමත කරන්නේ නෑ. එතනදි ඔහු කියනවා ඩී. එස් සේනානායක මහතා එබඳු ප්‍රකාශයක් කළා කියලා තමන් විශ්වාස කරන්නේ නෑ කියලා. ඒකට උදාහරණයක් විදිහට දෙන්නේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අස්වීමේදී ඩී. එස් සේනානායක මහතා දක්වපු ප්‍රතිචාරය. ඒ අවස්ථාවේදී ඩී. එස් සේනානායක මහතා කියනවා, තමන්ගෙන් පස්සේ අගමැති ධූරයට පත් වෙන්නේ කවුද කියන එක තීරණය කිරීම තමන්ට අයිති කාරණයක් නෙමෙයි කියලා.

 

4. ඩඩ්ලිට එල්ල වුණු බලපෑම්

Image Source -dailynews.lk

කොහොමින් කොහොමහරි ඩඩ්ලි සේනානායක අගමැති තනතුරේ දිවුරුම් දෙනවා. මේ වෙලාවෙදි සර් ජෝන් තේරුම් ගන්නවා, ඩඩ්ලි එහෙම කළේ නෑයන්ගෙන් සහ ඔහු වටා හිටපු තමන්ට විරුද්ධ බලවේගවල බලපෑමට යටත් වෙලා කියලා. සමහරු “ජාතියේ පියාට නියම පුතෙක් හිටියේ නෑ” කියල අහන්න සලස්සන්න එපා කියලත් කිව්වා කියලා ආරංචි වෙනවා. මේ වෙලාවේ සේරම දමලා ගහලා රට යන්නත් සර් ජෝන් හිතනවා. ඒත් සර් ජෝන්ගේ මව මැදිහත් වෙලා පුතාව සන්සුන් කරනවා. ඊට පස්සේ ජෝන් කොතලාවල මහත්තයා ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට් මණ්ඩලයටත් එකතු වෙනවා. ඒ වගේම සභානායක තනතුරත් ඔහුට හිමි වෙනවා.

 

5. අගමැති පොරය පිටවෙයි

Image Source -gettyimages.ca

මේ විදිහට සියලු කැලඹීම් සන්සුන් වෙද්දි කවුරුවත් හිතන්නේ නැති විදිහේ බෝම්බයක් පත්තු වෙනවා. ඒ තමයි  “The Premier Staker 1952” නමින් පොතක් පිට වෙනවා. සිංහලට මේ පොතේ නම ගත්තොත් “අගමැති පොරය” කියලා තමයි නම පරිවර්තනය කරන්න වෙන්නේ. මේක පොතකට වඩා කැලෑ පත්තරයක්. මේක රජයේ මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් අතරට යනවා. මේකේ කරුණු නිසා ඩඩ්ලි සේනානායක දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා. මේ කැලෑ පත්තර පොත කියවන හැමෝගෙම තීරණය වෙන්නේ මේ පොත එක්කෝ ජෝන් කොතලාවල, නැත්තම් කොතලාවල වෙන කෙනෙක් ලවා ලියපු එකක් කියලා. තත්ත්වේ තවත් දරුණු වෙන්නේ ට්‍රිබියුන් කියන නමින් ඒ දවස්වල පළ වුණු වාමාංශික ඉංග්‍රීසි පුවත්පත මේ පොත කොටස් වශයෙන් පළ කරන්න ගැනීමත් එක්ක. මේ නිසා සම්පූර්ණ රජයම දැඩි අපහසුතාවයකට පත් වෙනවා.

 

6. ඩඩ්ලි සර් ජෝන්ට අස්වෙන්න කියයි, සර් ජෝන් අස්වීමේ ලිපිය … ගහගන්න කියයි

Image Source -gettyimages.ie

මේ වෙනකොට සර් ජෝන් කැනඩාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වෙන්න පිටරට ගිහින් ඉන්නේ. මේ වෙනකොට සර් ජෝන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවා කියලා දැනගන්න ඩඩ්ලි කේබල් පණිවිඩයක් අපේ තානාපති කාර්යාලයට යවනවා. ඒ කේබල් පණිවිඩයේ තියෙන්නේ “අගමැති පොරය පළ වීම නිසා තවදුරටත් කොතලාවල කෙරෙහි විශ්වාසය තබන්න බෑ සහ ඒ නිසා ඉල්ලා අස්වීමේ ලිපියක් තානාපති කාර්යාලයට බාර දෙන්න” කියාලා. මේ පණිවිඩය ගෙනත් දෙන නිලධාරියාගෙන් කොතලාවල අහනවා තමන් දෙන පිළිතුර අගමැතිවරයාට යවන්න පුළුවන්ද කියලා. ඒ නිලධාරියා ඔව් කියනවා. කොතලාවල කියනවා “ඔබ (ඩඩ්ලි) එවූ පණිවිඩය ලැබුණා. එය රෝල් කර … ගහගන්න” කියලා.

 

7. ඉන්පසු…

Image Source -gettyimages.ca

ආපහු ලංකාවට එන සර් ජෝන් කොතලාවල තමන්ගේ ඥාතියා වුණු ඩඩ්ලි සේනානායකව මුණ ගැහෙන්න යනවා. තමන් අගමැති පොරය පළ කිරීමට සම්බන්ධ නෑ කියලා කොතලාවල ඩඩ්ලිට පැහැදිලි කරනවා. ඒ අවස්ථාව සංවේදී අවස්ථාවක් වෙනවා. දෙදෙනාගේම ඇස්වල කඳුළු පිරෙනවා. ඊට පස්සේ තවදුරටත් ඩඩ්ලිට සහයෝගය දක්වමින් ඇමැති ධූරයේ රැඳී ඉන්න සර් ජෝන් තීරණය කරනවා. ඊට වසරකට විතර පස්සේ “හර්තාල්” ගැටළුව නිසා ඩඩ්ලි සේනානායක අගමැති ධූර‍යෙන් ඉල්ලා අස්වෙනවා. “දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු” කියලා කතාවක් තියෙනවා. මේ අවස්ථාවේ නම් අගමැතිකම ලැබෙන්නේ ශ්‍රීමත් ජෝන් කොතලාවලට

මේ ලිපිය ගැන ඔබේ  අදහස්වලට ඕන තරම් ඉඩකඩ Comment Section එකේ දීලා තියෙනවා. ඒ වගේම මේ ලිපිය වට්ස්ඇප්, මැසෙන්ජර්වල ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ආහ් තව දෙයක්, මේ ලිපියට ලව් රියැක්ෂන් 100ක් දුන්නොත් අපි “සර් ජෝන් ගැන රසකතා” තියෙන ලිපියකුත් ළඟදීම ලියනවා.

Cover Image Source – gettyimages.ca

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *