කාලෙන් කාලෙට බුකියේ පේජ්වල දකින්න ලැබෙන කතන්දර

බුකිය කියන්නේ කතා සාගරයක්. ඔය කතන්දර කියන්නේ බුකි ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම පේජ්වලට අමතරව තනි පුද්ගලයොත් මාගල් වගේ ඒවා ලියලා දානවා තමයි. හැබැයි ඉතින් බුකියේ ආකර්ෂණේ තියෙන්නේ ෂෝට් ඇන්ඩ් සුවීට් විදියට බෝලේ බස්සන පේජ්වලට තමයි. මේවයේ අන්තර්ගතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර ඒවා දිගටම පවතිනවා. ඒත් සමහර ඒවා නෑ. ඉතින් මේ විදියට දැකපු, දකින කතා කීපයක් තමයි මේ.

 

1. මල විකාර

Image Source – clipartmax.com

මේක මේ ඊයේ පෙරේදා ඇති වෙලා එක පාරට නැති වුණ කතාවක්. ආපු මුල් දවස්වල නම් වසංගතේ වගේ. මොකක් හරි ජීවිතේ කරන්නම ඕනි දෙයක් අරගෙන මේක කරන්නම ඕනි ද? මල විකාර! කියලා කියන එක තමයි මේ පෝස්ටුවල අන්තර්ගතය. උදාහරණ විදියට ලව් කරා කියලා බඳින්න ම ඕනි ද? මල විකාර! ක්‍රිකට් සෙල්ලම් කරා කියලා දිනන්න ම ඕනි ද? මල විකාර! වගේ ඒවා පෙන්නන්න පුළුවන්. හැබැයි මේක හැමතැනට ම අදාළ කරගන්න ගිහිල්ලා සමහර ඇඩ්මින්ලා ලෙල්ලට ම කෙළවගත්තා. කැම්පස් සහෝදරයෙක් කැම්පස් ගියා කියලා ඩිග්‍රිය ගන්නම ඕනි ද? මල විකාර! කියලා හද්ද ගොන් කතාවක් එහෙම දාලා තිබ්බේ. කොහොමහරි දැන් මේ භීෂණේ යටපත් වෙලා තියෙන්නේ.

 

2. අක්කියෙක්

Image Source – plus.google.com

මේක කාලාන්තරයක් තිස්සේ බුකියේ කතාබහ වුණාට මෑතක දී ආයෙත් පණ ගහලා මාතෘකාවට ඇවිල්ලා තියෙන්නේ රෝහිත රාජපක්ෂ අලුත ගෙනා මනමාලි නිසා. ඒකත් අන්තිමේ අමු කෙප්පයක් බවට පත් වුණා. ඒ කෙසේ වෙතත් අක්කලාට ලව් කිරීමේ මාතෘකාව එහෙමමයි. නංගිලා සහ සමවයස් කෙල්ලන්ට වඩා අක්කලාට ලව් කිරීමේ ආනිසංස, අක්කි පණක් නැද්ද?, ඒ අක්කිව මෙන්සස් කරන් යන්න ආදී වශයෙන් අක්කා සබ්ජෙක්ට් එක මේ වෙනකොට පේජ් අතර ලොකු මාතෘකාවක් විදියට ඇදීගෙන යනවා.

 

3. කොමෙන්ට් මෙච්චරක් ආවොත්…

Image Source – twitter.com

චොකලට් බිස්කට් දුන්නොත් පොඩ්ඩෝ ඕනම දෙයක් කරයි කියන එකේ අප්ඩේටඩ් වර්ෂන් එක තමයි මේ. පෝස්ට් එකක් දානවා. ඊට පස්සේ මේකට මෙච්චරක් කොමෙන්ට් ආවොත් මම මේක කරනවා අරක කරනවා කියලා රටේ නැති දේවල් කියනවා. හැබැයි ඒ එකක්වත් කවුරුවත් ඇත්තටම කරා ද කියන ප්‍රශ්නය තියනවා. රැවුල කපන්නම්, තට්ටේ ගාන්නම්, කපල් ෆොටෝ දාන්නම් වගේ ඒවා තමයි කියන්නේ. කොමෙන්ට් හාරපන්දාහ ඉල්ලනවා. රීච්වලට හොඳා ඉතින් අපේ අයත් දාර ගවමහේෂයෝ වගේ කොමෙන්ට් දාන නිසා.

 

4. මෙන්සන් කරපන් උඹලගේ සෙට් එකේ ඉන්න අහවලාව

Image Source – hi-in.facebook.com

පාවාදීමෙන් ආතල් ගැනීමේ කලාව තමයි මේ. බඩජාරි, පැණි, කුපාඩි යනාදී මෙකී නොකී පුල් අජපල් දේවල් ගැන සඳහන් කරපු පෝස්ට් එකක් හදනවා. ඊට පස්සේ උඹලයේ සෙට් එකේ ඉන්න, අදාළ දේට ගැලපෙන අලුගුත්තේරු මිතුරාව මෙන්සන් කරන්න කිව්වම අපිත් ඉතින් ඕක කරනවා. සීසෝ පදිනවා වගේ. කාගේ හිතටත් සතුටුයි. මේ විදියට නිකන්ම මෙන්සන් කරනවට වඩා ඉහළට ගිහිල්ලා දැන් අලුත්ම විදියක් තියනවා. ඒ තමයි පොදු නම් කීපයක් අරගෙන කරන බයිට් කිරිල්ල. ඒක මෙහෙමයි. උදාහරණයක් විදියට “ඔය ළහිරු කියන නම තියන උන් ඉන්නවා නේද? ඕකුන් තමයි ගෑණු නානවා හොරෙන් බලන්නේ” කිව්ව ගමන් ඒ නම තියන හැම අහිංසකයාම ඒ පෝස්ට් එකේ මෙන්ෂන් කරනවා.

 

5. වදන්

Image Source -plus.google.com

වදන් පේජ හිමියන් කියලා වෙනම ඉන්නවා. ඔය පිටරටවල කඩ්ඩෙන් යන්නේ inspirational quotes කියලා එකක්. අන්න ඒක අනුගමනය කරන්න ගිහින් ටිකක් විතර චොර වුණ වර්ෂන් එකක් තමයි ලංකාවේ වදන් කලාව. මිනිස්සුන්ගේ ඔළු හැදීමේ බලාපොරොත්තුවෙන් වගේ මොකක් හරි සරල ඔවදනක් හෙන ගැම්මෙන් ඉදිරිපත් කිරීමයි කරන්නේ. උදාහරණයක් විදියට “අනික් අයගේ විවේචන හමුවේ අධෛර්යමත් වෙන්න එපා” කියන එක “නරි එන්නේ රංචු පිටින් වුණාට සිංහයා එන්නේ තනියෙන් බ්‍රෝ” කියලා වදනකින් ඉදිරිපත් කරන්න පුළුවන්.

 

6. ලෝක ප්‍රසිද්ධ චරිතවල උපුටා දැක්වීම්

Image Source -winiwidalokaya.blogspot.com

මේක ටිකක් අලුත් එකක්. තාමත් අලුත් ගතිය එහෙමම තියෙන රැල්ලක්. ශ්‍රී වික්‍රම රාජසිංහගේ ඉඳලා මහත්මා ගාන්ධි, අයිසැක් නිව්ටන්, ප්ලේටෝ යනාදී සිරිමත් සැට් එකේ අයෙක්ගේ රූපයක් දාලා ඒ මනුස්සයා තුන්හිතකින්වත් නොකිව් දෙයක් එයා කීවා වගේ හදලා දාන එකේ උත්කර්ෂේ තමයි මේ. අපි දන්නා විදියට මේ උත්තමයෝ සෑහෙන ගැඹුරු කතන්දර කියා තිබ්බත් බුකියේ පේජ්වල තියෙන මේවායේ තියෙන්නේ “බුකියේ යන හැමදේම ඇත්ත නෙවෙයි”, “අපි ඉන්නේ අපේ පාඩුවේ”, “ජීවිතේ කියන්නේ සල්ලි තමයි” වගේ ඒවා.

 

7. රීච් බැහැලා යාළුවනේ

Image Source -hi-in.facebook.com

අනේ අන්තිමේ ඉතින් කාලාන්තරයක් ගියාම ගොඩක් පේජ්වල ඉරණම විසඳෙන්න ඉඩ නොදී තියාගන්න හදන උත්සාහය තමයි මේ. සමහර පේජ් ඇත්තටම වැදගැම්මකට ඇති ඒවා නෙවෙයිනේ. කවුරුත් ලයික් එකක්වත් දාන්න හිතන්නේ නැහැ. එතකොට බුකිය විසින්ම ඒවයේ හෙට දවස තීන්දු කරනවා. එහෙම වෙයි කියලා ඉව වැටුණ ගමන් පේජ් එක පවත්වාගන්න සහය පැතීම තමයි ඉල්ලන්නේ. කොමෙන්ට් එකකින් සහය වීම තමයි ඒ වෙලාවට කරන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *