පාවිච්චි කරපු බඩුවක් අන්තර්ජාලයෙන් ඉක්මනින් ගනිද්දි හොයන්න ඕනි දේවල්

පාවිච්චි කළ බඩුවක් ගන්නේ ඇයි? මූලිකවම අපි පාවිච්චි කරපු එකකට යන්නෙ ඒකේ ඔරිජිනල් එකට වඩා මිල අඩු නිසා. ඇපල් ෆෝන් වගේ නම් පාවිච්චි කරපු පරණ මොඩල් එකක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමින් ගන්න පුළුවන් රුපියල් 40,000කට විතර. ඒත් අලුත්ම අයිෆෝන් අලුත්ම එඩිශන් එකක් රුපියල් 160,000කටත් වඩා මිල අධිකයි. ඒ වගේ පාවිච්චි කළා වුනත් තවත් පාවිච්චි කරන්න පුළුවන් බඩු තියෙනවා. ඒවා මිලදී ගන්න එක මොන පැත්තෙන් බැලුවත් පොඩි රිස්ක් එකක්. ඒත් රිස්ක් එක නිසානේ මිල අඩු. අපි බලමු පාවිච්චි කරපු බඩුවක් ගනිද්දි අමාරුවේ වැටෙන එකෙන් ගැලවෙන්න ටිප්ස් ටිකක්

 

1. වොරන්ටි කාඩ් එක ඉල්ලමු

Image Source – stw-watches..com

ඇඩ් වල නම් කියනවා “අරං මාස 6යි තාම කොලිටි වොරන්ටි එක ඇතුළේ“ කියලා. ඒ වගේ වෙලාවට වොරන්ටි කාඩ් එක ඉල්ලන එක තමයි හොඳ. ෆෝන් එකක් වගේ පාවිච්චි කරපු එකක් ගන්නවා නම් බිල, වොරන්ටි කාඩ් එක නැතුව කෙලින්ම ගන්න එක පෝඩ්ඩක් අවදානම් වැඩක්. මොකද කොහෙන් හරි උස්සපු බඩුවක් වෙන්න තියන හැකියාව බොහොම වැඩියි. එතකොට හොඳ රොබරියකට වගේ සෙට් වුන ෆෝන් එකක් නම් ටික දවසකින් පොලිසි, උසාවි ගානේ රස්තියාදු වෙන්නත් චාන්ස් එකක් අපිට උදා වෙනවා. ඒ නිසා බඩුවක වොරන්ටි කාඩ් එක, බිල නැතිනම් ඒකට තව ගාණක් අඩු කරන්න කියලා ඉල්ලන්නත් පුළුවන්කම තියෙනවා.

 

2. බඩුව ගැන පොඩ්ඩක් නෙට් එකේ හොයමු

Image Source – mobilemarketingmagazine.com

ඉලෙක්ට්‍රිකල් බඩු, ෆෝන් වගේ ගොඩක් දේවල් ගැන විස්තර අන්තර්ජාලයේ තියෙනවා. ෆෝන් එක නම් මොඩල් එකත් එක්කම විස්තර එනවා. ඒ වගේම ඒ ඒ බඩුවල ඩිෆෝල්ට් එන දෝස තියෙනවා. උදාහරණ විදියට සමහර චයිනීස් ස්මාට්ෆෝන් තියෙනවා චාජ් එක පැය දෙකක්වත් හිටින්නේ නැහැ. අනික් අතට රත් වෙනවා. කෙනෙක් බඩුවක් අරගෙන මාස දෙක තුනක් ඇතුළත ආයේ විකුණනවා නම් ඒ හැම වෙලාවෙම මුදල් හදිස්සියක්ම නෙමෙයි. පොඩ්ඩක් භාණ්ඩේ ගැන සර්ච් එකක් දාන එක කෝකටත් හොඳයි.

 

3. හොඳ සෙලර් කෙනෙක්ද කියලා බලන එක

Image Source – support.yotpo.com

ඔන්න අපේ ඔෆිස් එකක, ගමක කෙනෙක් නම් එහෙම නැතිනම් අපි එක්ක කෝච්චියේ, බස් එකේ යන අපි එක්ක ඉගෙනගන්න ඩෑල් එකක් නම් අපි ඒ පුද්ගලයා ගැන ටිකක් දන්නවා. එතකොට ඒ කෙනා යම් පාවිච්චි කරපු දෙයක් විකුණනවා නම් අපිට ඒ ගැන විස්වාසය තියනවාද නැද්ද කියලා පොඩි අයිඩියාවක් ගන්න පුළුවන්. අන්තර්ජාලයේ ස්ටෝරු වලත් තියෙනව සෙලර් ගැන බලන්න පුළුවන් ක්‍රම. ඊබේ එකේ එහෙම සෙලර්ව රේට් කරලා තියෙන්නේ. එතකොට අලුතින්ම ආපු සෙලර් කෙනෙක්ගෙන් ලොකු ඩිස්කවුන්ට් එකකට යනවාට වඩා හොඳ සෙලර් කෙනෙක්ගෙන් ටිකක් වැඩිපුර දීලා ගන්න එක කෝකටත් හොඳයි.

 

4. විස්තර දැනගන්න එක

Image Source – activerain.com

ලංකාවේ ඉක්මන් එකේ නම් අපිට විස්තර දැනගන්න පුළුවන් කෝල් කරලා. ඊබේ එකේ වගේ නම් අපිට විස්තර ටික ඊමේල් එකෙන් දැනගන්න පුළුවන්. පාවිච්චි කළා කිව්වට සමහර අය බඩු පාවිච්චි කරනවා මලක් වගේ. කැමරාවක් වගේ දෙයක් වුනත් වැහි දවසට එළියට ගන්නේ නැතිව පරෙස්සමෙන් පිහිදලා හොඳට පාවිච්චි කරන අය ඉන්නවා. එයාලගෙන් බඩුවක් ගන්න එක සෑම අතින්ම වාසියි. ඒ වගේම කොච්චර ප්‍රමාණයක් පාවිච්චි වෙලාද කියලා එහෙමත් ටිකක් කතාබහ කරලා විස්තර දැනගන්න පුළුවන් නම් හොඳයි.

 

5. අඩු කරන්න බැරිද?

Image Source – gregcfuzion.files.wordpress.com

පාවිච්චි කරපු බඩුවකට හරි මිලක් නැහැ. ඔන්න අලුත්ම එකක නම් මේ ගාණය කියලා කෙලින්ම තියෙනවා. ඉතින් පැන්න ගමන් එකපාර වලං කඩේට ගොනා පැන්නා වගේ එකපාර ගන්න යන්න එපා. ඒ වගේම සේරිවාණිජ කතාවේ වගේ නොවටිනා ගණන් වලට ඉල්ලන්නත් එපා. පොඩ්ඩක් ශේප් එකේ බාගේන් පාරක් දාලා රුපියල් කීයක් හරි අඩුවෙන් ඉල්ලලා බලන්න. ඒ ගාණට දෙන්න බෑ කියනවා නම් ඉතිං අවුලක් නැහැ ඔයාලට බඩුව වටිනවා නම් අඩුකළේ නැහැ කියලා උරණ වෙන්නේ නැතුව සුටුස් ගාල බඩුව ගන්න. මේක ඊබේ වලදි වුනත් කරන්නට පුළුවන් දෙයක්. සෙලර්ගේ කන්ටැක් එක හරහා ගිහින් ඊමේල් එකෙන් පවා බාගේන් කරලා බඩු ගන්න අය ඉන්නවා.

 

6. බඩුව බලමු, සල්ලි ගෙවමු

Image Source – expresswaytoyota.com

“මචං සල්ලි එකවුන්ට් එකට දාහන් මං භාණ්ඩේ හෙට උදේ අනිවා ගෙනත් දෙන්නම්” හොඳටම දන්න කෙනෙක් එක්ක හැරෙන්න මේ වගේ ඩීල් එකකට නම් ලේසියෙන් යන්න එපා. ලංකා ඇඩ්ස් ඩොට් කොම් වගේ ඒවයෙ පවා තියෙන දෙයක් තමයි ඔන්ලයින් විස්තර තිබුණත් එතනට ගිහිල්ලා කරලා, බඩුව දැකලා, ඒක ඔන් කරලා වැඩ කරනවාද කියලා බලලා තමයි සල්ලි ගෙවන්නට ඕනා. කම්පියුටර්, මදර්බෝඩ්, හාඩ් ඩිස්ක් වගේ දේවල් වුනත් ටෙස්ට් කරලා ගන්න පුළුවන් නම් තමයි හොඳ. හොඳ ජාතියේ මදර්බෝඩ් එකකට අපිට රුපියල් විසිතිස් දාහකටත් එහා ගෙවන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වෙලාවක පොඩි වෙලාවක් කැප කරලා ඒක තියෙන තැනට ගිහින් බලලා ටෙස්ට් කරලා ගන්න එක කෝකටත් හොඳයි.

 

7. ඇක්සසරීස් අමතක නොකරමු

Image Source – dhgate.com

ෆෝන් එකක් ගන්නවා නම් චාජර් එක බොක්ස් එක දෙනවා නම් හෑන්ෆ්‍රී එහෙම, ලොකු කැමරාවක් ගන්නවා නම් ලැබෙන ලෙන්ස් ආදිය, කම්පියුටරයක් ගන්නවා නම් මවුස් කීබෝඩ් මොනිටර්, ලැප්ටොප් ගන්නවා නම් චාජර් එක වගේ ඒ ඒ බඩු බාහිරාදිය එක්ක එන ඇක්සසරීස් තියෙනවා. සමහර වෙලාවට ඇඩ් එකේ මේ ඔක්කොම තිබුණත් අපි ගන්න ගියාම චාජර් එක නැහැ. ඒ වගේ චාජර් ලෙන්ස් සහ ඒ ඒ බඩුවලට එන ඇක්සසරිස් එහෙම තියනවද කියලා කලින් අහලා බලන එක හොඳයි.

පාවිච්චි කරපු බඩුවක් ගන්නවා කියන්නේ ලැජ්ජාවක් හිතන්න දෙයක් නෙමෙයි. ඇමරිකාවේ පවා ලොකු පෝසතුන් පාවිච්චි කරන දේවල් දුප්පතුන්ට මිලදී ගන්නට සේල් තියෙනවා. ඉතාලිය වගේ රටවල ඒ විදියට පාවිච්චි කරපු බඩු විකුණන්න වෙනම වෙළඳපොලවල් පවා තියෙනවා. පාවිච්චි කළ බඩුවක් වුනත් හොඳට හොයලා බලලා ගත්තොත් කරදරයක් නැතිව කාලයක් පාවිච්චි කරන්නට හැකියාව ලැබෙනවා.

Cover Image Source – business-review.eu/ telegraph.co.uk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *