මේ පොත ලියන්නේ අහවල් කොට්ඨාසයටයි කියලා හංවඩු ගහන එක කරන්න බැරි දෙයක්. හැබැයි කතාවක් කියවාගෙන යද්දී මේක අහවල් කණ්ඩායමට වඩාත් සමීප කරගන්න පුළුවන් කියන අදහස හිතට එනවා. ලංකාවේ නවකතා ගැන කතා කරෝතින් එක එක සමාජ කණ්ඩායම්වලට ඒ විදියට සමීප කතන්දර ගොඩයි. ඒවා වයස් මට්ටමින් වගේම ස්ත්‍රී පුරුෂ කියන කාරණයෙනුත් එහෙමයි. ඒ විදියට ගැහැණු ළමයින් අනිවාර්යයෙන්ම කියවිය යුතුයි කියා සිතුණු නවකතා කීපයක් තමයි මේ.
1. සෙංකොට්ටන්
කතාව තියෙන්නේ නම් ඒ කාලේ තිබ්බ කුල ක්‍රමයෙන් පීඩාවට පත් වුණ අහිංසක ගැමි ජීවිතවල ඛේදාන්තය. නමුත් ඒ අතරින් පතරේ ගෑණු ළමයෙකුට ජීවිතය හදාගන්න උගන්වන පාඩම් බොහොමයි. එක අතකට බැලුවම පොඩිනා කියන චරිතය තමයි මේ කතාවේ කේන්ද්‍රීය චරිතය. ඇයගේ ජීවිතයට වෙන සන්තෑසිය ගැන ගෑණු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් දැනගෙන ඉන්න තරමටයි හොඳ. පොඩිනාට අමතරව මේ නවකතාවේ එක් එක් තැන්වල දී හමුවන වැඩිහිටි පාර්ශ්ව දෙන ඔවදන් දෙන්නේ ඒ කතාවේ චරිතවලට නෙවෙයි, පොත කියවන ඔබට. ලිව්වේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
2. වණ්ණදාසි
කාන්තාව කියන්නේ අභියෝග එක්ක ජීවිත කාලෙම හෙට්ටු වෙන්න වෙන කෙනෙක්ට. ඇයට අමා රන්බණ්ඩාරගේ කතාව කියවීම තරම් අත්පොතක් තවත් තියෙනවද? ලිංගික බලපෑම, පවුල් පසුබිම, ව්‍යවසායකත්වය කියන මේ හැමදේම එකට කැටි වුණ නවකතාවක් තමයි මේ. ඒ වගේ ම තමයි සමාජයේ විවිධ පුද්ගලයන් සමග කාන්තාව සම්බන්ධ වෙන ආකාරයත් බොහොම අපූරුවට මේ පොතේ සඳහන්. ලිව්වේ කත්‍යානා අමරසිංහ.
3. දුවකගේ කඳුළු
මේක ඇත්තට ම කෙටි තීරු ලිපිවල එකතුවක්. ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර මිනිසාගේ දියණිය වන රුචිරා සුරංගි ද අල්විස් තමයි මේ පොතේ හිමිකාරිය. මේ ලිපි කෙටි ම කෙටියි. ඒ වගේ ම සරලයි. දුවෙක්ට වඩාත්ම සමීප පුද්ගලයා තමයි තාත්තා. අන්න ඒ තාත්තා ගැන දුවෙක් ලියාපු නිකන් ම නිකන් ලිපි පෙළකට වඩා මේ පොත වැදගත් වෙන්නේ ඒ පුද්ගලයාගේ ඇති වැදගත්කම නිසයි. පොත කියවන් යනකොට සමහර තැන්වල දී ඇත්තටම ඔබටත් දුවෙක් විදියට කඳුළු උනන්න ඉඩ තියෙනවා මේ කියන්නේ ඔබේ තාත්තා ගැන නොවුණත්. පවුල් ජීවිතය තේරුම් ගනිමින් ජීවත් වෙන්න මිනිස්සුන්ට හැකි වුණා නම් දුවකගේ කඳුළු නමින් පොතක් පළ නොවෙන්නත් ඉඩ තිබුණා.
4. කන්දක් සේමා
නූපා! අපේ සමාජයේ නූපාලා ඇති ඕනි තරම්. හැබැයි එයාලා ගැන කියවන්න අපිට වෙලාවක් නෑ. ඒ නිසා ඒ හැමෝම වෙනුවෙන් නූපාගේ කතාව කියවන්න පුළුවන්. ගැහැණු ජීවිතය කියන්නේ මෙහෙමත් දුක් කන්දක් ද කියලා කතාව අවසානයේ හිතෙනවා. නූපාගේ ඒ දුක් කන්දරාවට අවසානයේ අලගු තියෙන්නේ අහිංසක ජීවිත දෙකක්. පිරිමින්ගේ ඉඳහිට මතුවන අවස්ථාවාදීකම හමුවේ නූපා විඳිනවා නොවිඳිය යුතු දුක්. අවසානයේ තමන්ට වඩා සෑහෙන වයසින් වැඩි මහල්ලෙක් සමග දීග යන්නෙත් ඒ දුකේ කෙළවරක් පතාගෙන ද? අන්තිමේ ජපන් රටේ ඈ පය ගහන්නේ සකුරා මල් අතුරපු පාවඩයක් උඩ ද? 2010 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලද මේ පොත ලියන්නේ සුමිත්‍රා රාහුබද්ධ.
5. අසනග වැසි
තවත් කඳුළු කතාවක්. බොහෝ අහිමිවීම් දරාගෙන කාන්තාව ජීවත් වෙන විදිය හිතාගන්නත් බැරි තරම්. ඒ ජීවය සෑම ගැහැණු ළමයෙක් ළඟ ම තිබිය යුත්තක්. අන්න ඒ නිසයි දර්ශනා ශම්මි විජේතිලකගේ අසනග වැසි ඔබ කියවිය යුත්තේ. කාන්තාව එක තැනක දී වීර්යය ගන්නවා බැඳීම්වලින් ඈත් වෙලා ඉන්න. නමුත් ආයෙත් ප්‍රාර්ථනා කරනවා ඒ බැඳීම ම සසර පුරාම. ආලත්ති අම්මත් කරේ ඒකයි. හැබැයි දුක හිතේ තියාගෙන ඈ දරාගන්නේ ඔබටත් ඒ ගුණය කියා දීලයි. ස්වර්ණ පුස්තකය හිමි විය යුතු ව තිබුණ පොතක්.
6. හැන්දෑව
ගොවි ජනපද කිව්වාම දැන් නම් අපිට ඒ තරම් සමීප නැහැ. නමුත් එදවස තිබුණ එහෙමත් ජනපදයක පුද්ගල භාව ප්‍රකාශය පිළිබඳ ලියැවුණු පොතක්. ඒ සියල්ලට වඩා දුක් කම්කටොළු ඉදිරියේ ගැහැණිය අපමණ චිත්ත වීර්යයෙන් ඒ සියල්ලට මුහුණ දෙන හැටි ගැන කියන පොතක්. ටිකිරි මැණිකා මේ තරම් හිත හයිය කරගෙන කොහොම ජීවත් වුණා ද? ශාන්ති දිසානායක ගැහැණිය ගැන මේ තරම් සංවේදී ව ලියුවේ කොහොම ද? මේ අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක්.
7. බැද්දේ කුලවමිය
කාන්තාව කියන්නේ මෙන්න මේ පුද්ගලයායි කියා රාමු කරපු සමාජයක දී චංචලා දේවීව හම්බ වෙනවා. විශේෂය වන්නේ එතන ඇති ගැමි සමාජයයි. දඩබ්බර කෙල්ලෙකුට ප්‍රේමයක තියා කිසිම තැනක පැවැත්මක් නැති ද? ජීවිතය තියෙන්නේ වෙන කාටවත් අවශ්‍ය විදියට විඳින්න නෙවෙයි, තමන්ට රහ විදියට විඳින්නයි. පවුල් ජීවිතවල, මනුෂ්‍ය ජීවිතවල ගූඪ ගතිය රූපා ශ්‍රියානි ඒකනායක මවනා විදිය හරි රහයි. අන් සියල්ලට වඩා ඈ අතින් නිමැවෙන චංචලා දේවී ඔබේ අත්තටු විදා පියාඹන්න අඬගහන චරිතයක්.
Cover Image Source – cancercarewest.ie
Leave a Reply