අනිත් අයටම බැන බැන බස්වල යන මිනිස්සු බස්වලදි කරන වැරදි

බස් කියන්නෙ පොදු මහජනතාව ගැවසෙන තැනක්. බස් එකේදි ඒ නිසා හොඳ වගේම නරකත් සිද්ධ වෙන්න පුළුවන්. අපි කතා කරලා තියෙනවා බස් එකේදි අපිට සිද්ධ වෙන්න පුළුවන් අවුල් ගැන. ඒ වුනත් අපේ අතිනුත් බස් එකක් ඇතුළෙදි සිද්ධ වෙන්න පුළුවන් අවුල් තියෙනවා. ඒ ගැන මගහරින්න හොඳ නෑ. මොකද අපි මුලින්ම අපේ අතින් සිද්ධ වෙන අවුල් වළක්වාගත්තොත් අපිට බස් රථයකදී මුහුණ දෙන්න සිද්ධ වෙන අවුල් බොහෝමයක් ඒ එක්කම නැති වෙලා යාවි. මේ කියන්න යන්නෙ අපි සහ අපි වගේම අනිත් මිනිස්සු අතින් බස් රථයක් ඇතුළෙදි සිද්ධ වෙන වැරදි දේ ගැනයි.

 

1. කක්කුට්ටා, ඉබ්බා, කැස්බෑවා

Image Source – yamu.lk

මේ නම් තුන කිවුවම කට්ටිය දන්නවා මේ කියන්න යන්නෙ අපි අතරෙ ඉන්න ටිකට් එකට හොර කරලා බස් ගමන යන අය ගැන විත්තිය. ටිකට් එකට හොර කරන්න ඉඩ තියෙන ප්‍රධානම විදි 3 ගැන තමයි මේ කියන්නෙ. කක්කුට්ටා කියන්නෙ මැද දුරකට ටිකට් අරගෙන ඊට වඩා දුරක් ගමන් කරන අයට. 154 බස් එකකනම් බොරැල්ලට ටිකට් අරගෙන කිරිබත්ගොඩට යන අය. ඊළඟට ඉන්නෙ ඉබ්බො. ඉබ්බො කියන අය මැද දුරකටවත් ටිකට් ගන්නෙ නෑ. මෙහෙම අයත් කක්කුට්ටො තරමටම සුලබයි. නිදි වගේ ඉන්නවා, ඉස්සරහ ඉන්න කෙනෙක්ව පෙන්නලා ටිකට් ගනියි කියල කියනව වගේ බොරු තමයි එයාලා කරන්නෙ. ඊළඟට ඉන්නෙ කැස්බෑවො. මේ අය නං ටිකක් දුලබයි. මේ අය ටිකට් ගන්නෙ නෑ මදිවට බහිද්දි කොන්දොස්තර මහත්තයගෙන් ඉතුරු සල්ලිත් ඉල්ලගෙනයි බහින්නෙ. ඉතිං මෙහෙම වැරදි කර කර බස් සේවයේ නොදියුණුවට බනින එකත් වැරදියි.

 

2. අතරමග

Image Source – journalnow.com

බස් එක යන අතරමග නැවැත්තුවොත් බස් එකේ වාඩි වෙලා ඉන්න මිනිස්සු කොන්දොස්තර මහත්තයාටයි ඩ්‍රයිවර් මහත්තයාටයි පළු යන්න බනිනවා. හැබැයි දොර ගාව හිටගෙන ඉන්න මනුස්සයා බස් හෝල්ට් අතරමැද තමුන්ට ඕන තැනින් බස් එක නැවැත්තුවෙ නැත්තං මූණ ඇඹුල් කරගන්නවා. බස් එකේ වාඩි වෙලා ඉඳගෙන බැනපු මහත්තුරු සහ නෝනලාත් ඈතින් බස් එකක් එනවා දැක්කම බස් හෝල්ට් එක ගාවට නොගිහින් අතරමැදින්ම අත දාලා බස් එකට නගිනවා. එයාලට බස් එක නවත්තද්දි හොඳ වුනාට අනිත් අය වෙනුවෙන් බස් එක නැවැත්තුවොත් එයාලට මළ පනිනවා.

 

3. සීට් ඩැමේජ්

Image Source – youtube.com

මේ කියන්න යන්නෙ නං දෙයක් දිහා බලාගෙන ඉන්න බැරි වඳුරො රැලක් ගැනයි. බස්වල සීට් වගේම අත පය වදින බස් එකේ ඕනම තැනක මොනවාහරි කුරුටු ගාන්න වගේ​ම හූරලා දාන්න මේ අයට පුදුම ආසාවක් තියෙන්නෙ. මේ ආසාව නිසාම මේ අයගෙ අතින් සිද්ධ වෙන දේවල් මේ අයගෙන් පස්සෙ ​බස් එකට නගින වඳුරු ප්‍රජාව ඉදිරියටත් කරගෙන යනවා. ඒ අයගෙන් ඇයි ඔය සීට් එක ඉරන්නෙ කියල ඇහුවොත් කියන්නෙ, කලිනුත් ඉරලනෙ තිබ්බෙ කියලයි. අන්න ඒ විදියෙ හේතු දක්වලා ඒ අය කරන වැඩ කිසිසේත්ම අනුමත කරන්න බෑ වගේම, මෙයින් අපහසුතාවයට පත්වෙන ආයෙත් ඒ ඉරිච්ච සීට්වලම වාඩි වෙලා යන්න සිද්ධ වෙන අපිත් පවු කියන එක මතකෙ තියාගන්න ඕන.

 

4. ගැබිනි

Image Source – youtube.com

ගර්භනී කාන්තාවන්ට වෙන් කරපු අසුනක් බස් රථයක තියෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ගර්භනී කාන්තාවකට බස් රථයක හිටගෙන ගමන් කිරීමට අමාරු වීම. ඒ වගේම ඇය තවත් ජීවිතයක් ඇය තුළ දරාගෙන සිටීම. හැබැයි අපේ අයියලා වගේම අක්කලා මේ ගැබිනි මවුවරුන්ට වෙන් කරපු බස් අසුනේත් ගැබිනි මවුවරු දැකදැකම වාඩි වෙලා යනවා. එයාලා හිතනවා එයාලා නිදි වගේ ඉන්න නිසා වෙනිං කෙනෙක් ගැබිනි මවකට ඒ අසුන පිරිනමාවි කියලා. කොහොමවුනත් පහු නොකර අසුන මොකක් වුනත් ගැබිනි මවකට පිරිනමන්න ඕන තමයි. හැබැයි එහෙමයි කියල ඒ වැරැද්ද කරන කෙනාව මගඅරින එක හොඳ මදියි. මොකද එතකොට එයාලා ඕක පුරුද්දකට කරනවානෙ.

 

5. වැඩි ඉඩ

Image Source – youtube.com

​මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ පිරිමි පාර්ශවය අතින්. බස් එකකට නැග්ගම ඒ අයට සිතේ දරාගත්තු එක් ප්‍රධාන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි ගැහැණු ළමයෙකු අසලින් වාඩි වෙන එක. මේ විදියට ගෑණු ළමයෙක් අසලින් වාඩි වුනාම කරන හරිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි මේ විදියට වාඩි වෙන්න එයාලා කරන්නෙ දෙන්නෙක් වාඩි වෙන සීට් එකේ බෑග් තියලා ඉඩ හරස් කරගෙන යන එක. මේ ඉඩ තවත් කෙනෙකුට වාඩි වෙන්න පුළුවන් විදියට අඩු කරගන්නෙ එයාලගෙ හිතට හරියන ගෑණු කෙනෙක් දැක්කොත් විතරයි. පිරිමි කට්ටියටම දොස් කිවුවට සමහර ගෑණු උදවියත් බෑග් මළු හරස් කරගෙන දෙන්නෙකුගෙ ඉඩ අහුරගෙන යන වෙලාවල් තියෙනවා.

 

6. කරදර

Image Source – blog.tortugabackpacks.com

ඔයාත් නොදැනුවත්ව හෝ තවත් මනුස්සයෙකුට කරදරයක් වෙන ​විදියට ගිහින් තියෙනවද කියලා නිකමටවත් හිතන්න. ඉදිරියේදිවත් ඒ විදියෙ කරදරයක් නොවෙන්නත් වගබලාගන්න. බෑග් එක කරේ දාගෙන එහා මෙහා හැරෙද්දි ඒක වැදිලා අපහසුතාවයට පත්වෙන මිනිස්සු ගැන හිතන්න. බස් එකේ දෙපැත්තෙ උඩ බෑග් දාන්න තියලා තියෙන ඉඩට වඩා ලොකු බෑග් එතන දාලා අහක බලාගෙන යන එකත් බොහෝදෙනෙක් අතින් සිද්ධ වෙන වැරදි වැඩක්. එක් මොහොතකින් ඒ බෑගය වැටෙන්නේ එතන යට අසුනේ සිටි කෙනෙකුගේ හිස මතට විය හැකියි. වැස්ස වෙලාවක බසයට ගොඩවුනාම කුඩයෙන් වතුර තවත් කෙනෙකුගේ ඇඟට පතිත නොවෙන විදියට රඳවාගැනීම ගැනත් ගොඩක් දෙනෙක් හිතන්නෙ නැහැ.

 

7. සීට් හොරු

Image Source – blog.tortugabackpacks.com

ඉඳගන්න කොතරම් උවමනාව තිබුනත් ඔයානම් කවදාවත් මේ වගේ වෙන්න එපා. මේ කියන්න යන්නෙ සීට් හොරු ගැන. පොඩි ළමයි ඉඳගෙන ඉන්න තැන්වලට තමයි මේ සීට් හොරු වැඩිපුරම එබෙන්නෙ. මුලින්ම පොඩ්ඩකට ඉඩ ඉල්ලනවා. බස් හෝල්ට් එකක් යද්දි මෙයාලා මුළු ඇඟම එතනට ඔබ්බගෙන ඉවරයි. ඒ වගේම තරුණ පිරිමි ඉන්න තැන්වලට ඇවිත් වයස්ගත ගැහැණු අයත් කරන්නෙ මේ දේමයි. ඉතිං ගොඩක් පිරිමි ඉඩ දීලා නැගිටලා යනවා. මේ විදියෙ වැරදි පවු කියලා අනුමත කරන්න පුළුවන් වැරදි නෙමෙයි. ඇත්තටම අපහසුතාවයක් නිසා වාඩි වෙලා යන්න අවශ්‍යයිනම් කියලා සීට් එකක් ඉල්ලගන්න එක වෙනම දෙයක්. මේ විදියට හොරකම් කරන එක නම් කිසිසේත්ම යුතු නැහැ.

Cover Image Source – videoblocks.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *