මෑතකදී පතළ වී නිවී ගිය අදෘෂමාන බලවේග ඒජන්තවරුන්

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා, කෙටිකතා කියවන විට එකල, 1940 ගණන් වලද අපේ රටේ ජනයා තොවිල් පවිල්, යන්ත්‍ර මන්තර වෙනුවෙන් සිය ධනය නාස්ති කරගත් බව පැහැදිලි වේ. එදා සිට වසර 70ක් ගෙවී ගොස් අද වනවිට අලුත් වී ඇත්තේ යන්තර මන්තර, ගුරුකම් හාස්කම් කරන අයට අන්තර්ජාලය හමු වීම පමණකි. අදද ලාංකික මිනිස්සු ඇසට නොපෙනන නොයෙක් හාස්කම් වෙනුවෙන් අමාරුවෙන් හරිහම්බ කරගත් තුට්ටු දෙක වියදම් කරති. එකක් යනවිට එකක් වශයෙන් මේ යන්ත්‍ර මන්තර, ගුප්ත විද්‍යා, අවතාර විවිධ වේශයෙන් පැමිණේ. මෑත ඉතිහාසයේ ජනප්‍රිය වූ එවැනි අදෘෂමාන බලවේග වලින් ගොඩගිය කිහිප දෙනෙකු ගැන අපි සොයා බලමු.

 

1. රාගම සීයලා

Image Source – lankaenews.com

රාගම ලොකු සීයා ඝාතනය වුණත් තවමත් රාගම පොඩි සීයා, චූටි සීයා යනුවෙන් ශාන්තිකර්ම කරන දෙදෙනෙක් ඉන්නවා. ඒ රාගම ලොකු සීයාගේ පුතුන් දෙදෙනායි. රාගම දේවාලය එකල මහත් හාස්කම් ඇති තැනක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ වුණා. පොඩි ලොකු සීයලා කියල හැඳින්වුනත් මෙයාලා මුස්ලිම් සම්භවයක් සහිත අය. තමන්ට යම් යම් මාර්ගවලින් මහත් ගුප්ත බලයක් ලැබුනාය කියල කියන මේ අය ඒ ආනුභාවයෙන් දේවාලයක්ද පවත්වාගෙන යනවා. විදෙස්ගත අයගේ පවා අණවිණ, දොස් දුරු කරපු ලොකු සීයා ඒ හරහා විශාල මුදලක් හරි හම්බකරගන්නටද සමත් වුණා. රටේ ප්‍රභූවරුන්ගේද අණවිණ, කොඩිවින දුරු කරපු ලොකු සීයාට එයාගේ ඉරණම නම් කලින් පෙනුනේ නැහැ. අදටත් ලොකු සීයාගේ මරණය අභිරහසක්.

 

2. වාලම්පුරි කීර්ති

Image Source – youtube.com

ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නිතර පෙනී හිටපු කීර්ති මහත්තයා පෙනුමට ජාතික ඇඳුම ඇඳගත් හොඳ උපාසකයෙක්. ඒ වැඩසටහන බලාන හිටියාම “හත් දෙයියනේ අපිට වාලම්පුරියක් නැති නිසාද මේම වුනේ” කියලා හිතෙනවා. නමෝ නාරායන කියන වාලම්පුරි වික්ක කීර්ති උන්නැහේ නියම වාලම්පුරි නැතුව ෆේක් ඒවා වික්කා කියල තමයි ඔහුට අවසානයේ චෝදනා එල්ලවෙලා තිබුනේ. එක්තරා බෙල්ලො ජාතියක් ඉන්නවා, උන්ගේ කටුව තමයි වාලම්පුරි වශයෙන් අපිට වෙරළෙන් ඇහිඳගන්න ලැබෙන්නේ. ඉතින් එහෙම වෙරළෙන් අපිට ලැබෙනවා කියන්නෙම ඒ සතාට අත්වෙලා තියෙන්නෙ මරණයක්. මරණයට පත් සතෙකුගෙන් එන වාලම්පුරියකින් අපිට සෙතක් සාන්තියක් වෙයිද? කොහොම වුනත් විශ්වාසය කියන්නේ තර්ක බුද්ධිය එක්කම ගොඩ නැගෙන දෙයක් නෙමෙයි. වාලම්පුරිය ගැන තියෙන අතීත මතයට තව ටිකක් පෝර දාල මොඩිෆයි කරපු කීර්ති මහත්තයාට අවසානම අවස්ථාව වෙනකල්ම වැරදුනේ නම් නැහැ. ඒ සමහර විට එයා ගාව වාලම්පුරි ගොඩක් තිබ්බ නිසා වෙන්නට ඇති.

 

3. ආසිරි වනිගරත්න සමග ෆෙන්ෂුයි

Image Source – youtube.com

90 දශකය අගභාගයේදී සන්ෆ්ලවර් සමග ගායකයින් රැසක් ගීත ගායනා කළා. සැබැවින්ම සන්ෆ්ලවර් නිසා ගායකයින්ගේ ඇල්බම අලෙවි වුනාද, නැතිනම් ගායකයින් නිසා සන්ෆ්ලවර්ස්ලාගේ අලෙවිය වැඩිවුනාද කියල හරියටම කියන්නට අපහසුයි. ආසිරි වනිගරත්න සහ ෆෙන්ෂුයි අතර ඇත්තේද එවැනි බැඳීමක්. ආසිරි ළඟ ඇත්තේ ෆෙන්ෂුයි සහ ෆෙන්ෂුයි අයිතම පමණක්ම නෙවෙයි. ඔහු ගාව ගණ දෙවියන්, විෂ්ණු දෙවියන් පවා ෂේප් කරගත හැකි මහානුභාවසම්පන්න ක්‍රම සහ විධිත් තියනවා. එසේම උවමනා නම් ඕනාම දෙවියෙක් විනාඩි ගණනාවකදී ආකර්ෂණය කරගන්නටද ක්‍රමවේද ආසිරි සතුව තියනවා. අප රටේ සාමාන්‍ය ජනයා විවිධ දෙවියන් කෙරේ දක්වන විශ්වාසයන් තමුන්ගේ වාසියට කරකවා ගන්නට ආසිරි සහ ෆෙන්ෂුයි සමත් වුණා.

 

4. ගාල්තැන්නේ කපුවා

Image Source – youtube.com

ස්වර්ණවාහිනී නාලිකාවේ සෝමා එදිරිසිංහ මැතිනියගේ කාලයේ ගාල්තැන්නේ කපුවා ජනප්‍රිය චරිතයක් වුණා. උඩුකය නිරුවතින් රත්‍රන් පැළඳගෙන එන ගාල්තැන්න කපුවාගේ වැඩ කිඩ එකල ස්වර්ණාවාහිනියෙ නිතර විකාශනය වුණා. නමින් ගාමිණී ආනන්ද වන මේ කපු මහතා යන එන විට පැළඳගෙන සිටි රත්රන් වල බර කිලෝ පහක් පමණ වෙතැයි කියවුණා. ගාල්තැන්න කපු මහතා දෙවියන් පෙන්වා මුදල් ගත්තත්, ඒවායේ ආදායම් බදු ගෙවන්නට තරමක් අදි මදි කළා. ඒ නිසා ඔහුට ලක්ෂ 48ක ආදායම් බදු පැහැර හැරීම සම්බන්ධව පැමිණිල්ලක්ද තිබුණා. දෙවියන්ගෙන් වැඩ ගත් අයෙකු වුවත් ගාල්තැන්නේ කපුවාට එරෙහිව මාධ්‍ය වාර්තා පළ වූ කල ඔහු ඒ මාධ්‍ය වලට විරුද්ධව සරණ සොයා ගියේ අධිකරණය වෙතයි. සිය ගාල්තැන්න දේවගැති කීර්තිනාමයට අපහාස කළා යැයි ඔහු කිහිප වතාවක්ම අධිකරණයේ නඩු ගොනු කොට තිබුණා.

 

5. ගංගා මෑණියෝ

Image Source – srilankamirror.com

ලංකාවේ ඉහළ පෙළේ දේශපාලකයින්ද නිතර දෙවියන්ගේ ආශිර්වාදය සහ නොපෙනෙන බලවේග වල ආශිර්වාදය බලාපොරොත්තු වන පිරිසක්. රටේ ඉහළම මට්ටමේ උදවියට ලංකාවේ ඈත ගම් වල දුක්විඳින ජනයාගේ සුවදුක් විචාරීම ආදිය මග හැරුනත්, ඔවුන් ඉන්දියාවේ ඇති තිරුපති දේවාලය මිස් කරගන්නේ නැත. ගංගා මෑණියෝද පසුගිය කාලයේ ජනප්‍රිය වූ චරිතයකි. ඇය හමුවට එන පිරිස එළියේ වාඩි වී සිටිය යුතු වුණා. ඇය දේව ආරූඪයෙන් සුදුසු යැයි රෙකමදාරු කරන අය පමණක් ඇතුළට ගෙන ආශිර්වාද කටයුතු කළා. ගංගා මෑණියන් වරක් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුටද ආශිර්වාද ටිකක් දී මැච් එකක් දෙකක් දිනාගන්නට සහයෝගය ලබා දුන්නා. එහෙත් ඉතා අඩු දක්ෂතා දක්වන අපේ ක්‍රිකට් කණඩායමට සහාය දීම දෙවියන්ටත් මදක් අපහසු කාරණාවක්. මෑණියන් පුද පූජා තබා අමාරුවෙන් ෂේප් කළ දෙවියන්ද ක්‍රිකට් කණ්ඩායම හැර යන්නට ඇති. ගංගා මෑණියෝ තවමත් විශ්වාස කරන්නන් අතර ප්‍රබල චරිතයක්.

 

6. දොළුකන්දේ හාමුදුරුවෝ

Image Source – dailycrazygossip.blogspot.com

දොළුකන්දේ හාමුදුරුවෝ එක්තරා කලක ලංකාවේ වැඩිම පිරිසක් බණ පිරිත් අහන්නට ගිය හාමුදුරු නමක්. දොළුකන්ද වනය ආසන්නයේ අසපුවක සිටි දොළුකන්දේ ස්වාමීන්වහන්සේට කරඬුවක් ලැබී තිබුණා. ඔහු එය ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට දුන් පසු ජනාධිපතිතුමා එය විකුණාගත් බව හාමුදුරුවෝ කියා තිබුණා. එහෙත් එවැනි කරඬුවක් ගැන කිසිදු වාර්තාවක් කිසිවෙක් සතුව තිබුණේ නෑ. පිරිත් බලයෙන් ලෙඩ සුව කරන පිරිත් පැන් නිකුත් කරන්නට ස්වාමීන්වහන්සේ ක්‍රියාකළා. ඔහුගේ දොළුකන්ද සිද්ධස්ථානයට ගිය බැතිමත්තු තමන්ගේ කණ කර ආභරණ ආදිය ස්වාමීන්වහන්සේගේ විහාර කර්මාන්ත පිණිස පරිත්‍යාග කළා. ටික දවසකින් සත්‍ය හෙළි වුනා. වනාන්තරය අනවසරයෙන් එළි කිරීමේ වරදට ස්වාමීන්වහන්සේට නීතිය හමුවට යන්නට සිද්ධ වුණා. ඒ එක්කම ගමේ පංසල වේලෙද්දි, ආශීර්වාද පැන් සොයා කිලෝමීටර සිය ගණන් ගෙවා දොළුකන්දට ගිය ජන ගඟද නැවතුණා.

 

7. මාතර දේවාලයේ බුද්ධික පතිරණ කපුවානෝ

Image Source – asianmirror.lk

බුද්ධික පතිරණ කියන්නේ උගතෙක්. ඔහු කාලයක් වෛද්‍ය විද්‍යාව හදාරන්නටද යොමු වූ අයෙක්. ඔහු උගත් නිවේදකයෙක් ලෙසද ජනප්‍රිය වුණා. ඔහු මාතර පළාතේ කතරගම දේවාලයක් අල්ලාගෙන විභාගයට යන දරුවන්ට ආශිර්වාද පූජා පැවැත්වීමක් ගැන පසුගිය කාලයේ වාර්තා වුණා. තමුන් අදහන ආගම විභාගයට පෙර සිහිකර යෑම සාමාන්‍යයෙන් ලංකාවේ කෙරෙන දෙයක්. ඒත් මහා පරිමාණයෙන් විභාග ආශිර්වාද පූජා පැවැත්වීම සංදර්ශනයක්. ඒකෙන් විභාගයට යන්නට සිටින දරුවන්ගේ මනස සංසුන් වෙනවාට වඩා වෙනමම විකාරයකට පැය කිහිපයක් නාස්ති වීමක් පමණයි සිද්ධ වෙන්නේ. කොහොම වුනත් රටේ බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවිය යුතුයැයි සමාජ කතිකාවක් ඇතිවී තිබෙන කාලයක බුද්ධික පතිරණ දේව පූජා හරහා බුද්ධියට නිගාදෙන වැඩක නිරත වුණා.

අහසින් යන යන්තර, මේ කොනේ සිට ලෝකයේ එහා කොණට කතා කරන යන්තර, නොයෙක් ලෙඩ රෝග සොයාගන්නා යන්තර ආදී ලෝකයේ මිනිසාට වැඩදායී මහානුභාවසම්පන්න, ප්‍රයෝජනවත් හාස්කම් සියල්ලම පාහේ දියුණු මිනිසුන්ගේ දක්ෂකම්ය. නොපෙනෙන බලවේග නොපෙනී කුසීතව සිටිද්දී දියුණු මිනිසා ලෝකය වෙනස් කළා. එහෙත් තවමත් අපේ පිරිසක් පැරණි ගෝත්‍රික ලෝකයෙන් එළියට බැසීමට අකමැතිව කුමකට හෝ වැඳුම් පිදුම් කරමින් ඉන්නවා. තමුන්ගේ ජීවිතය හැඩගස්වාගැනීම අදෘෂමාන උප කොන්ත්‍රාත්කරුවන්ට බාර දීමට බලාගෙන ඉන්නවා. ඒවාටම සැදී පැහැදී සිටින ඒජන්තයෝ විටින් විට බිහිවෙමින් මිනිසුන්ගේ අන්ධ භක්තියේ උපකාරයෙන් මිලියන ගණන් හරිහම්බ කරගන්නවා.

Cover Image Source – youtube.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *