කරාබුනැටි කියන්නෙ පුරාණ හෙළයේ භාවිතා කළ ඖෂධ අතරේ ඇති වැදගත්ම දෙයක්. එය වැඩි වශයෙන් මුඛ සෞඛ්‍යය වෙනුවෙන් භාවිතා කළත් කරාබුනැටි දියවැඩියා තත්ත්ව පාලනයට, මේදය ආශ්රිත රෝග පාලනයට, නියුමෝනියා තත්ත්ව වගේම කුරුලෑ ඇතිවීම වැනි දේ වෙනුවෙනුත් ඖෂධයක් ලෙසින් භාවිතා වී තිබීම සුවිශේෂයි. මේ සුවිශේෂත්වය නිසාම කරාබුනැටිවල ඉතිහාසය වගේම පුරාණ ගැමියන් කරාබුනැටි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවාගන්නට භාවිතා කළ අන්දම සහ වර්තමානයේ කරාබුනැටිවල උපයෝගීතාවය සසඳන සටහනක් තබන්නට ගන්නා උත්සාහයක් තමයි මේ.
1. සොයාගැනීම
අටවැනි සියවසේදී කරාබුනැටි ප්‍රධානම වෙළඳ භාණ්ඩයක් ලෙසින් ප්‍රචලිත වීමටත් බොහෝ කාලයකට, එනම් වසර 2000කට පමණ පෙර චීනයේ හන් අධිරාජ්‍යයාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ඉන්දුනීසියාවෙන් කරාබුනැටි මිලදීගත් බවට වූ වාර්තා පවතිනවා. එසේම ක්‍රිස්තු පූර්ව 200 පමණ කාලයේ මිනිසුන් සිය මුඛයේ දුගඳ නැති කිරීමට මුඛයේ නිතරම කරාබුනැට්ටක් රඳවාගෙන සිටි බවට වූ සටහන් පවතිනවා. ඉන්දුනීසියාවෙන් සොයාගන්නා ලද කරාබුනැටිවලට පසුකාලීනව යුද්ධ පවා ඇති වුණු වග සඳහන් වන අතර එය ඒ කාලයේ වෙළඳ භාණ්ඩයක් ලෙසින් කරාබුනැටිවලට තිබූ වැදගත්කම සඳහන් කරන සාධකයක් ලෙසින් දැක්විය හැකියි.
2. උපයෝගීතාවය
මුලින් පැවසූ පරිදි බොහෝ මිනිසුන් තම නායකයා මුණගැසෙන අවස්ථාවලදී තමන් තුළ ප්‍රසන්න බවක් තබාගැනීමට සහ මුඛයේ දුගඳින් නායකයා අසතුටු නොකිරීමට තම මුඛයේ කරාබුනැටි රඳවාගෙන සිටි බව පැවසෙනවා. ඒ වගේම අතීත පර්සියානුවන් ආදරය දිනාගැනීම වෙනුවෙන් පානය කරන ඉනා බෙහෙතක් වෙනුවෙන්ද කරාබුනැටි භාවිතා කර ඇති වග පැවසෙනවා. එය විද්‍යාත්මක වශයෙන්ද පැහැදිලි කළ හැක්කේ කරාබුනැටි මගින් මුඛයේ දුඟද නැතිවී, හිසෙහි ඇති අවහිරතා මගහැර ප්‍රසන්න බවක් ඇති කරවන නිසායි. මුඛ සෞඛ්‍ය, ආහාර දිරවීම වගේම හිසරදය වැනි රෝග තත්ත්ව වෙනුවෙන් කරාබුනැටි ඖෂධයක් ලෙසින් භාවිතා කළ වග වෛද්‍ය විද්‍යාව වඩා උසස් ලෙසින් භාවිතා කළ පුරාණ චීනයේ සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වෙයි.
3. පුරාණයේ සිට එදිනෙදා සෞඛ්‍යයට
Clove යනු වර්තමානයේ කරාබුනැටි හැඳින්වීමට ඉංග්‍රීසියෙන් භාවිතා කරන නාමයයි. ප්‍රංශ භාෂාවෙන් ඇණ හඳුන්වන වචනය වන්නේ Clou යන්නයි. ඇණයක හැඩය ගන්නා නිසා මෙම ඖෂධයට එම නම ලැබීමේ පුදුමයකුත් නැහැ. කෙසේ වුවත් ආහාර ජීර්ණය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඒ කාලයේ සිටම කරාබුනැටි භාවිතා කර ඇති බව කියැවෙනවා. ඒ වගේම දද, කුෂ්ට, මැලේරියා සහ කොලරා වැනි පුරාණ කාලයේ වැඩිපුරම මිනිසුන් අතරේ පැතිර ගිය රෝග වෙනුවෙන්ද කරාබුනැටි යොදාගෙන තිබෙනවා. ඒ වගේම කැස්ස වැනි තත්ත්ව පාලනයට එකල තේ සමග කරාබුනැට්ටක් එක්කර පානයට දී තිබෙනවා. මාංශපේශී වේදනාවන්ටද ප්‍රතිකාරයක් ලෙසින් කරාබුනැටි තෙල් එක්කරගෙන ඇති බව පැවසෙනවා.
4. මුඛ සෞඛ්‍යයේ උන්නතියට
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සහ උතුරු ඉන්දියාව ආදී ප්‍රදේශවල කරාබුනැටි ප්‍රධානම කුළුබඩුවක් ලෙසින් භාවිතා කරතත් සියළු ඖෂධීය ගුණ අතරින් කරාබුනැටි භාවිතා කරන්නේ මුඛ සෞඛ්‍යයේ උන්නතිය වෙනුවෙන් වීම සුවිශේෂයි. කරාබුනැටි වල සුවිශේෂතා ලෙසින් ගත් කළ මුඛය සම්බන්ධයෙන් බොහෝදෙනෙකු මුහුණ දෙන ගැටලුවලට සියළු පිළිතුරු තනි කරාබුනැට්ටක අඩංගු බව දැකිය හැකියි. ඒ බොහෝදෙනෙකුගේ සිනහව වළකාලන හේතුවක් වන දත්වල අවපැහැ දුරුකිරීම, බොහෝදෙනෙකුට එදිනෙදා වැඩකටයුතු අතිශය අපහසු කරවන දත්වල වේදනාව නැති කිරීම, පෞරුෂත්වයටද ප්‍රධාන බලපෑමක් කරන මුඛයේ දුගඳ නැති කිරීම, සීතල හෝ උෂ්ණාධික ආහාර ගන්නා විට සිදුවන දත් හිරිවැටී යාම අවම කිරීම වැනි සියළු දේ කරාබුනැටි මගින් සිදුකරනවා.
5. කරාබුනැටි උපයෝගිතාවයේ වර්තමානය
කරාබුනැටි වර්තමානයේදීත් කුළුබඩුවක් ලෙසින් සේම මුඛ සෞඛ්‍යය ඉහළ නංවන්නක් ලෙසින් භාවිතා කෙරෙනවා. ඒ අතරින් ප්‍රධාන ලෙස දන්තාලේප සහ මවුත්වොෂ් දැක්විය හැකියි. මවුත්වොෂ් මගින් ඔබේ මුඛයේ දුර්ගන්ධයට ඒ මොහොතට බලපැවැත්වෙන තාවකාලික විසඳුමක් ලබාදුන්නද කරාබුනැටි සාරය අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීම දීර්ඝ කාලීන විසඳුමක් සේම එවැනි අර්බුද හට නොගැනීමටත් හේතුවක් වණු ඇත. විශේෂයෙන්ම කරාබුනැටිවල සාරය වැඩි වශයෙන් උකහාගන්නා පරිදි තෙල් ලෙසින් සිඳ යොදාගන්නා දන්තාලේපයක් වඩා යෝග්‍ය බව දැක්විය හැකියි. එය කාර්යබහුල දිවියක් ගෙවෙන වර්තමාන කාලයේ කරාබුනැටි තෙල් සෘජුව භාවිතා කිරීමේ ප්‍රායෝගික නොවන බව මගහරවන ක්රමවේදයකි.
Leave a Reply