ධර්මපාලතුමා සහ ඕල්කොට්තුමා අතර ගැටුම

අනගාරික ධර්මපාලතුමා සහ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා කියන්නේ අපේ රටේ අතිශයින් ගෞරවාදරයට පත්වුණු ජාතික වීරයන් දෙදෙනෙක්. අනාගාරික ධර්මපාලතුමා නිදාගෙන හිටපු අපේ රටේ මිනිස්සුන්ව අවදි කරමින්, වේගවත් කතා පවත්වමින් රටපුරා සංචාරය කළා. ඒ වගේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විදිහට සැලකෙන බුද්ධගයාව හින්දුන්ගේ ග්‍රහණයෙන් මුදාගන්න සමත් වුණා. හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා ගත්තොත් පරම විඥානාර්ථ සමාගම හරහා ආනන්ද විද්‍යාලය ඇතුළු බෞද්ධ පාසල් විශාල ගණනාවක් ඇති කිරීමට කටයුතු කළා. නමුත් වැඩි දෙනෙක් නොදන්නවා වුණාට ධර්මපාලතුමා සහ ඕල්කට්තුමා අතර මතගැටුම් ඇතිවෙලා තියෙනවා. මේ සටහන ඒ මතගැටුම් ගැනයි. ඒ වගේම තවත් දෙයක් අවධාරණය කරන්නම ඕන. මේ මත ගැටුම ගැන අපි කතා කරන්නේ ඔබේ දැනුමට පමණයි. ඒ වගේම එකම අරමුණකට යන දෙදෙනෙක් අතර වුණත් මේ වගේ මත ගැටුම් ඇතිවීම මිනිසුන් විදිහට ස්වභාවික තත්ත්වයක්. මේ වගේ සුළු සුළු ප්‍රශ්න තිබ්බත් මේ දෙදෙනාම ලංකාවට සිද්ධ කරපු සේවය නම් අමරණීයයි.

 

1. දොන් ඩේවිඩ් දරුවා ඕල්කොට්තුමා පිළිබඳ පැහැදෙයි

Image Source – paramadhammachetiya.org

1873 කියන්නේ අපේ රටේ බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වර්ෂයක්. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ පානදුරා වාදයේදී මිෂනාරී බලවේග පරාජය කරමින් විශිෂ්ට දේශනා කීපයක් සිදු කරනු ලැබුවා. මේ වාදය රටපුරා බෞද්ධයන්ට පුනර්ජීවනයක් දෙන්න සමත් වුණා. විශාල බෞද්ධ ප්‍රභූවරුන් පිරිසක් මේ වාදය නරඹන්න පැමිණියා. මේ අවස්‍ථාවට තමන්ගේ පියා එක්ක දස හැවිරිදි ළමයෙක් පැමිණියා. ඒ වෙලේ ඒ ළමයා තමන් සහභාගී වුණේ තමන්ගේ රටේ බෞද්ධයන්ගේ වගේම තමන්ගේ ජීවිතෙත් සුවිශාල වෙනස්කමක් ඇති කරන සිද්ධියකට කියලා හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති. ඒ මෙන්න මේ විදිහට,

පානදුරාවාදයේ ජයග්‍රාහී රාවය ලංකාවෙන් විතරක් නැවතුණේ නෑ. පුවත්පත්වලින් මුහුද තරණය කරලා ඇමරිකා එක්සත් ජනපදයටත් ගියා. මේ ගැන දැනගන්න ලැබුණු පෙරදිග දර්ශනය ගැන අධ්‍යනය කරන්න පිහිටවපු Theosophical Society (පරම විඥානාර්ථ සංගමය) පානදුරාවාදය ගැන විශේෂ අවධානයක් යොමු කළා. ඒ අනුව ඒ සංගමේ ආරම්භකයන් වුණු කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සහ හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනිය ලංකාවට එන්න තීරණය කළා. ඔවුන් දෙදෙනා ලංකාවට පැමිනුණු අවස්ථාවේ සුබ පතන්නත් දොන් ඩේවිඩ්  සහභාගී වුණා. මේ ළමයා ඕල්කොට්තුමා ඇතුළු පරම විඥානාර්ථ සංගමයෙන් පල කරපු ලිපි ලේඛන ආසාවෙන් කියවන්න පටන් ගත්තා.

 

2. දොන් ඩේවිඩ් තරුණයා නිවසේ අකමැත්ත මැද ඉන්දියාවට යයි

Image Source – upclosed.com

මේ විදිහට පරම විඥානාර්ථ සංගමයෙන් පල කරපු සියලුම පතපොත දිගින් දිගටම අධ්‍යනය කරපු ඩේවිඩ් 1884දී පරම විඥානාර්ථ සංගමයේ සාමාජිකයෙක් බවට පත්වුණා. මේ තරුණයා ගැන අතිශයින් පැහැදිලා හිටපු බ්ලැවැට්ස්කි මැතිනිය සහ ඕල්කට්තුමා පරම විඥානාර්ථ සංගමයේ මූලස්ථානය පිහිටලා තියෙන මදුරාසියට ඇවිත් තමන්ගේ වැඩකටයුතුවලට උදව් කරන්න කියලා ඉල්ලීමක් කළා. මේ ගැන ආරංචි වුණාම ඩේවිඩ්ගේ ගෙදරින් එල්ල වුණේ විශාල විරෝධයක්. ඒ වගේම ඩේවිඩ්ගේ පවුලේ ළඟම භික්ෂුන්වහන්සේ වගේම රටේම ප්‍රබල ස්වාමීන්වහන්සේ නමක් වුණු හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවොත් මේ ගමනට විරෝධය පළ කළා.

ඒත් ඒ අවස්ථාවේදී බ්ලැවැට්ස්කි මැතිනිය මැදිහත් වෙලා සුමංගල හාමුදුරුවෝ සහ ඩේවිඩ්ගේ දෙමව්පියන්ගේ විරෝධය සමනය කරන්න කටයුතු කළා.

 

3. ඩේවිඩ් තරුණයා පරමවිඥානාර්ථ සංගමය තුළ වැඩකටයුතු අරඹයි

Image Source – ccis.cmb.ac.lk

පරමවිඥානාර්ථ සංගමය ගුප්ත විද්‍යාවන් පිළිබඳව යම් යම් අධ්‍යනයන් කරමින් සිටි කාලයක තමයි ඩේවිඩ් තරුණයා ඒ සංගමයේ මූලස්ථානයට යන්නේ. නමුත් බ්ලැවැට්ස්කි මැතිනිය එක් දූරදර්ශී තීරණයක් අරන් ඩේවිඩ් තරුණයට අවවාදයක් දෙනවා. ඒ තමයි ගුප්ත විද්‍යාවන් අධ්‍යනය කිරීමෙන් වැලකිලා පාලි භාෂාව ඉගෙන ගන්න කියලා සහ මිනිස්සුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න කියලා. බ්ලැවැට්ස්කි මැතිනිය දුන්නු ගුරුහරුකම් නිසා සහ තමන්ව දරුවෙක් විදිහට රැකබලාගත්ත නිසා ඩේවිඩ් ඇයට අතිශයින් ආදරය කරනවා. 1891දී ඇය මිය ගියාම ඩේවිඩ් තමන්ගේ දිනපොතේ ඇය ගැන සංවේදී සටහනක් තබනවා.

 

4. ධර්මපාලතුමා ඕල්කොට්තුමා සමග බෞද්ධ කටයුතුවල නිරත වෙයි

Image Source – pinterest.de

මේ කාලේ වෙද්දි දොන් ඩේවිඩ් තරුණයා පරගැති නම අත් ඇරලා ධර්මපාල කියන නම පාවිච්චි කරන්න පටන් අරන්. ඒ වගේම බුදු සසුන වෙනුවෙන් ජීවිතය කැප කරන්න අනගාරික වෙන්නත් තීරණය කරලා. 1886 ඕල්කට්තුමා එක්ක ධර්මපාලතුමා ලංකාව වටා බුදු දහමේ සහ පරම විඥානාර්ථ සංගමයේ දියුණුව උදෙසා දේශනා පවත්වමින් ගමන් කරනවා. ඒ වගේම බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නත් සුවිශේෂී මැදිහත්වීමක් කරනවා.

1891දී මහාබෝධි සමාගම ආරම්භ කරන්නත් ධර්මපාලතුමාට ඕල්කට්තුමා සහාය ලබාදෙනවා. 1893 ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැත්වුණු ආගම් පිළිබඳව සම්මේලනය සඳහා ධර්මපාලතුමාව යැවීමට අවශ්‍ය පහසුකම් සපයන්නෙත් ඕල්කට්තුමා විසින්.

 

5. ඕල්කට්තුමා සමග ගැටුම් ඇරඹෙයි

Image Source – wikipedia.org

මහාබෝධි සංගමය ආරම්භ කරන්න ඕල්කට්තුමා මූලික දායකත්වයක් දැක්වුවත් බුද්ධගයාව නිදහස් කරගන්න ධර්මපාලතුමා දැඩිලෙස මැදිහත් වීම ඕල්කට්තුමා අනුමත කරන්නේ නෑ. ඔහුගේ අදහස වෙන්නේ ලොව වටා බුද්ධාගම ප්‍රචාරය කරන්න ධර්මපාලතුමා වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා. මේ ගැන විවිධ විවාද දෙන්නා අතර ඇතිවෙනවා.

 

6. ඕල්කට් සමග පැවති මිතුදම ධර්මපාලතුමා අවසන් කරයි

Image Source – .imdb.com

මේ කාලය වෙනකොට ධර්මපාලතුමා වැඩි වශයෙන් බුද්ධගයාවේ සහ කල්කටාවේ වැඩකටයුතු කරමින් හිටියේ. එක් අවස්ථාවක එතුමා ලංකාවට එන්න පිටත් වෙන ගමන් ඕල්කට්තුමාව මුණ ගැහෙන්න මදුරාසියට යනවා. ඕල්කට්තුමාගේ නවාතැනේදී  ධර්මපාලතුමා දකින දෙයකින් ඔහු අතිශයින් කම්පාවට පත් වෙනවා. ඒ තමයි ලංකාවේ බෞද්ධයින් ඕල්කට්තුමාට පූජා වස්තුවක් විදිහට දීලා තිබ්බ දළදා වහන්සේගේ ආකෘතියක් කිසිම ගරු සරුවක් නැති විදිහට දාලා තියෙනවා. මේකෙන් අතිශය කෝපයට පත්වෙන ධර්මපාලතුමා ඕල්කට්තුමාට බැණ වදිනවා. මේ ගැටුම දුරදිග යාමත් එක්ක ඕල්කට්තුමා මහාබෝධි සංගමයෙනුත්, ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමයෙනුත් ඉවත් වෙනවා. ඒ වගේම වසර විස්සකටත් වඩා අධික කාලයක මිතුරුකමත් අවසාන වෙනවා.

 

7. ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි

Image Source – microeconomicinsights.org

මේත් එක්කම ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමයේ මූලික බලාපොරොත්තුත් ප්‍රශ්න කරන්න ගන්නවා. පරම විඥානාර්ථ සංගමය තුළ බුද්ධාගමට ලැබෙන ස්ථානය ගැන නැවතත් හිතන්න කියලා ලංකාවේ පරම විඥානාර්ථ සාමාජිකයන්ට ධර්මපාලතුමා කියනවා. ඒ වගේම සංගමයේ නමත් වෙනස් විය යුතුයි කියලා යෝජනාවක් ගේනවා. මේ යෝජනාවට සංගමයේ සාමාජිකයෝ විරුද්ධ වීමත් එක්කම ධර්මපාලතුමා ප්‍රසිද්ධියේ ඒ සංගමය විවේචනය කරන්න ගන්නවා. ඇතැම් අය කියන විදිහට “සිංහල බෞද්ධයා” පුවත්පත ආරම්භ කරන්නත් හේතුවෙන්නේ මේ මත ගැටුම.

මේ මොන මත ගැටුම් තිබ්බත් ධර්මපාලතුමා සහ ඕල්කට්තුමා අපේ රටට කරපු සේවය අති විශිෂ්ටයි කියන එකට නම් අපි හැමෝටම එකඟ වෙන්න වෙනවා. ඒ සේවය ගැන ඔබේ අදහස්වලට අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉඩකඩ තියෙනවා. මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා

Cover Image Source – smjohn.com

 

zvr
Your Reaction

Comments