සමහර වෙලාවට වෙඩින් එකක් කිවුවහම අපිට මාරම ආතල්. සමහර වෙලාවට සමහර වෙඩින් වලට අපිට ආරාධනා කරන්න එනකොට ගෙවල් වල දොරවල් වහගෙන හැංගිලා ඉන්න හිතෙනවා. විශේෂයෙන්ම එක මාසේ වෙඩින් දෙක තුන වැටෙනකොට කතා කරලා වැඩක් නෑ! හැබැයි ඉතින් වෙඩිමකට ආසාවෙන් ගියත්, යන්න ඕනම හින්දා වෙන කරන්න දෙයක් නැතුවට ගියත්, හරි විදියට පිළිපදින්න ඕන මැනර්ස් තියෙනවා. ඒවා ගොඩක් දෙනෙක් නොහිතන දේවල්. ඒත් මේ මැනර්ස් පිළිපැදීම වෙඩින් එකකට යනවා නම් අනිවාර්යයි!
1. වෙඩින් එකට එන්නැද්ද ඔයා?
ඔය සමහර වෙඩින් කාඩ්වල ගහනවා RSVP කියලා නොම්බරයක්. ඒ කියන්නේ එනවද නැද්ද කියලා කලින් කෝල් එකක් දීලා කියපං කියන එක. හැබැයි ගොඩක් දෙනෙක් කරන්නේ වෙඩිමට යන්නෙ නැත්තං, යනවාමයි වගේ ඉඳලා ෂේප් එකේ මග අරිනවා. අන්න ඒක හොඳ නෑ. මොකද අපි වෙඩිමට එනවා කියන උපකල්පනය මත අපිට වෙඩින් එකේ තැනක් වෙන් කරලා තියෙන්නේ. සමහර වෙලාවට වෙන අයව ලිස්ට් එකෙන් කපලා දාලා වෙන්න පුළුවන් අපිව ගෙන්නන්න හදන්නේ. අන්න ඒ නිසා වෙඩිමට යන්න බැරි නම් කරුණාකරලා හැකි ඉක්මනින් දන්වන්න. යනවා නම් ඒත් දන්වන එක වඩාත් සුදුසුයි ඉතින්. කාඩ් එකේ RSVP කියලා ගහලා නොතිබුණත් කතා කරලා එන නේන වග කියන එක හොඳයි.
2. මායි, එයයි, චූටි කුකූයි ඔක්කොම යං!
දැන් කාලේ වෙඩිමක් ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. හොටෙල් එකට ගෙවන්නෙත් එන ගෙස්ට්ලා ගාණට. ඒ හින්දම වෙඩින් එකකට ගෙස්ට් ලිස්ට් එක හදන්න වෙලා තියෙන්නේ බොහොම පරිස්සමෙන්, කිරලා මැනලා තමයි. ආන්න ඒ නිසා කරුණාකරලා බලන්න වෙඩින් කාඩ් එක. කාඩ් එකේ ගහලා තියෙන්නේ තමන්ගේ නම විතරද? එහෙමනම් වෙන කාවවත් එක්කගෙන යන්න ලැහැස්ති වෙන්න එපා. මිස්ටර් ඇන්ඩ් මිසිස් අහවලා කියලා තිබුණොත් ඔන්න දෙන්නත් එක්ක යන්න පුළුවන්. මිස්ටර් අහවලාට සහ පවුලේ සැමට කියලා ගහලා තිබ්බා නං ඔන්න පවුල් පිටින් වෙඩිමට යන එක අවුලක් නෑ. හැබැයි එහෙම වුනත් අපි දෙන්නයි, ළමයි තුන් දෙනයි, නැන්දම්මයි, මාමණ්ඩියි, උඩහ ගෙදර නංගියි, නංගිගේ මනුස්සයයි, මනුස්සයගේ පුංචියි ඔය ඔක්කොම වෙඩිමට දක්කගෙන යන්න හදන්න එපා.
3. බුෆේ එක වහන්න කලින් ගියොත් ඇති!
දැන් ඔය චර්ච් වෙඩින් එකක් එහෙම නම්, කෝවිල් වෙඩින් එකක් එහෙම නම් අනිවාර්යයෙන්ම හරි වෙලාවට යන්න ඕන. එතකොට පෝරුවේ සෙරමනි වලටත් එක්කම ආරාධනා කරලා තියෙනවා නම්, ඒ කියන්නේ පෝරුවේ සෙරමනි අහවල් වෙලාවට කියලා කාඩ් එකේම ගහලා තියෙනවා නම් ඒත් හරි වෙලාවට යන්න ඕන. එහෙම නැතුව වෙඩින් ෆන්ෂන් එකට නම් ඉතින් හවස 6 සිට කියලා කාඩ් එකේ ගැහුවහම සාමාන්‍යයෙන් අපි වැඩේ පටන් ගන්න පැයක් දීලා හතට විතරනේ යන්නේ. ඒක ලොකු අවුලක් නෑ. හැබැයි ඉතින් හවස 6 සිට කියලා ගහපු වෙඩින් කාඩ් එකක් අරගෙන රෑ දහයට බුෆේ එක වහන්න කලින් කියලා වෙඩිමට යන්න එපා. ඊට හොඳයි ගෙදරම ඉන්න එක. සාමාන්‍ය රීතිය විදියට කිවුවොත් හැකි තාක් කලින් යන්න කියලා තමයි කියන්න තියෙන්නේ!
4. මේ ඔය මනමාලිද? කොහොමද හොටෙල් එකට එන්නේ?
මේ ගොඩක් දෙනෙක් මොට්ට කම නිසාම කරන වැරැද්දක්. දැන් අපි හිතමු අපේ යාලුවා එක්කෝ මනමාලයා නැතිනම් මනමාලි. පෝරුවේ සෙරමනි පටන් ගන්න පැය කාලයි තියෙන්නේ. ඔන්න අපි කෝල් කරනවා යාලුවාට, ඒ කිව්වේ මනමාලයාට හරි මනමාලිට හරි. කෝල් කරලා බැරි වෙලාවත් ෆෝන් එක ආන්සර් කළොත් අහනවා හොටෙල් එකට එන පාර. කුජීතයි නේද පිංවත! විවාහයක් කියන්නේ නිකං උපන්දින සැමරුමක් වගේ එකක් නෙවෙයි. සෑහෙන්න විශාල වැඩක්. ගොඩක් වෙලාවට ජීවිතේටම එක පාරයි වෙඩිමක් ගන්නේ. ඉතින් එහෙම බරපතල, බැරෑරුම් වැඩක් කරන අස්සේ අපිට වෙඩිමට එන පාර කියන්න වෙලාව තියෙයි කියලා හිතනවද ඒ අයට? හොඳම දේ තමයි වෙඩින් එකට කලින්, ඒ කියන්නේ කාඩ් එක දුන්න ගමන් එන යන විදි අහලා තියාගන්න එක. ඒ නැතත් දැන් ඉන්ටර්නෙට් යුගේ පාරවල් අහන්න කෝල් දෙන එක මොන ලැජ්ජාවක්ද ඒයි!
5. සම්මා සම්බුද්ධ ඥාණේන…ට්‍රීං ට්‍රීං, හෙලෝ කවුද කතා කරන්නේ?
මේ දවස් වල බොහොම සුලභව සිද්ධ වෙන වැරැද්දක් තමයි මේ. වෙඩිමට ගිහින් පෝරුවේ චාරිත්‍ර සිද්ධ වෙන වෙලාවේ හරි පල්ලියේ චාරිත්‍ර සිද්ධ වෙන වෙලාවේ හරි ෆෝන් එක සයිලන්ට් නොකර තියාගෙන ඉන්න එක. සමහරුන්ගේ ස්මාට්ෆෝන් මංගල පෝරුවේ අෂ්ටක කියන අස්සේ ෆුල් වොලියුම් එකෙන් රින්ග් වෙනවා විතරක් නෙවෙයි, ඉන් පස්සේ අදාළ හාදයා ෆෝන් එකට ආන්සර් කරලා මහ හයියෙන් කතා කරනවත් එක්ක. ඒවා කැතයි. කරුණාකරලා වෙඩින් එකකට යනකොට ෆෝන් සයිලන්ට් කරන්න පුරුදු වෙන්න.
6. මං ආපු එක තමයි හොඳම තෑග්ග!
මේක ටිකක් සංකීර්ණ කතන්දරයක්. දැන් කාලේ වෙඩිමක් ගන්න එක ඉඩකඩම් උගස් තියලා කරන්න ඕන වැඩක්නේ. ලොකු සීන් පෙන්නන්න ඕන නිසා සරලව චාමෙට වෙඩින් එකක් ගන්න කැමතිත් නෑ. හැබැයි ආපු එවුන්ගෙන් වෙඩිමට ගියපු වියදමෙන් බාගයක්වත් කවර් කරගන්නත් ඕන. ඒ නිසා සමහරු වෙඩින් කාඩ් එක දෙන ගමන් කතාවට ගිහින් ප්ලේට් එකක ගාණත් කියලා දානවා. එතකොට අපි ඒ ඉඟිය තේරුම් අරගෙන අඩු තරමේ ප්ලේට් එකේ ගාණවත් ලියුම් කවරෙක දාලා වෙඩිමට ගිහින් අත මිට මොළවලා එන්න ඕන. හැබැයි ඉතින් ලියුම් කවර දෙන්න ඕනැමයි කියලා දෙයක් නෑ. තෑග්ගක් දුන්නත් අවුලක් නෑ. ඒ තෑග්ග තමන්ට තීරණය කරන්න පුළුවන්. බැරිවෙලාවත් අපිට තෑග්ගක් දෙන්න බැරි නම්, ලියුම් කවර දෙන්නත් බැරි නම්, අඩු තරමේ ‘බෙස්ට් ඔෆ් ලක්’ කාඩ් එකක් හරි ඒ වගේ සුබ පතන කාඩ් එකක් හරි වත් දෙන්න. ඒක තමයි යහපත් ආචාර විධිය!
7. මම මනමාලිව දන්නේ සූටි සන්දියේ ඉඳලම තමා!
දැන් වෙඩින් එකක් අවසාන වෙන්න ළං වෙනකොට මංගල සභාවක් තිබුණනේ ඉස්සර. දැනුත් එහෙම මංගල සභාවක් කියලා එකක්ම නැතත්, පොඩි පහේ කතාවක් දෙකක් තියෙනවා. දැන් සමහර අංකල්ලා ඉන්නවා, දෙකක් දාගෙන එහෙම ඉන්න වෙලාවේ හිතෙනවා තමන්ටත් කතාවක් කරන්න. බලෙන්ම පැනලා මයික් එකත් අල්ලගෙන ඔන්න දැන් කියවනවා මනමාලිව පුංචි සන්දියේ පිප්පි කියල හිප්පි කරපු හැටියි, චූ රෙදි මාරු කරපු හැටියි අනං මනං විකාර තොගයක්. ආන්න ඒක බොහෝම කැතයි. තමන්ට කතාවක් කරන්න ඕන නම් වෙඩිමට කලින් ඒ ගැන දැනුම් දෙන්න ඕන. හැබැයි කතාව කරන්න ලැබෙන්නේ මංගල්ලේ සංවිධායකයෝ – ඒ කිව්වේ මනාල යුවල සහ අම්මලා තාත්තලා ඇතුලු අය- කැමති නම් විතරයි. එහෙම නැතුව බලෙන් පැනලා කතා කරන්න බෑ. අනික කතාවක් ලැබුණත්, කතා කරන්නේ මොනවා ගැනද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. හිතට එන හැම කුණු කතාවක්ම මංගල සභාවේ කියන්න බෑ. සමහරු පොඩි ජෝක් කෑල්ලක් දාන්න ඕන කියලා හිතලා, මංගල යුවල හනිමූන් ගිහිල්ලා අද කරන්නේ මොනවද කියන එක ගැන දෙපැත්ත කැපෙන කතන්දර කියනවා. ආන්න ඒවත් හරිම කැතයි කියලා මතක තියාගන්ඩෝනෑ!
මීට අමතරව ඉතින් බුෆේ එකේ වළං පෙරළගෙන නොකන එක, බාර් එක හිඳෙන කල් බොන එක, එහෙම කුදාර් වෙන්න ගහලා මගුල් ගෙදර පිස්සු නටන එක, ඩාන්ස් ෆ්ලෝ එකට ගිහිල්ලා ඩාන්ස් ෆ්ලෝ එක එකම විකාරයක් කරන එක, මංගල යුවළට අනවශ්‍ය රැග් දෙන්න යන එක එහෙමත් ආචාර ධාර්මික නෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙමනම් මේ විදියේ අප්සට් දේවල් කරන අප්සට් ජොකියෙක් නොවී, වෙඩිමට ගිහින් ආතල් එකේ කාලා, බීලා, සතුටු වෙලා, කකුල් දෙකෙන් එන්න ලැබේවා!
Leave a Reply