මතකයෙන් අමතකව ගිය 1843 කැරැල්ල

ලංකාවේ අවසාන ස්වාධීන රාජධානිය වුණු උඩරට රාජධානිය 1815දී අපේ රදලයෝ එකතු වෙලා ඉංග්‍රීසින්ට පාවාදෙනවා.ඒ වගේම අවසාන රජතුමාව ඉන්දියාවට පිටුවහල් කරනවා. 1815 උඩරට යටත් වෙන්නේ ගිවිසුමක් කියලා කොළ කෑල්ලක් අත්සන් කරලා. මේ ගිවිසුම කොළ කෑල්ලක් කියලා රදලයෝ අත්සන් කරන වෙලාවේ තේරුම් ගන්නේ නෑ. තේරුම් යන්න අවුරුදු දෙක තුනක් යනවා.1818 ඌවෙන් පටන් අරන් මුලු උඩරට පුරාවට ලැව් ගින්නක් වගේ මහ කැරැල්ල පැතිරිලා යනවා. ඒත් සුපුරුදු විදිහට රදලයන්ගේ අසමගිකම් නිසා කැරැල්ල පැරදෙනවා. ආපහු අපි දන්නේ 1848දී පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වගේ අය එකතු වෙලා ඇති කරපු 1848 කැරැල්ල ගැන. ඒකත් අසාර්ථක වෙනවා. ඒත් අපි වැඩි දෙනෙක් නොදන්නවා වුණාට 1842 ඉඳන් 1843 දක්වා කාලය තුළ උඩරට කැරැල්ලක් ඇතිවෙලා තියෙනවා. මේ කැරැල්ල ගැන අපේ සාමාන්‍ය ඉතිහාස පොත්වල නෑ. ඒ නිසා අපේ මතකයෙන් අමතක වෙලා ගිය මේ 1842 කැරැල්ල, එහෙමත් නැත්නම් වලපනේ කැරැල්ල ගැනයි මේ සටහන.

 

1. කැරැල්ලට නායකත්වය දෙන බෙන්තොට උන්නාන්සේ

Image Source – artmajeur.com

මේ උඩරට ප්‍රදේශයේ කැරැල්ලට නායකත්වය දෙන්නේ පහතරටින් ගිය පුද්ගලයෙක්. ඒ වගේම සිවුරු ඇරපු කෙනෙක්. ඔහුගේ මුල් නම කොලොන්න අප්පුහාමිලාගේ දොන් ෆ්ලෝරිස් ඩී සිල්වා ගුණරත්න. විවාහයකුත් කරගන්න ඔහු ගිහි ජීවිතය ගැන කලකිරිලා මහණ වෙනවා. මහණ වෙලා ඉද්දි ඔහුට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඥාති වෙන කුමාරයෙක් මුණ ගැහෙනවා. මේ කුමාරයාට ලංකාවෙන් පිටවෙලා ඉන්දියාවේ තන්ජෝරයට යන්න මේ සාමණේර හාමුදුරුවෝ උදව් කරනවා. පස්සේ මේ සාමණේර හාමුදුරුවෝ උපසම්පදාත් වෙනවා. පස්සේ ටික දවසකින් සිවුරු අරින හාමුදුරුවෝ කිතු දහම වැලැඳ ගන්නවා. හැබැයි ඊටත් පස්සේ ආපහු භික්ෂුවක් බවට පත්වෙනවා. මේ විදිහට කිතු දහම වැළඳ ගන්නත්, ආපහු පැවිදි වෙන්නත් බලපාපු හේතු මොනවද කියලා නම් පැහැදිලි නෑ. ඒත් බොහෝ විට කැරැල්ල සඳහා සූදානම් වෙන්න අවශ්‍ය වෙන තොරතුරු රැස් කරන්නත් වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. මොකද ඒ දවස්වල සිවුරු ඇරලා කිතු දහම වැළඳ ගන්න අයට බ්‍රිතාන්‍ය රජය මහ ඉහළින් සලකලා තියෙනවා.

 

2. කැරැල්ලේ සැලැස්ම

Image Source – literature50.wordpress.com

මූලික අදියරේදි කැරැල්ලේ සැලැස්ම වෙලා තියෙන්නේ මාතලේ, හාරිස්පත්තුව සහ තුම්පනෙන් දහ දාහක විතර පිරිසක් එක් රැස් කරලා බදුල්ල නගරය අත්පත් කරගන්න එක. ඊට පස්සේ උඩු නුවර සහ යටි නුවර ප්‍රදේශවල ජනතාව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරැලි ගහන්න පටන් ගන්නවා. තැපැල් දුම්රිය සේවාව අඩාල කරලා උඩරට ප්‍රදේශ සහ කොළඹ අතර තියෙන සන්නිවේදනය අඩාල කරනවා. ඊට පස්සේ මහනුවර නගරය අත් පත් කරගෙන කොළඹට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. සමහර සටහන් අනුව මේ කැරැල්ල සැලැස්ම හදන්නේ බෙන්තොට උන්නාන්සේ නෙමෙයි, උන්වහන්සේගේ යාළු හිමි නමක් වුණු මොරගොල්ලේ උන්නාන්සේ.

 

3. කැරැල්ලට ලක ලෑස්ති වුණු ආකාරය

Image Source – aagiyakatha.blogspot.com

මොරගොල්ලේ උන්නාන්සේ එක්ක බෙන්තොට උන්නාන්සේ තමන් ඇති කරන්න යන කැරැල්ලට සහයෝගය ගන්න මුලු උඩරට පුරාවට සංචාරය කරන්න ගත්තා. දුම්බර, හේවාහැට, සතර කෝරළේ, සත් කෝරළේ ජනතාව, රදල ප්‍රධානීන් සහ හාමුදුරුවෝ තමන්ගේ පැත්තට නම්මවගන්න බෙන්තොට උන්නාන්සේට හැකියාව ලැබුණා. ඒ වගේම තමන් උඩරට රජ විදිහට ප්‍රකාශයට පත් කළා. මේත් එක්කම කැරැලි මානසිකත්වය නිසා කෝපි වතුවල වැඩ කරපු මිනිස්සු වැඩට එන එක ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට අයිතිව තිබ්බ රාජකීය සළුපිළි වගයකුත් ආරක්ෂා කරගෙන හිටිය හිටපු නිලමක්කාරයෙක් ඒවා අලුත් රජ්ජුරුවන්ට බාර දුන්නා.

 

4. කැරැලිකරුවන් අත්අඩංගුවට ගැනීම

Image Source – dunhindauva.blogspot.com

මේ සිහසුනට උරුමකම් කියාගෙන රට වටා සැරිසරන පුද්ගලයා ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට  දැනගන්න ලැබුණා. ඒ නිසා මැලේ සෙබළුන් යොදාගෙන මේ උරුමක්කාරයාව (බෙන්තොට උන්නාන්සේ) අත්අඩංගුවට ගන්නවා. මේත් එක්කම කැරැල්ලට සහභාගී  වෙන්න හිටපු පිරිසක් අධෛර්යයට පත් වෙනවා. නමුත් මේ නොසන්සුන් බව උඩරට පුරාවට පැතිරෙනවා. මේ කාලය ඇතුළෙදි බ්‍රිතාන්‍යයන්ට බෙන්තොට උන්නාන්සේට විරුද්ධව කටයුතු කරන්න අවශ්‍ය තරම් සාක්කි ලැබෙන්නේ නෑ. මේ නිසා ඔහුව නිදහස් කරන්න තීරණය කරනවා. මේ නිසා බෙන්තොට උන්නාන්සේට තවත් අවස්ථාවක් හම්බවෙනවා බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කටයුතු කරන්න.

 

5. කැරැල්ල නැවත ඇරඹෙයි

Image Source – sbs.com.au

හිරගෙයින් නිදහස් වුණු බෙන්තොට උන්නාන්සේ නුවරඑළිය ප්‍රදේශයට යනවා. නුවර එළියෙදි පහතරට කෙනෙක් බෙන්තොට උන්නාන්සේ කැරැලිකාරයෙක් විදිහට අඳුනගන්නවා. මේ නිසා නුවර එළියෙන් ඉවත් වෙන බෙන්තොට උන්නාන්සේ හපුතලේ ප්‍රදේශයට යනවා. ඊට පස්සේ බදුල්ලට යන බෙන්තොට උන්නාන්සේ ඒ නගරයේ ආරක්ෂාවට ඉන්න මැලේ සෙබළුන්ව අල්ලස් ලබාදීලා තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කරනවා. ඒ වගේම වෙඩි බෙහෙත් සෑදීම වගේ දේවල් අධීක්ෂණය කිරීම සිද්ධ කරනවා.

මේ අතරතුරේදී බදුල්ලට එල්ල කරන්න යන ප්‍රහාරය ගැන ආණ්ඩුව සැක හිතයි කියලා හිතන බෙන්තොට උන්නාන්සේ නුවරඑළියට මුල් ප්‍රහාරය එල්ල කරන්න හිතනවා. නමුත් තද වැසි එක්ක මේ සැලැස්ම ව්‍යර්ථ වෙනවා. මේ සිදුවීමෙන් පසුබට නොවුණු බෙන්තොට උන්නාන්සේ නැවත කැරැල්ල ආරම්භ කරන්න උත්සාහ කළත් සාර්ථක වෙන්නේ නෑ.

 

6. කැරැලි නායකයන් අත්අඩංගුවට ගැනීම සහ කැරැල්ලේ අවසානය

Image Source – dinamina.lk

මේ වෙනකොට කැරැල්ලට සහයෝගය දැක්වුවා කියන චෝදනාව උඩ ප්‍රකට නායකයෙක් වුණු ගලගොඩ දිසාවේව බ්‍රිතාන්‍යයන් අත්අඩංගුවට ගන්නවා. (නමුත් ගලගොඩ දිසාව කැරැල්ලට සම්බන්ධයි කියන්න ඍජු සාක්කි නම් ලැබෙන්නේ නෑ). මේත් එක්කම කැරැල්ලට සහයෝගය දක්වපු පිරිස ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා. මේත් එක්කම බෙන්තොට උන්නාන්සේව අත්අඩංගුවට ගන්න බ්‍රිතාන්‍යයන් ඔහුට එරෙහිව නඩු පවරනව. බ්‍රිතාන්‍ය රැජිනට එරෙහිව කුමන්ත්‍රණය කිරීමට වැරදිකරු බවට තීරණය කරන ඔහුට මරණීය දණ්ඩනය නියම වුණත් එය බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට ලිහිල් කරනවා.

 

7. කැරැල්ල අසාර්ථක වෙන්න හේතු

Image Source – 24newslanka.com

1843 කැරැල්ලත් අසාර්ථක වෙන්න බලපාන්නේ 1818 සහ පස්සේ කාලෙක ඇතිවුණු 1848 කැරැලි අසාර්ථක වෙන්න බලපාපු හේතුම තමයි. ප්‍රධාන වශයෙන් බෙන්තොට උන්නාන්සේ කියන්නේ රජු විදිහට පෙනී හිටියත් රාජ උරුමයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒ වගේම 1818 කැරැල්ල මර්දනයේදී විඳින්න වුණු පීඩා මිනිස්සුන්ගේ මතකයේ තිබ්බා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය තරම් ආයුධ සිංහල පාර්ශවයට තිබිලා නෑ. මේ කැරැල්ල සාර්ථක කරගන්න අවමය තුවක්කු 20,000ක් විතර අවශ්‍ය වුණත් තුවක්කු රැස් කරගන්න හම්බ වෙන්නේ 500ක් විතරයි. ඒ වගේම කැරැල්ලට ප්‍රධාන පෙළේ කිසිම නායකයෙක් සහභාගී නොවීමත් ගලගොඩ දිසාවේ වගේ නායකයෙක් අත්අඩංගුවට ගැනීමත් වගේ දේවල් නිසා කැරැල්ලට සහභාගී වෙන්න මිනිස්සු අධෛර්යයට පත් වුණා.

 

මේ ලිපිය ගැන ඔබේ අදහස් සඳහා කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි.ඒ වගේම ඉතිහාසයේ මේ වගේ අප්‍රකට දේවල් ගැන සංවාදයක් ගොඩ නැගෙනවා නම් අපි ඒක ඉතාම අගය කරනවා.

zvr
Your Reaction

Comments