පිරිතට, දන්සැලට, දානෙට නොවරදින ඒ ගැඹුරු කටහඬ, මොහිදීන් බෙග්ගේ වගතුග

ලංකාවේ මොහිදීන් බෙග්ගේ කටහඬ නම් නෑසුන කනක් සොයාගන්නට නැතිය. ෆෝන් එකෙන්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඇසුනේ නැතත් බෞද්ධ කටයුතු වලදී බෙග්ගේ බැති ගී සඟවාලන්නට නොහැකිය. ගීත 5000කටත් වඩා ගායනා කොට අදටත් පවතින ජනප්‍රිය ගී සිය ගණනක් මොහිදීන් බෙග් ලාංකික ගීත ක්ෂේත්‍රයට දායක කොට ඇත. ඔහුගේ ගැඹුරු හඬ අද අප වෙත එන්නේ ඔහුගේ පුතණුවන් වෙතිනි. ජෝති හැරුණු කළ වැඩිපුරම මහජනයාගේ තුඩ තුඩ රැව්දුන් නාදයක් වේ නම් ඒ බෙග්ගේ ගැඹුරු නාදයමය. ඉතින් අපි බෙග් ගැන කරුණු කාරණා ටිකක් බලමු නේද?

 

1. පොලිසියේ ගායකයා

Image Source – youtube.com

බෙග් මුලින්ම කරළියට එන්නේ පොලිසිය තුළිනි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ පොලිස් සේවයට ඇතුළත් වූ බෙග් මුල් කාලයේදීම පොලිසියේ උත්සව අවස්ථාවලට ගායකයෙකු ලෙස සම්බන්ධ විය. එම කාලයේ ගවුස් මාස්ටර්ගේ නොමද සහයෝගය මොහිදීන් බෙග් වෙත ලැබුණි. ඉන්පසු කොළඹ නගර ආශ්‍රිත ප්‍රභූ නිවාසවලද ගායන කටයුතු වලට බෙග් සහභාගි විය. ඒ අතර බෙග්ට හින්දි තනුවලට සැදුණු සිංහල ගී ගයන්නැයි ඉල්ලීමක්ද විය. එයද දක්ෂ ලෙස ඉටුකිරීමට බෙග් සමත් විය. මොහිදීන් බෙග්ගේ පළමු ගීතය, “කරුණා මූදේ නාමු ගිලීලා -ප්‍රේම මනෝහර ගීත ගයාලා” යන හින්දි තනුවකට හැදුණු සිංහල ගීතය විය.

 

2. බෙග් කවුද?

Image Source – alamy.com

බෙග්ලාගේ මුතුන් මිත්තෝ පර්සියාවේ සිට පැමිණ නූතන පාකිස්ථාන සීමාවේ පදිංචි වූ අයවලුන් විය. දැන් පාකිස්ථානය ලෙස වෙන් වී තිබුනද එකල එම පළාත බ්‍රිතාන්‍ය ඉන්දියාවට (British India) අයිති විය. එම ජනයා දැනටත් පාර්සි ජනයා ලෙස හඳුන්වති. ලොව ජනප්‍රියතම පොප් බෑන්ඩ් එකක් වූ ක්වීන් හි ෆ්‍රෙඩී මර්කරිද පාර්සි ජාතිකයෙකි. ෆ්‍රෙඩීට උප්පත්තියෙන්ම සුවිශේෂ ගායන හැකියාවක් වූ බව පර්යේෂණාත්මකව තහවුරු කර තිබුණි. බෙග් යන වචනයේ මුල් තේරුම රාජකීයයා යන්නයි. මොහිදීන් බෙග් මදුරාසියේ සේල්ම නුවර සිට ලංකාවේ පොලිස් සේවයට පැමිණියත් බෙග්වරු ප්‍රතාපවත් අතීතයක් තිබූ අයවලුන් බව එයින් පැහැදිලිවේ.

 

3. ගීයෙන්ම පුරවැසිකම ගැනීම

Image Source – youtube.com

1931 දී ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ බොදු බැති ගී ගයමින් සිටියද 1956 දක්වා බෙග් මාස්ටර්ට පුරවැසිකම නොලැබුණි. 1956 දී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් බෙග් මාස්ටර් “දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබළේවා ලංකා“ නමින් ගීතයක් ගායනා කළේය. ඒ නිසා එවකට ලංකාවේ අගමැති වූ බණ්ඩාරනායක ශ්‍රිමතාණෝ මැදිහත් වී බෙග්ට ලංකා පුරවැසිකම ලබා දුනි. 1987 වර්ෂයේ පාකිස්ථානයේ අගමැති සියා උල් හක් ලංකාවට පැමිණියේය. එහිදී එවකට ලංකා අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ඇරයුමින් මොහිදීන් බෙග් උර්දු ගීයක් ගායනා කළේය. එම ගීතයට වශී වූ පාකිස්ථාන අගමැති ශියා උල් හක් බෙග්ට පාකිස්ථාන පුරවැසිකම දෙන්නට ආරාධනා කළේය. එහෙත් බෙග් එය ප්‍රතික්ෂේප කොට ලංකාවේ වාසය කිරීමට තීරණය කළේය.

 

4. බොදු බැති ගී කී බැතිබර මුසල්මානුවා

Image Source – youtube.com

බෞද්ධ ගීතයට වෙනම මුහුණුවරක් දෙන්නට මොහිදීන් බෙග් සමත් විය. සිංහල කියවීමට නොදත් ඔහු බැති ගී කිව්වේ ඔහු දත් උර්දු බසින් ලියාගෙනය. බොදු බැති ගී සාමාන්‍ය කෝමල ලාලිත ස්වභාවයෙන් වෙනස්ව උස් හඬින් වේගවත්ව ගැයීම බෙග්ගේ සිරිත විය. කොයි කාලයේදීත් දන්සලට, පන්සලේ පිංකමට, ගෙදර දානයට, පිරිතට කොතරම් බැති ගී තිබුනත් බෙග් නැතිවුනොත් එය අඩුපාඩුවකි. සැඳැහැවත් මුස්ලිම් බැතිමතකු වුවත් කිසිදු කොන්දේසියකින් තොරව උස් හඬින් බොදු බැති ගී කියන්නට මොහිදීන් බෙග් කැමති විය. අදටත් බෞද්ධ උත්සව අවස්ථාවල බැතිමතුන් ඇහැරවා තැබීමට බෙග් නොමසුරුව දායක වේ.

 

5. හිතට වදින පදමාලාවන්

Image Source – youtube.com

බෙග් විසූ කාලය අදට වඩා දක්ෂ ගීත රචකයින් සිටි සමයක් විය. ඈතින් බෙග්ගේ ගීත ඇසෙන කල මදකට හෝ ඒ පදමාලා හොඳින් අසා සිටින්න. ඔබ ඒ බොහෝ පදමාලා ගැන පුදුම වෙනවා ඇති. ස්පීකරයකින් ඝෝෂාකාරී ලෙස ඇතැම් විට බෙග් ගීත ඇසුනත් ඒවායේ ඇති පද නම් ජීවිතයට පවා එකතුකරගත හැකි ඔවදන්වලින් පිරිපුන්ය.

මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී…

හිංසා පීඩා දේවිදෝ… මිනිසා තිරිසන් වේවිදෝ…

ඝෝර විසැති නයි පොළොඟුන් වන්…

මිනිසුන් මිතුරු වෙසින් එයි නම්…

එමවිට පවසනු මුවින් ඔබේ…

බුද්ධං සරණං ගච්ඡාමි…!

මොහිදීන් බෙග්ගේ ගීත බොහොමයකට කරුණාරත්න අබේසේකරගේ විශිෂ්ට පදමාලා දායක වී තිබේ.

 

6. අංගුලිමාල ලංකාවට ගෙන ආ බෙග් මාස්ටර්

Image Source – youtube.com

අංගුලිමාල චිත්‍රපටය 2500 බුද්ධ ජයන්තිය උදෙසා තායි රජයේ වියදමින් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණ චිත්‍රපටයකි. එම චිත්‍රපටය සිංහලට හඬ කවා ලංකාවේ ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක් කොට තිබුනේ බෙග් මාස්ටර් විසිනි. එම චිත්‍රපටයේ එන “ඔබෙ රාගී මන කැළැඹේදෝ” ගීතය විනාඩි 13.5ක් පමණ දීර්ඝ ගීතයකි. මොහිදීන් බෙග් ගායනා කරන එම ගීතයේ මුල් ගීතය ගැයූ ගායකයා පවා මොහිදීන් බෙග් එය ගයන අයුරු අසා පුදුම වී තිබේ. කෙසේ වෙතත් එකල බැතිමතුන් චිත්‍රපට ශාලාවල සාදුනාද දෙමින්, වරක් නොව කිහිපවරක්ම ගොස් එක් රොක් වී නැරඹූ අංගුලිමාල චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට බෙග් මාස්ටර් දායක විය.

 

7. බෙග් සහ ගායන දිවිය

Image Source – youtube.com

ලංකාවේ ගායකයින් අතර එතරම්ම ඇගයීමකට ලක් නොවූ එහෙත් ප්‍රබල චරිතයක් ලෙස බෙග් මාස්ටර් හැඳින්විය හැකිය. 1991 දී ශල්‍යකර්මයකට සිහිය නැති කළ බෙග්ගේ සිහිය නැවත ආවේ නැත. එදා මරදාන කුප්පියාවත්තේ බෙග්ගේ අවමඟුල වෙනුවෙන් රැස් වූ ජනතාව බොහොමයක් හොඳ සිංහල මිනිසුන් විය. ලංකාවේ හොඳම ගායකයින්, ප්‍රබුද්ධ ගායන විශිෂ්ටයින් තෝරන තැන්වලදී බොහෝවිට බෙග් මගහැරේ. එහෙත් තවමත් පැරණි තැටිවලින් සීඩී තැටිවලට පැමිණ දැන් මයික්‍රො එස් ඩී කාඩ් වලද බෙග් ගේ ගීත හුවමාරු වේ. ඒ ගීත දැන් කාලයෙත් ප්‍රසංග වේදිකා වල වෙනත් ගායකයින් උජාරුවෙන් ගායනා කරන්නේ බෙග්ගේ ගැඹුරු කටහඬ කෙසේ හෝ අමාරුවෙන් මවා ගනිමිනි.

බෙග් අන්‍යාගමිකයෙකු වුවත් බෞද්ධයින් වෙනුවෙන් ගීත ගැයුවේය. ඔහුගේ ශ්‍රාවකයන් රැසක් සිංහල බෞද්ධ ජනතාව විය. ජාතීන් ආගම් වශයෙන් ජනතාව බෙදෙන්නට නොව අනිකාට ගරු කරන්නට, අනෙකා වෙනුවෙන් ගී ගයන්නට බෙග් වැනි කලාකාරයෝ උත්සාහ ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *