පොදු ප්‍රවාහනේ නිතර දකින්න ලැබෙන හිඟන්නො වර්ග 7ක්

පොදු ප්‍රවාහනේ කියන්නෙ ඔය අපි කොයි කවුරුත් යන එන සේවයක්නෙ. ඒ කියන්නෙ ප්‍රධාන වශයෙන්ම බස් හෝ කෝච්චි. දැන් ඔය ඕවයෙ යන එන මිනිස්සු ඕන කෙනෙක් දන්න දෙයක් තමයි ඕවට නගින හිඟන ප්‍රජාව. හිඟන ප්‍රජාව මේ වෙද්දි ඕක වෘත්තියක් විදියටම කරන නිසා අපිට අවංක කවුද නැත්තෙ කවුද කියලා හිතාගන්න බැහැ. හැබැයි තමුන්ගෙ හැකියාවෙන් සින්දුවක් කියලා, මොනවාහරි දෙයක් විකුණලා, මුදලක් හොයන්න යන පිරිස අපි මෙතනට දාන්නෙ නෑ. මොකද හැකියාවත් උනන්දුවත් කිසිසේත්ම බාල්දු කරන්න අපි සූදානම් නෑ. හැබැයි අපි නිතර දෙවේලේ දකින සහ බොරුවක් බව ඇස් පනාපිටම පෙනෙන උදවිය ගැන මේ සටහනට නොලියත් බැහැ.

 

1. දරුවො උස්සගෙන එන අය

Image Source – tripsavvy.com

තමුන්ගෙ දරුවාට ආදරයක් තියෙනවානං දූවිලි කාෂ්ඨකේ දරුවෙක් වඩාගෙන එන එකේ දරුවාට තියෙන අමාරුව දෙමවුපියන්ට හැඟෙන්න ඕන. එහෙම නැතුව තමුන්ගෙ අරමුණ වෙනුවෙන් දරුවෙකුත් කිහිලිගන්නාගෙන බොහෝමයක් දෙනා එන්නෙම අනුකම්පාව පෙරදැරිව ලැබෙන මුදල අරගන්නමයි. මේ අතරේ අපිට අහන්න ලැබෙන දරුවන් හිඟන්නන්ට රෙන්ට් කරන ලොකු ලොකු ගෙවල්වල සේවිකාවො ගැන ප්‍රවෘත්තිත් නිසා මේ ප්‍රශ්නය කිසිසේත්ම ඉදිරියට යන්න දෙන්නට හොඳ නැති දෙයක් විත්තිය පැහැදිලි වෙනවා. කොහොමහරි අවංක කවුද නැත්තෙ කවුද හොයන්න කලින් තමුන්ගෙ දරුවාව වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථයක අවු කාෂ්ඨකේ එහා මෙහා ගෙන යාමට වඩා හැකි තරමකින් කුලී වැඩකවත් නියැලීම වඩා නම්බු සහගත බවයි අපේ අදහස.

 

2. ලෙඩ්ඩු 1

Image Source – youtube.com

මේ එක් කොට්ඨාසයක්. මේ අය බස් රථයට නැගලා වචනයක්වත් කියන්නෙ නෑ. කෙලින්ම ඒ අයගෙ සරම උස්සලා වෙලුම්පටි ටික ලිහලා දානව. ඊටපස්සෙ ප්ලාස්ටික් කකුල ගලවලා අතට අරගෙන කෙලින් නැගී සිටින්නෙ අපරාදෙ කකුලක් දැම්මෙ වගේ හැඟීමකින්. ඊටපස්සෙ ඒ අය කියන්නෙ කොහොමද මේ කකුල නැතිවුනේ කියලයි. ඒ කතාව අතිශය දුක්මුසු වුනත් බොරුවක් කියල හිතෙන්නෙ නැතුවමත් නෙමෙයි. කකුල නැති වුනත් කරන්න පුළුවන් රැකියාවන් ඕන තරමක් මේ ලංකාවෙ තියෙනවා. ඒ නැතත් දෑතේ හැකියාවකින් ව්‍යාපාරික අවස්ථා වුනත් හොයාගන්නට හැකියි. ඒ වගේම වේගයෙන් ඉදිරියට ඇදෙන බසයක කිසිඳු ආධාරකයකින් තොරව සිටගෙන සිටින්නට, කකුල් දෙකම ඇති අයටත් අමාරු කාලයක් බව සිහිපත් කළ යුතුයි.

 

3. ලෙඩ්ඩු 2

Image Source – hirunews.lk

මේ තමයි ලෙඩුන්ගේ වේශයෙන් එන අනිත් කොට්ඨාසය. මෙයාලා ගාව තියෙනව ලොකු ෆයිල් එකක්. ලොකුයි කියන්නෙ ඒ ෆයිල් එකේ නැති දෙයක් නෑ. මෙයාලට ගොඩක් වෙලාවට තියෙන්නෙ පිටට නොපෙනෙන ලෙඩ. ඒ ටික ඔප්පු කරන්න තමයි එයාලා ෆයිල් එකක් අරගෙන එන්නෙ. මෙයාලා විශ්වාසෙටම දන්න දෙයක් තමයි කවුරුත් ඔය ෆයිල් එක බලන්න ඉල්ලන්නෙ නෑ කියන එක. ඒ නිසා එයාලා ඒ ෆයිල් එක මූණුවලට දික්කරගෙනමයි කතාව කියාගෙන බස් එක ඇතුළෙ ගමන යන්නෙ. ඇස් මට්ටමට පේන මෙයාලාගෙ ෆයිල්වල ඩොකියුමන්ට් වුනත් අතට අරගෙන බලන්න නොහිතෙන තරමට හේදිලා ගිය පාටක් තමයි තියෙන්නෙ. මෙයාලා කියන ප්‍රධානම බොරුවක් තමයි මේ සතියෙ ඔපරේෂන් එක කරන්න සිද්ධ වෙනවා කියන එක. ඔන්න ඔය විදියට කියලා සල්ලි එකතු කරලා ඉවර වුනාට පස්සෙ යන බස් එකෙන් පනින්නෙ මෙයාලට කිසිම ලෙඩක් නැති ගාණට නිසා මේක දකින සල්ලි දීපු අය ඉස්සරහා සීට් එකේ ඔලුව ගහගන්න අවස්ථා ඇතිවෙනවා.

 

4. ලෙඩ්ඩු 3

Image Source – tribuneindia.com

ඔන්න මේ කියන ලෙඩ්ඩුත් ප්‍රසිද්ධයි. මේ අය බස් එකට නැග්ග ගමන් කියන්නෙ මහත්තයලට වෙනිං අය වගේ බොරු නොකියන නිසා මම රිපෝට් මොකුත් අරගෙන ආවෙ නෑ. ඔෆිස් එකේ කෑම පැයේ තමයි මේ බස් එකට ගොඩ වුනේ කියල. හැබැයි මෙයාලත් කියනව කලින් බොරුවම. ඒ තමයි ලබන සතියෙ ඔපරේෂන් එක කරන්න තියෙනවා කියන එක. ලබන සතියෙ ඔපරේෂන් එක කරන්න තියෙනව කියල එයාලා දැන් අවුරුද්දක් විතර තිස්සෙ කියල තියෙනවා වගේම, මේ කතාව බස් රූට් ගණනාවක මේ විදියටම කියලා තියෙනවා. අන්න ඒ නිසා ලංකාවෙ වටේ බස් සහ කෝච්චිවල ගමන් කරන අයට මේ අයගෙ හොර කලින්ම අහුවෙනවා.

 

5. වෙනිං ලෙඩ

Image Source – mirror.co.uk

මේ අය සිද්ධ කරන්නෙ රිපෝට් ඕනෙත් නැති, ලෙඩක් තියෙනවා කියලා පෙන්නන්න ඕනෙත් නැති බොරුවක්. ඒ තමයි වෙනිං අයගෙ ලෙඩ කියන එක. අම්මගෙ, තාත්තගෙ, නංගිගෙ, නෝනගෙ, දරුවගෙ වගේ තෝරාගත් චරිතයක් අරගෙන එයාලා ගොතනවා කතාවක්. ඕනම වුනොත් පර්ස් එකේ දාගෙන ඉන්න ෆොටෝ එකක් පෙන්නනවා. මේක තමයි බස් එකට ගොඩවෙන හිඟන ප්‍රජාවට කරන්න ලේසිම වැඩේ. මෙයාලට ඕන පිළිවෙලට අඳින්න ඇඳුමක් විතරයි. ඉතුරු ටික ඔක්කොම ගොඩ දාන්නෙ කතාවෙන්.

 

6. දුක් විරිඳු

Image Source – youtube.com

“හති වැටුනම කොයි අලියත් ඔදරි නැතුව දණ නමනවා” කියාගෙන තමයි මේ අයියලා නගින්නෙ. මෙයාලව සින්දු කියන අයට සමාන කරන්න බැරි හේතු කිහිපයක් තියෙනවා. මොකද මෙයාලා හැමදාම කියන්නෙ එකම විරිඳුව. ඒ වගේම මෙයාලා කියන පුංචි විරිඳුවවත් තමුන් හදලා කියන්නෙ නෑ. අනික සින්දුවක් වෙනුවෙන් ගායකයට දරන්න වෙන මහන්සිය වෙනිං කෙනෙක් හදපු විරිඳුවක් කියන්න යොදන්න වෙන්නෙ නෑ. අනිත් කාරණේ තමයි මේ අය තරමක් අනිත් හිඟන ප්‍රජාවට ගරහන එක. කවුරුත් සල්ලි නොදුන්නොත් මේ අය බස් එකෙන් බහින්නෙ පිළිකාවක් කිවුවනං අත පුරෝලා සල්ලි දෙයි කියාගෙන.

 

7. නෝ හෙල්ලුම්

Image Source – shropshirestar.com

මේ අය මොකුත්ම කියන්නෙත් නැතුව ගොලු වෙච්ච ගාණට තමයි ඉන්නෙ. අනිත් එක මේ අය ගාණක් දෙනකං එතනින් හෙලවෙන්නෙ නෑ. ඒ වගේම පුද්ගලානුබද්ධව හිඟාකන මිනිස්සුත් ඉන්නවා. ඒ අය කෙලින්ම තෝරා බේරාගත් කට්ටිය ගාවට ගිහින් ඒ අයට හරියන්න තමයි සල්ලි ඉල්ලන්නෙ. “අනේ මේ රතු පාට ටීෂර්ට් එක ඇඳපු මල්ලිට මං වගේම අක්ක කෙනෙක් ඇති… අහක බලාගෙන යන්නෙපා මහත්තයො” කියල කිවුවම කට්ටිය ලැජ්ජාවටත් එක්ක සල්ලි දෙනවා.

යාචකයෝ අතරේ දන්න තරමක් මුණගැහෙන්නෙ කාලයක් තිස්සෙ දැකපු කට්ටිය නිසා බොහෝදෙනෙක් යාචකයන්ව විශ්වාස කරන්නෙ නැහැ. ඒ වගේම එයින් බොහොමයක් කියන අල්ලෙ පැලවෙන බොරු නිසාත් කෙනෙක් රුපියල් දහයක් හරි දෙන්න කලින් දෙපාරක් හිතනවා. මේ විදියෙ ඇතැම් අවංක නැති මිනිස්සු බිහිවීම නිසාම ඇත්තටම අසරණ වෙච්ච මනුස්සයෙකුටත් ලැබෙන්න තියෙන මුදල නොලැබී යනවා. අන්න ඒ නිසාම ඔබේ අනුකම්පාවේ වාසිය සොරා ගන්නා මිනිසුන්ට අප කිසිසේත්ම අනුකම්පා කරන්නේ නැහැ.

Cover Image Source – srilankamirror.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *