කිරි දෙන සමයේ කිරි එරෙනවා හොරයි නම් බබාගේ අම්මාට මේ දේවල් කන්න දෙන්න

එක්කෙනා දෙන්නා වුණාට පස්සේ තියෙන ලොකුම හීනයක් තමයි දෙන්නා තුන්දෙනා වෙන එක. ඒ වුණාට පස්සේ ඒ තුන්වැනියා ලොකු මහත් වෙලා මොන වගේ පුද්ගලයෙක් වෙයි ද කියන එක නිර්ණය කරන සාධකයක් තමයි මව් කිරි කියලා කියන්නේ. ඒ තරම් වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු මව් කිරි පොඩි එකාට දීගන්න විදියක් නැත්නම් මොන දුකක් ද ඒ! හරියට කිරි එරෙන්නේ නැත්නම් ඒක නතර වෙන්නේ අම්මගේ මානසික මට්ටමට සෑහෙන දරුණු විදියට ඕක බලපාලා. එතෙන්ට යන්න කලින් කරන්න පුළුවන් දේවල් කරන්න ඕනි.

 

1. ක්ෂීරමය ආහාරපාන

Image Source – naturalproductsinsider.com

එළදෙනට පින්සිද්ධ වෙන්න ලැබෙන ඒවා තමයි ඉතින්. ෆ්‍රෙෂ් මිල්ක්, මුදවාපු කිරි වගේ දේවල් බීලා කාලා බලන්න ඕනි. මුදවාපු කිරි කාලා පැය භාගයකට විතර පස්සේ මව්කිරි දෙන්න උත්සාහ කරලා බලන්න ඕනි. දරුවට කිරි දෙන්න විනාඩි කීපයකට කලින් උණුවෙන් කිරි එකක් බොන්න. ඒ බැරි නම් රස්නයෙන් වතුර වීදුරුවක් හරි බොන්න ඕනි. කිරි බොන ගමන් ඒ එක්ක ඕට්ස් ටිකක් කන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

 

2. කොස්

Image Source – thefreshmarket.com

අපේ ගම්වල එහෙම නම් මිනිස්සු කියන්නේ කොස් ගහක් ළඟින් ගියත් කිරි එරෙනවා කියලයි. කිරිකොස් මාලුව, පොළොස් මැල්ලුම වගේ එක එක විදියට හදලා අම්මට කන්න දෙන්න ඕනි. හැබැයි සැරට මිරිසට තෙලට හදන්න යන්නේ නැතුව පුළුවන් තරම් කිරට පිසින්න උත්සාහ කරන්න ඕනි. හැමෝටම සෙට් වෙන්නෙත් නැහැ. සමහරවිට ගෑස් ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකට මාලුවට සුදු ළූණු බික් යහමින් එකතු කරන්න.

 

3. තැම්බුම් හොදි

Image Source – vegeyum.wordpress.com

අපේ ගෙවල්වල කුස්සියට සීමා වුණ තැම්බුම් හොද්ද දැන් දැන් කඩේත් තියෙනවා. ඒවා එහෙම අරන් දෙන්න එපා. සියඹලා, කොත්තමල්ලි, උළුහාල්, ලොකු ළූණු, සුදු ළූණු, ගම්මිරිස් වගේ කළමනා එකට එකතු කරලා මද ගින්නේ උකු පානයක් බවට පත් වෙනකන් රත් කරගන්නවා. දරු ප්‍රසූතියකින් පස්සේ ඉස්සෙල්ලාම බොන්න කියන්නෙත් තැම්බුම් හොදි. ඒකෙන් කිරි එරීම විතරක් නෙවෙයි ප්‍රසූතියේ දී ඇතිවුණ ශාරීරික වේදනා පවා මග හැරෙනවා.

 

4. අඟුණ කොළ

Image Source – youtube.com

තැම්බුම් හොද්ද වගේම ප්‍රසූතියකින් පස්සේ බැඳුණ ආහාරවල මුල් තැන ගන්නා දෙයක් තමයි අඟුණ කොළ. නම එහෙම වුණාට ගුණය අතින් නම් සෑහෙන්න ගුණයි. අඟුණ කොළ සම්බෝල නැතිනම් යහමින් පොල් දාලා හදන මැල්ලුම එක්ක විතරක් වුණත් අලුත් අම්මා කෙනෙක්ට බත් දුන්නාට කාරී නැහැ. දැන් දැන් අඟුණ කොළ හොයා ගන්න එකත් හරිම අමාරු වැඩක්.

 

5. සුදු ළූණු බයිට් එක

Image Source – cookinglight.com

බයිට් එක කිව්වට ඉතින් අහවල් බයිට් එක නෙවෙයි. නැති මව් කිරි ඇති කරන එකත්, තියෙන මව්කිරි පවත්වා ගැනීමත් තමයි මේ දෙයින් කරන්නේ. අඟුරු ලිපකට දලා පුච්ච ගත්ත සුදු ළූණු කිතුල් හකුරු එක්කයි කන්න ඕනි. කිතුල් හකුරුත් තකට තක මව්කිරිවල ආනිශංසය වැඩි කරවන්න සැදී පැහැදී ඉන්නේ. අන්න ඒ නිසා ඉතින් මේ සංයෝගය හොඳයි. බයිට් එක කිව්වයි කියලා වැඩි කැටයම් ඕනි නැහැ. අඟුරු ගොඩේ පුච්චාපු සුදු ළූණු ටික විතරයි.

 

6. පොල්

Image Source – expericencelife.com

නිකන් ගාගත්ත පොල් කියන්නේ ඉතින් ක්ෂීර සාගරය කළඹන තරමේ දෙයක්. අට අනූවක් ලෙඩවලට අපේ මුතුන්මිත්තන් කෑවේ පොල්. දරු ප්‍රසූතියෙන් පස්සේ සෑම ආහාර වේලක් සමගම පොල් ටිකක් කන්න තියෙනවා නම් මල් මසුරන්. කඩල, කව්පි, මුංඇට වගේ ධාන්‍යමය ආහාරයක් එක්ක පොල් කන එක බෙහෙතකටත් වඩා වෙනම ආතල් එකක්.

 

7. හබල පෙති

Image Source – terraearthfood.com

පරණ තාලේ කෑමක් වුණත් දැන් ගිනි ගණන්වලට සුපර් මාකැට්ටුවලත් තියෙනවා. හබල පෙතිවලින් අග්ගලා හදාගන්න පුළුවන් ඒත් නැත්නම් හබල පෙතිවලින් කැඳ හදාගන්න පුළුවන්. ඔය මොන ක්‍රමේ කරත් අන්තිමේ දරුවාට කිරි ලැබෙන එකයි වැදගත් වෙන්නේ. දවස් කීපයක් ආහාරයට අරගෙන බලන්න.

 

මීට අමතරව තුනපහ යහමින් එකතු කරලා ආහාර පිසින එකත් වැදගත්. හැබැයි ඉතින් කඩෙන් ගන්න පුළුවන් පැකට් කරපු ඒවා නෙවෙයි. තුනපහ වර්ග කොටාගත්තට පස්සේ දවස් තුනකින් පමණ ඒකෙ ගුණය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනි.

Cover Image Source – thebump.com

zvr
Your Reaction

Comments