මහා කවි කාලිදාස ගැන රස කතා

“එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ” කියන්නේ අපි ආස කරන සිංදුවක්. ඒ සිංදුවේ මැද මෙන්න මෙහෙම කියවෙනවා “ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා… කාලිදාස කිවිඳු මේඝ දූතයක් කළා” කියලා. ඒ වගේම මාලිනී බුලත්සිංහල මහත්මිය සිංදුවක් කියනවා “අනේ පුංචි කාලිදාස” කියලා. එතකොට ජොතිපාල මහත්තයා “පෙම්වතුන්ට සරණේ” සිංදුවෙදි “පෙමින් වෙළී කාලිදාස මහා කවක් බිහි කළේ” කියලත් කියනවා. මේ කාලිදාසගේ කැරැට්ටුව තමයි අපි අද කියන්න යන්නේ. කැරැට්ටුව කිව්වට ඉතින් මේවා ඒ කාලේ ගොසිප්. සීයට සීයක් ඇත්තයි කියලම කියන්න බෑ. දැන් නම් ඒ වගේ ගොසිප්වලට කියන්නේ ජනප්‍රවාද කියලා. හැබැයි අපිට කාලිදාස ගැන මෙන්න මේ කාරණා නම් ෂුවර් එකටම කියන්න පුළුවන්. ඒ තමයි කාලිදාස කියන්නේ මහා කවියෙක් සහ පළවෙනි සංදේශ කාව්‍යය, මේඝදූතය ලිව්වේ එයා කියලා. ඒ වගේම “අභිඥාන ශාකුන්තලය”, “රඝුවංශය”, “කුමාර සම්භවය” සහ “ඍතුසංහාරයං” කාව්‍ය කෘති ලිව්වා කියලා.

 

1. කාලිදාසට ඒ නම ලැබුණ හැටි

Image Source – myindiamyglory.com

ඒ කාලේ ගොසිප්වල හැටියට කාලිදාස කියන්නේ ගොපලු තරුණයෙක්. ඒ වගේම කාලිදාස මෝඩයෙක් කියලා ප්‍රසිද්ධ වෙලා හිටියා. කොච්චර මෝඩද කියනවා නම් ගහකට නැගලා ලීයක් කඩා ගන්න තමන් ඉඳන් හිටපු අත්තම කපන්න හිතුව කෙනෙක්. මෙතනින් යනවා ඒ රටේ රාජ සභාවේ පුරෝහිත බමුණා. මේ පුරෝහිත බමුණා යන්නේ හිතේ අමාරුවෙන්. මොකද කියනවා නම් රජ කුමරියක් ඒ පුරෝහිත බමුණාව විවාහ කරගන්න බෑ කියනවා, බමුණට වඩා තමන් බුද්ධිමත් කියලා. පුරෝහිතට මේ ගැන දුකයි වගේම කේන්තියි. ඒ නිසා මේ ගොපලු තරුණයව දකින පුරෝහිතට කුමාරිකාවගෙන් පලිගන්න ප්ලෑන් එකක් ඔළුවට එනවා. ගොපලු තරුණයව ගහෙන් බස්සවගෙන මුනිවරයෙක් විදිහට අන්දලා රාජ සභාවට යවනවා කුමාරිකාව මුණ ගැහෙන්න. ඒ වගේම කිසිම අවස්ථාවක කතා කරන්න එපා කියලා ගොපල්ලට උපදෙස් දෙනවා. අපි වුණත් ඉතින් කවුරුහරි කතා කරන්නේ නැතුව ඉන්නවා නම් හිතනවනේ ඒ කෙනා හෙණ බුද්ධිමත් වෙන්න ඇති කියලා. කුමාරිකාව එක ඇඟිල්ලක් දික් කරනවා. කුමාරිකාව කියන්නේ මේ ලෝකේ එක දෙවියයි ඉන්නේ කියලා. ගොපල්ලා හිතනවා මේ ගෑණිට එක ඇඟිල්ලක් දික් කරන්න පුළුවන්, මට ඇඟිලි දෙකක් දික් කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා ඇඟිලි දෙකක් දික් කරනවා. කුමාරිකාව හිතනවා මේ ලෝකේ “එක දෙවි කෙනයි සහ දේවත්වයට යන්න පුළුවන් මිනිස් ආත්මය” ගැනයි මොහු කිව්වේ කියලා. ඊට පස්සේ කුමාරිකාව දේවත්වයට යන්න මිනිසා පංචේන්ද්‍රයන් ඉක්මවලා යන්න ඕන කියන්න ඇඟිලි පහම දික් කරනවා. එහෙම කළේ තමන්ට ගහන්න කියලා හිතන ගොපල්ලා “තෝ ගැහුවොත් මම අත මිට මොළෝලා මේම මේම ගහනවා” කියලා අත මිට මොළවලා පෙන්නනවා. පංචේන්ද්‍රයන් ඉක්මවා යන්න පුළුවන් මනසෙන් කියලා ගොපල්ලා කිව්වා කියලා හිතන කුමාරිකාව ගොපලු මෝඩයාගේ බුද්ධිය ගැන සතුටු වෙලා ගොපල්ලව බඳිනවා. මධුසමය වෙලාවේ තමයි මේ මෝඩයෙක් බව කුමාරිකාවට තේරෙන්නේ. ඒ වෙලේම ගොපල්ලව මාළිගයෙන් එලෝනවා. මේ නිසා සියල්ලම එපා වෙන ගොපල්ලා තපස් රකින්න යනවා. ගොපල්ලගේ තපස ගැන පැහැදෙන “කාලි දෙවඟන” ගොපල්ලව බුද්ධිමතෙක් කරනවා. ඊට පස්සේ ඒ ගොපල්ලට “කාලිදාස” කියන නම ලැබෙනවා.

 

2. කාලිදාසගේ නිර්මාණ

Image Source – seemerablogger.blogspot.com

කාලිදාස ආපහු තමන්ගේ කුමාරිකාව බලන්න එනවා. කාලිදාස එන විදිහ වෙනස් කියලා දැනෙන නිසා කුමාරිකාව “අස්ති කශ්චිත් වාග් විශේෂං” කියලා අහනවා. ඒ කිව්වේ “ලබා ගත්ත ඥානයක් තියෙනවද” කියලා. කාලිදාසත් මොනවද මේ අහන්නේ කියලා “අස්ති” කියන වචනයෙන් පටන් අරන් කුමාර සම්භවය කියන කාව්‍යය ලියනවා. “කශ්චිත්” කියන වචනෙන් පටන් අරන් “මේඝදූතය” ලියනවා. “වාග් විශේෂං” කියන එකෙන් “රඝුවංශය” ලියනවා.

 

3. කාලිදාස තරගයක් ජය ගත්ත හැටි

Image Source – hindupedia.com

කාලිදාස සේවය කළා කියන්නේ භෝජ කියන රජ්ජුරුවන්ට. දවසක් භෝජ රජ්ජුරුවෝ තමන්ගේ රාජසභාවේ ඉන්න පඬිවරුන්ට පොඩි චැලේන්ජ් එකක් දෙනවා. ඒ තමයි “කඛගඝ” කියන අකුරු හතරෙන් ඉවර වෙන ශ්ලෝකයක් හදන්න කියලා. “කඛගඝ” කියන්නේ අකුරු හතරක් විතරයි, වචනයක් නෙමේනේ. ඉතින් අර පඬිවරු අහස පොළොව ගැටගගහා කොහොමද  මේ වැඩේ කරන්නේ කියලා හිතනවා. කාලිදාස වැඩේ ඔච්චර ඇඟට ගන්නේ නෑ. දවසක් රාජසභාවට එද්දි කාලිදාසට ගෑණු ළමයෙක් මුණ ගැහෙනවා. දෙන්නා අතර මෙන්න මේ වගේ සංවාදයක් ඇතිවෙනවා.

 

කිං ත්වං නාමං (ඔබේ නම කුමක්ද?)

කාංචනමාලා (කාංචනමාලා)

කාශ්චත්ය පුත්‍රී (කාගේ දරුවෙක්ද මේ? :D)

කනකලතයං (කනකලතාගේ)

කිං ත්වං හස්තං( අතේ තියෙන්නේ මොකද්ද?)

තාලිපත්‍රං (තල් පතක්)

ක්වා ලේඛා (මොනවද ලියලා තියෙන්නේ?)

ක ඛ ග ඝ (ක ඛ ග ඝ කියන අකුරු)

කාලිදාස ඉතින් පොර වගේ ගිහින් රාජසභාවම හොල්මන් කරලා තමන්ගේ ශ්ලෝකය මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා.

කිං ත්වං නාමං කාංචනමාලා

කශ්චත්ය පුත්‍රී කනකලතාය

කිං ත්වං හස්තේ තාලි පත්‍රම්

ක්වා රේඛා කඛගඝ

 

4. භෝජ රජ්ජුරුවන්ගේ මරණය වෙනුවෙන් කියපු කවිය

Image Source – kobo.com

ඔයාලටත් ඔය නිකන් ඉන්න වෙලාවට හිතිලා ඇතිනේ මං මැරණම වටේ ඉන්න එවුන් මොනා කියයිද කියලා. මේ වගේම දවසක් භෝජ රජ්ජුරුවන්ටත් හිතුණා. ඉතින් භෝජ රජ්ජුරුවෝ තමන්ගේ රාජසභාවේ හිටපු පඬිවරුන්ට කියනවා තමන් මිය ගියාම කියන්න හිතන් ඉන්න ශ්ලෝකය කියන්න කියලා. හැමෝම ශ්ලෝක කියද්දි කාලිදාස කියනවා, ඒක තමන්ට නම් කරන්න බෑ කියලා. මොකද කාලිදාස භෝජ රජ්ජුරුවන්ට ඒ තරම් ආදරෙයි. ඒත් මේක තේරුම් නොගන්න භෝජ රජ්ජුරුවෝ කේන්තියෙන් කාලිදාසට රටෙනුත් යන්න කියනවා. කාලිදාසත් වෙන කරන්න දෙයක් නැති නිසා යනවා. පස්සේ ආපහු කාලිදාස ගැන දුක හිතෙන රජතුමා වෙස් වලාගෙන මගියෙක් විදිහට කාලිදාස මුණ ගැහෙන්න ගිහින් භෝජ රජතුමා මියගියා කියලා කියනවා. ඒ ආරංචිය ඇහුණ ගමන් කාලිදාසට දුකටම මෙන්න මේ ශ්ලෝකය කියවෙනවා.

අද්‍ය ධාරා නිරාධාරා

නිරාලම්භා සරස්‌වතී

පරඩිතාඃ ඞරඩිනාඃ සර්වේ

භෝජරාජෙ දිවංගතේ

අහෝ, භෝජ රජු දිවංගත විය. සරස්වතියටත්, සියලු සාහිත්‍යකරුවන්ටත් පිළිසරණක් නැතිවිය තමයි ශ්ලෝකයේ තේරුම.

මේ ශ්ලෝකේ ඇසීමත් එක්ක අප්‍රමාණ සන්තෝසයට පත්වෙන භෝජ රජතුමා තමන් කවුද කියලා හෙළි කරනවා. ඒත් එක්කම කාලිදාස පුදුමයටත් සන්තෝසයටත් පත්වෙලා මෙන්න මේ ශ්ලෝකය කියනවා.

අද්‍ය ධාරා සදාධාරා

සදාධාරා සරස්‌වතී

පරඩිනාඃ මරඩිනාඃ සර්වේ

භෝජ රාඡේ භුවංගතේ

“භෝජ රජු මෙලොව පහල විය, සරස්වතියටත් සියලුම කලාකරුවන්ටත් යහපතක්ම විය” කියලා තමයි මේ ශ්ලෝකයේ තේරුම.

ආපහු ඉතින් කාලිදාස භෝජ රජ්ජුරුවෝ ගාවටම යනවා…

 

5. කළගෙඩියක් නිසා කාලිදාස කවි කියයි

Image Source – dissolve.com

දවසක් රජවරු අභිෂේක කරන වේදිකාවේ පඩිපෙළේ නැගගෙන එන දාසියක් අතින් රත්තරන් කළයක් වැටෙනවා “ටටං…ටං” ගාලා. මේක ඇහෙන රජතුමා කාලිදාසගෙන් අහනවා මේ සිද්ධිය ගැන ශ්ලෝකයක් කියන්න බැරිද කියලා, කාලිදාස කියනවා මෙහෙම.

රාජාභිෂේකේ මද විහ්ව ලායා

හසත්‍යාබ්‍යුතෝ හේම ඝටො යුවත්‍යාඃ

සෝපාන මාර්ගේ පුක‍රෝති ශබ්දම්

ටටං…ටටං…ටං…ටටටං…ටටං…ටම්

මේ ශ්ලෝකේ සරල අදහස රාජභිෂේක වේදිකා පීඨයේ පඩිපෙළ (සෝපාන මාර්ගේ) නැගීමට ගිය රන් කළයක් (හේම ඝටෝ) ගත් යුවතියක් අතින් කළය පෙරළී ටටං…ටටං…ටං ශබ්දය ඇති කළේය යන්නයි.

 

6. කාලිදාස ජාමේ බේරගත්ත හැටි

Image Source – theweek.in

කාලිදාසට පොඩි බයිට් එකක් දෙන්න හිතපු භෝජ රජතුමා දවසක් මෝඩ මනුස්සයෙක්ට සල්ලි දීලා රාජ සභාවටම ගෙන්න ගත්තලු මේ තමයි කාලිදාසගේ ගුරුවරයා කියලා. කාලිදාසට තේරුණාලු මොකද්ද වෙන්නෙ කියලා. එදාම රාජ සභාවේ හෙණ වාදයක්ලු රාවණා කියලා ලියද්දි දාන්න ඕන මුර්ධජ නයන්නද දන්තජ නයන්නද කියලා. රජ්ජුරුවෝ කිව්වලු අපි අහමු කාලිදාසගේ ගුරුතුමාගෙන් කියලා. ඒ මනුස්සයා කිව්වලු රාවණ නෙමෙයි හරි වචනේ රාභණ කියලා. රජ්ජුරුවෝ හිනාව තද කරන් කාලිදාසගෙන් ඇහුවලු මේ කියන්නේ ඇත්තද කාලිදාස කියලා. කාලිදාසත් කිව්වලු ඔව් කියලා. මේ උත්තරෙන් හොල්මන් වුණු රජ්ජුරුවෝ ඇහුවලු ඒ කොහොමද ඒ කියලා. එතකොට කාලිදාස ශ්ලෝකයකින්ම උත්තර දෙනවා.

භකාරහ් කුම්භකර්ණෙච

භකාරෂ්ඨ විභීෂණෙ

තයෝර් ජ්‍යෙෂ්ඨ කුලශ්‍රේෂ්ඨ

භකාරං කිං න විද්‍යන්තෙ

ඒ කිව්වේ කුම්භකරණට භයන්නක් තියෙනව. විභීෂණටත් භයන්නක් තියෙනවා. ඒ නිසා ඒ ඩබලටම වඩා වැඩිමල් කෙනාට භයන්නක් තියෙන්නම ඕන කියලා (රාවණා තමයි වැඩිමල්ම සහෝදරයා). රජ්ජුරුවෝ ඒකත් එහෙමද කියලා ඉතින් ෂේප් වෙනවා.

 

7. වෙසඟනක් නිසා මියගිය කාලිදාස

Image Source – youtube.com

ලංකාවේ රජකෙනෙක් ඉඳලා තියෙනවා “කුමාරදාස” කියලා. මේ රජ්ජුරුවොත් කවිකාරයෙක් නිසා කාලිදාසව ලංකාවට ගෙන්න ගන්නවා. දෙන්නා හොඳ යාළුවෝ වෙනවා. රජ්ජුරුවෝ මේ කාලේ වෙසඟනක් ගාවට යනවා. දවසක් රජ්ජුරුවෝ ඒ ගෙදර බිත්තියේ කවි පද දෙකක් ලියනවා.

“වන බඹරා වන බඹරා රොනට වනී

මල නොතළා ‍රොන් අරගෙන ගියසෙ වනී”

ලියලා ඒ යටින් පොඩි සටහනක් දානවා ඉතුරු පද දෙක සම්පූර්ණ කරන කෙනෙක්ට වටිනා ත්‍යාගයක් දෙනවා කියලා. මේ ගෙදරටම  යන කාලිදාස ඉතුරු පද දෙක සම්පූර්ණ කරනවා මෙන්න මෙහෙම.

“සිය තඹරා සිය තඹරා සිය සෙවැ නී

සියස පුරා නිදිනොලබා උන්සෙවැ නී”

මේක දකින වෙසඟන අර තෑග්ග තමන් ගන්න ඕන කියලා කාලිදාසව මරලා තමන් තමයි කවිය සම්පූර්ණ කළේ කියලා රජතුමාට කියනවා. රජතුමා මේ ගැන හොයද්දි ඇත්ත දැනගෙන දැඩි ශෝකයට පත්වෙනවා. මේ ශෝකය නිසාම රජතුමා කාලිදාසගේ දරසෑයටම පැනලා සියදිවි හානි කරගන්නවා.

 

දැන් ඉතින් කාලිදාස සිංහල ඉගෙනගත්තේ කොහොමද වගේ ප්‍රශ්න අපෙන් අහන්න එපා. ඒවා අපි දන්නේ නෑ, මේවා මේ ඒ කාලේ ඉඳන් එහෙන් මෙහෙන් ඇහෙන ගොසිප්. එහෙනන් ඉතින් මේ ගොසිප් මැසෙන්ජර්, වට්ස්ඇප්,ෆේස්බුක්වල ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

zvr
Your Reaction

Comments