තෙල් සහිත සමක් කියන්නේ අරුමයක් නෙවෙයි. මොකද ඕනම හමක කිසියම් තෙල් සංයුතියක් තියෙනවා. ලස්සනට දිලිසි දිලිසි ඉන්නේ ඒ නිසා තමයි. නැත්තම් ඉතින් වේලිච්ච කොස් සිබිඩ්ඩක් වගේ තියේවි මූණත්තහඩුව. එහෙනම් මොකටෙයි තෙල් අඩු කරගන්නේ? ප්‍රශ්නේ වෙන්නේ මේ තෙල් ඕනවට වඩා වැඩිවෙන එක. එහෙම වුණාම හමේ සිදුරුවලින් මේ තෙල් එළියට එනවා. පොල් තෙල් කාලක පෙනුමක් ඒකෙන් මූණට එනවා. සැලුන් ගානේ යන්න ගියාම මල වදේ ඔව්වට සත්කාර කරන්න. ඇයි ඉතින් කජුඇට කොස්ඇට කියලද? ඒ නිසා මේ සම්බන්ධයෙන් ගෙදරදීම කරන්න පුළුවන් දේවල් තමයි මේ.
1. ලෙමන් අයිස්කැට සත්කාරය
ඉස්සෙල්ලාම ලෙමන්වල ශ්‍රාවය අරගෙන ඒකෙන් අයිස් කැට හදාගන්න ඕනි. ඊට පස්සේ මූණ ඉස්සෙල්ලාම හොඳ ක්ලෙන්සර් එකකින් හෝදා ගන්නවා. ඒක අහවර වෙලා මද රස්නේ වතුරවලින් මූණ හෝදාගෙන තෙතමාත්තු කරගන්නවා. දැන් ඉතින් අයිස් කැටයක් අරගෙන හිමීට මූණ පුරාම අයිස් කැටය අතුල්ලනවා. මේක තදින් එහෙම කරන්න නරකයි. ඉතාම මුදු විදියට රවුමට රවුමට හෙමින් තමයි වැඩේ වෙන්න ඕනි. අයිස් කැටේ සම්පූර්ණයෙන් දිය වුණාම තෙතමාත්තු කරගන්නවා. ඊට පස්සේ සිදුරු වැහිලා යන්න වෙළඳපොළේ තියෙන ජෙල් එකක් භාවිත කරන්න පුළුවන් නම් හරි අගෙයි.
2. සම සේදීම
නෑ නෑ මේ අර හැමදාම කරන හේදිල්ල නෙවෙයි. මේක ටිකක් විශේෂ වගේම ආයුර්වේදයට බර හේදිල්ලක්. අපේ රටේ ඖෂධීය ශාක හැටහුටහමාරක් තියෙනවනේ. ඔන්න ඕවා තම්බලා ඒ වතුරවලින් මුහුණ හෝදගන්න පුළුවන්. ඒ නැත්නම් ඉතින් දෙයියනේ කියලා ඒවයෙන් වාෂ්ප අල්ලන්නත් පුළුවන්. මේ ශාක විදියට නුග, පාවට්ටා, අට්ටික්කා කොළපොතු විශේෂ වෙනවා. මේකෙන් තෙල් විතරක් නෙවෙයි. සමේ එක එක කැළැල් ඇති නම් ඒවත් දූරිභූත වෙලා යනවා.
3. කහ පැක් එක
ශාකවලින් එන්නේ කුළුබඩුවලට. කෑමවලටම කහ දාලා මහන්සිත් ඇතිනේ? කොහොමද තෙල් බේරෙන මූණටත් ටිකක් ඉහාගත්තා නම්? ඕක ඉතින් නිකන්ම කහ ගොඩක් අරගෙන ගාගත්තට වෙන වැඩක් නෙවෙයි. කහ ටිකකට සුදු හඳුනුයි ලංකාවේ දොඩම්වල යුෂයි එකතු කරලා ආලේපයක් හදාගන්න ඕනි. ඒක මූණේ ගාලා හොඳට පැලපදියම් වෙන්න විනාඩි 10ක් නැත්තම් 15ක් තියන්න ඕනි. ඊට පස්සේ මද රස්නේ වතුරෙන් හෝදලා තෙතමාත්තු කරගන්න.
4. බිත්තර සුදු මදය
හැම එකටම කහ මදේ කියලා හිතුවට සුදු මදෙත් ඕනි වෙන දවස් එනවා. ඉහින් කනින් තෙල් ගතිය බේරෙනවා කියන්නේ සුදු මදේ ආනුභාවය දකින්න පුළුවන් අවස්ථාවක්. විටමින් Aවලින් සපිරුණ සුදු මදය ලෙමන් ස්වල්පයකුත් එක්ක මුළු මුහුණේම ගාන්න ඕනි. හරියට අයිස් කැටේ ගෑවා වාගේ. විනාඩි 20ක් විතර පත්තියම් වෙනකන් ඉඳලයි හෝදන්න ඕනි. කියන්න අමතක වුණා. ඔය මොන මදයක් ගෑවත් ගාන්න කලින් සම පිරිසිදු කර තිබීම අනිවාර්යයි.
5. මී පැණි
තෙල් සහිත හම නිසා කුරුළෑ අවදානමක් එන්න පුළුවන්. ඉතින් ඔය ඕනි එහෙකට සමතෙක් තමයි මී පැණි කියන්නේ. මී පැණි තේ හැඳි දෙකකට කඩල පිටි ස්වල්පයක් එකතු කරලා ආලේපයක් හදාගන්නවා. ඊට පස්සේ ඉතින් ඕක මූණේ ගාගන්නවා. මේ සංයුතියේ උපරිම ප්‍රයෝජනය ලබාගන්න නම් විනාඩි 20ක්වත් මේ ආලේපනය ආලේප කරලා ඉන්න ඕනි. තෙල් ගතියයි කුරුළෑ ගතියයි ඔක්කොම හබක්. සමහරු මී පැණි වෙනුවට රෝස වතුර පාවිච්චි කරලා ආලේපනය හදාගන්නවා.
6. රාත්‍රියට කෝමාරිකා
කෝමරිකා ඉතින් කොණ්ඩෙට නම් එහෙමයි හමට නම් ඒත් එහෙමයි ටයිප් එකේ නේ ඉන්නේ. තෙල් සහිත සමක් සඳහා වන කෝමාරිකා සත්කාරයේ දී මේක රාත්‍රී ආලේපනයක් විදියටයි භාවිත කරන්න ඕනි. කෝමාරිකා ජෙල් වුණත් වෙළඳපොළේ තියනවා. ඒ නැතත් ගෙදර තියෙන කෝමාරිකා පැළෙන් උදව්වක් ගන්න පුළුවන්. කොහොමහරි ලබාගත්ත කෝමාරිකා රෑ නින්දට කලින් මූණේ ආලේප කරලා නිදාගන්න ඕනි. අවදි වුණාම හෝදලා දාන්නයි තියෙන්නේ. සමහරුන්ට ඉතින් කෝමාරිකා ඇලජික් වෙනවා. ඒ නිසා තමන්ගේ තරම දැනගෙන භාවිත කරනවා හොඳයි.
7. ඕට්මීල්
පට්ට ම පෝෂ්‍යදායි ආහාරයක් වුණත් හම සම්බන්ධයෙන් කන්න නෙවෙයි උලන්නයි තියෙන්නේ. කන දේවල් ගොඩක් කාලා දාන ලයින් එකේ තමයි හම සම්බන්ධ කතන්දර ගොඩ නැගිලා තියෙන්නේ. ඕට්මීල් කෝප්ප භාගයකට මද රස්නයේ තියෙන වතුර ටිකක් එකතු කරලා ඒකට මී පැණිත් චුට්ටක් දාලා ආලේපනයක් හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඕක මූණේ ගාලා විනාඩි 10ක් විතර ඉඳලා සෝදලා දාන්නයි තියෙන්නේ. ඕට්මීල් තෙල් ගතිය උරා ගන්නවා.
8. ව්‍යායාම කිරීම
ව්‍යායාම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හමේ තියෙන මේද තට්ටු අඩු කරන එක. සරල වශයෙන් ම හමේ තියන තෙල් තට්ටු ටික නැති කරගන්න එක. ඉතින් ඒ හමේ තෙල් ගතියක් නැත්නම් අර සිදුරුවලින් මතු වෙන්න තරම් දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. අන්න ඒ නිසා දිනකට පැයක් පමණ කරන ව්‍යායාමයක් වුණත් මේ සම්බන්ධයෙන් වටිනවා.
Cover Image Source – nairobifashionhub.co.ke/ rd.com
Leave a Reply