ගෙදර දොර ඇතිකළ හැකි කුරුල්ලන්ගේ වගතුග

පාලුවෙන් තිබෙන ගෙදර දොර එළිය වන්නට කුරුලු කූඩුවකින් ලැබෙන්නේ නොමද සහයක්. කුරුල්ලන් ඇතිකිරීම පව්කාර වැඩක් ලෙස ඇතැමුන් සැලකුවත් ඇතැම් කුරුල්ලන් දැන් පරම්පරා ගණනාවක සිට කූඩු පරිසරයේ මිනිසාට හිතවත්ව සිටීමට හුරු වී තියෙනවා. කුරුල්ලන් ඇතිකරන ඇතැම් අය ඔවුන්ට සාත්තු කිරීම සිය ජීවිතයේ එක්තරා වගකීමක් කරගෙන තියෙනවා. කුරුල්ලන් ඇතිකරන්න හිතන අයට කුරුලු වර්ග කිහිපයක් ගැන පොඩි විස්තරයක් අරන් එන්නට ලයිෆි අපි හිතුවා. එහෙනම් අපි බලමු ගෙදර දොර ඇතිකළ හැකි කුරුලු වගතුග.

 

1. ගේ කුරුල්ලා

Image Source – literature50.wordpres.com

පුරාතනයේ පටන් ගේ කුරුල්ලන් ඇති කිරීම අපේ ගැමියන්ගේ සිරිතක් උනා. කුඩා මුට්ටි කැබැල්ලක් සිදුරු කර තැබූ විට ගැමි ගෙදරට ගේ කුරුල්ලන් ඇවිත් පැළපදියන් වුනා. ඔවුන්ට කන්නට වී කරල් මිටියක්ද ගෙදර ඉදිරිපස එල්ලා තිබුනා. එදා කෘෂිකාර්මික පසුබිමක් තිබූ කාලයේ ගෙදර තිබූ වියලෙන ධාන්‍ය ආදිය ගේ කුරුල්ලන්ගේ ආහාරය වුනා. දැනුදු ගම්බද පැරණි ගෙවල්වල මෙම ගේ කුරුල්ලන් ඇතිකිරීම දකින්නට ලැබෙනවා. ගේ කුරුල්ලා ඉන්දියාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයකම දකින්නට ඉන්නවා. ධානය වර්ග විකුණන කොළඹ පිටකොටුවේ හරස් වීදිවල පවා තවමත් ගේ කුරුල්ලන් වාසය කරනවා. කෙසේ වුවත් ගේ කුරුල්ලන් ඇතිකිරීම තවමත් ගෙවල් වල සිරිතක්. අනෙකුත් නූතන කුරුල්ලන් ඇතිකරනු ලබන්නේ කූඩු වල. එහෙත් ගේ කුරුල්ලා නිවසට අරක්ගෙන සිටියත්, සිදුරු කළ මුට්ටියේ විසුවත් උන් කැමති වෙලාවක පියාඹා යනවා. නැවතත් උන්ට කැමති වෙලාවක මුට්ටියට එනවා.

 

2. ලව් බර්ඩ්ස්

Image Source – literature50.wordpres.com

ලව් බර්ඩ්ස් නිවසේ බොහොම සරලව ඇතිකළ හැකි ජනප්‍රිය කුරුල්ලෝ ජාතියක් . දෙදෙනෙකු බොහොම ලෙංගතුව වාසය කරන බැවින් ඔවුන් ලව් බර්ඩ්ස් ලෙස කියනවා. බජිරි ආහාරයට ගන්නා ලව් බර්ඩ්ස්ලා ඇතිකිරීම ගොඩක් ලේසියි. වර්ණ කිහිපයකින්ම සමන්විත ලව් බර්ඩ්ස්ලාට තරමක විශාල කූඩුවක් හදන එක ගොඩක් හොඳයි. උන්ට ආහාර ලබාදීම මෙන්ම නාන්නට අවස්ථාව සැලසීමද කළ යුතුයි.  පරම්පරා ගණනාවක සිට කූඩුවලම වාසය කරන ලව් බර්ඩ්ස්ලා එළියට ඉගිල යන්නට එතරම්ම උත්සාහයක් ගන්නේ නැහැ.

 

3. ගිරවු (කොකටියල්)

Image Source – animalsake.com

ගිරවුන් වර්ග ගාණක් ඉන්නවා. එයින් ලංකාවේ කොලපාට, රතුපාට හොට ඇති ගිරවුන් නිවෙස්හි ඇතිකරනවා . ඇතැම් ගිරවුන් පුහුණුකළ පසු හොඳින් කතා කරනවා. එහෙත් පිටරට සිට එන හැඩකාර ගිරවු විශේෂ ඉන්නවා. ඔවුන් පහසුවෙන් ඇතිකළ හැකියි. මැකෝ ගිරවෙක් නම් දකුණු ඇමරිකාවේ සිට ලංකාවට එන විට ලක්ෂ ගණනක මිලක් වෙනවා. සාමාන්‍ය කොකටියල්  නම් ගිරවුන් දැන් සුරතල් සතුන් ඇතිකරන තැන්වල විකිණීමට තියනවා. කොකටියල් ගිරවුන්ගේ නිජබිම ඔස්ට්‍රේලියාවයි. ඔස්ට්‍රේලියාවෙන් බිහි වුනත් ලොව පුරා පක්ෂි ලෝලීන් අතර ජනප්‍රියම ගිරවෙක් බවට පත්වෙන්නට කොකටියල්ට හැකි වී තිබෙනවා. කොකටියල්ට සාමාන්‍යයෙන් විශාල කූඩු අවශ්‍ය වෙනවා. ගිරා පවුලේ බොහෝ පක්ෂීන් නිතරම ශබ්ද නගන සුලුයි. ඔවුන්ගේ ශබ්දයට අකමැති නම් කොකටියල්ස් හෝ වෙනත් ගිරවුන් වර්ගයක් ඇතිකිරීමට ගැනීම එතරම් යෝග්‍ය නැහැ.

 

4. කුකුළන් (බැන්ටම් චිකන්)

Image Source – lithgowmercury.com.au.com

ව්‍යාපාරයක් ලෙස මෙන්ම සුරතල් සතුන් ලෙසද කුකුළන් ඇතිකිරීම ජනප්‍රියයි. අතීතයේ ගොවි ගෙදරවල අලංකාර විශාල කුකුළන් දක්නට ලැබුණි. ලංකාවේ වලි කුකුළාද වර්ණවත් පක්ෂියෙක්. සුරතලයට කුකුළන් ඇතිකරන අය අතර ලස්සන පිහාටු සහිත බැන්ටම් චිකන් නැමැති කුකුළු විශේෂය ජනප්‍රිය වී තියෙනවා. එම කුකුළන්ගේ බිත්තර සාමාන්‍ය කිකිළි බිත්තර වලට වඩා කුඩායි. එහෙත් ස්වභාවයෙන් සාමාන්‍ය කුකුළු බිත්තර ලෙසම ආහාරයට ගත හැකියි. බැන්ටම් කුකුළන් සාමාන්‍ය කුකුළන්ට වඩා කුඩායි. බැන්ටම් කුකුළන්ද වර්ග කිහිපයකින් සහ වර්ණ කිහිපයකින් දකින්නට ලැබෙනවා.

 

5. පරවියන්

Image Source – youtube.com

විදුලි සංදේශ ජනප්‍රිය වීමට ප්‍රථම ලියුම් ගෙනයාමට පාවිච්චි කළේ පරවියන්වයි. පාදයේ ගැටගැසූ යම් පණිවුඩයක් පරවියන් මාර්ගයෙන් තැනකින් තැනකට යැවීම එකල ජනප්‍රිය වුණා. ලන්දේසි යුගයේ සන්නිවේදන පරවියන් රඳවා තැබූ විශාල කූඩු තවමත් පුරාවස්තු ලෙස යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ දැකගන්න පුළුවන්. පාකිස්ථාන පරවියන්, සාමාන්‍ය පරවියන් සහ සුදු පරවියන් ලෙස වර්ග කිහිපයක් සුරතල් සතුන් ඇතිකරන්නන් අතර ජනප්‍රියයි. මිනිසුන් සමග ඉතා ඉක්මනින් මිත්‍ර වන පරවියන් අතරින් සුදු පරවියන් සාමයේ සංකේතය ලෙස උඩ යැවීමද නිදහස් දිනවලදී සිදු කරයි. වී, සහල් ආදිය ආහාරයට ගන්නා පරවියන්ට කෑම ලබා දීමද පහසු කටයුත්තකි.

 

6. ඇෆ්රිකන් ලව් බර්ඩ්ස්

Image Source – youtube.com

ගිරවා වැනි රවුම් හොට සහිත, දීප්තිමත් රතු, කහ, කොළ වර්ණයෙන් සමන්විත අප්‍රිකානු ලව් බර්ඩ්ස් ආකර්ෂණීය කුරුලු විශේෂයක්. නමින් කියවෙන ආකාරයටම අප්‍රිකාව පුරා විසිරී සිටින මෙම අප්‍රිකානු ලව් බර්ඩ්ස්ලා මැඩගස්කරයේද සිටිනවා. ලව් බර්ඩ්ස් ලෙස හැඳින්වුවද මොවුන් ගිරා පවුලේ කුඩාම සාමාජිකයින් වෙනවා. තනිව වාසයට වඩා කුරුල්ලන් කිහිප දෙනෙකු සමග වාසය කරන්නට මෙම ඇෆ්රිකන් ලව් බර්ඩ්ස්ලා කැමතියි. විශාල කූඩුවල ඇතිකළ යුතු මොවුන්ට සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු සහ වාසය කිරීමට අතු කැබලි ආදිය තබන්නේ නම් හොඳයි. ඔවුන්ට බිත්තර දැමීමට සහ පැටවුන් රැකබලාගැනීමට කුඩා සිදුරුකළ පොල්ලෙලි හෝ එවන් වූ අවකාශයන් නිර්මාණය කර තැබීමද කළ යුතුයි.

 

7. කොකටුවන්

Image Source – thesprucepets.com

කොකටු වර්ගයේ ගිරවුන් ඔවුන්ගේ තටු වල විශේෂත්වය නිසාම ජනප්‍රිය වූ කුරුළු විශේෂයක්. තනි සුදු පැහැ පිහාටුවලින් වැසුණු කොකටුවන්ගේ හොට සහ පාද කළු පැහැයක් ගන්නවා. කූඩුවේ ඉන්නවාට වඩා නිවෙසට විත් නිවැසියන් සමග වාසයට කොකටුවන් මනාපයි. මිනිසුන්ගෙන් ඈත පරිසර වල තැබූ විට කොකටුවන්ට සාංකාව ඇතිවූ අවස්ථාද වාර්තා වෙලා තියනවා. පුහුණු කළහොත් මිනිසුන් කතා කරන වචන 50ක් පමණ කතා කිරීමට අම්බ්‍රෙල්ලා කොකටුවන් සමත්.

විශාල කූඩු තනාගෙන, කුරුල්ලන් කිහිප දෙනෙක් මිලදී ගෙන කුරුල්ලන් හදන්නට පටන් ගන්නා සමහරුන්ට ටික දිනකින් කුරුල්ලන්ට සැලකීම එපා වෙනවා. කුරුල්ලන් කියන්නේත් අපි වගේම සතුන් පිරිසක්. ඔවුන්ටත් ලෙඩ රෝග හැදෙනවා. ඔවුන්ටත් කෑම බීම, පෝෂණය අවශ්‍යයි. කුරුල්ලන් ඇතිකරන්නට පටන් ගැනීම මෙන්ම නිතර ඔවුන්ගේ උවමනා එපාකම් සොයා බලා ඔවුන්ව රැක බලාගැනීමත් කුරුලු ලෝලීන් විසින් කළ යුතුම දෙයක් වෙනවා.

Cover Image Source – naturesgiftaromatherapy.blogspot.com/ lafeber.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *