ෆිල්ම් එකට අමතරව ලංකාවෙ හෝල් එකකදි ඉවසන්න වෙන ඩ්‍රාමා

ෆිල්ම් හෝල් කියන්නේ රූපවාහිනිය නැති කාලේ ලංකාවේ තිබුණු ජනප්‍රියම විනෝද අත්දැකීමක්. අද ලංකාවේ නම් රූපවාහිනිය එක්ක සිනමාව යම් පසුබෑමක් දක්වනවා.  ලෝකයේ ගත්තාම රූපවාහිනිය සහ පරිගණකයෙන් ළඟාවෙන්න බැරි උපරිම අත්දැකීම් රැසක් ලබාදෙන්න සිනමාශාලා සමත් වෙලා තියනවා. ෆිල්ම් එකක් බලන්න හෝල් එකට යෑම ටීවී එකේ, ලැප්ටොප් එකේ හෝ ෆෝන් එකේ ෆිල්ම් එකක් බැලීම තරම් ලාබ නැහැ. සිනමා හෝල් වල වෙනම තැන් තියෙනවා. වෙනම වෙලාවක් වෙන් කරගන්න ඕනි. ඒ වගේම තරමක වැඩි මිලක් දීලා ටිකට් එකක් ගන්නත් ඕනි. ඔය කොයි කැපකිරීම කරල ගියත් සිනමාශාලාවෙත් කලකිරීම් ඇතිවෙන වෙලාවල් තියෙනවා. ඒ මොනවද ඒ? අපි දැනගනිමු නේද ඒ සිනමාශාලාවේ තියෙන වෙනත් ඩ්‍රාමා ගැන.

 

1. අඬන ළමයි

Image Source – handinhandparenting.org

ළමයි අඬන එක අලුත් දෙයක් නෙමෙයි. ඒත් අඬන ළමයි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලන අයට නම් සිරාම කරදරයක්. සමහර විට බොහෝම දියුණු තැන්වල ඉන්න දියුණු ජනතාව නම් එහෙම ළමයි අඬද්දි ඒක ඉවසගෙන ඉන්නවා ඇති. ඒත් අපි ෆිල්ම් බලන්න යන්නේ ලංකාවේ නම් හෝල් එකකට සැලකිය යුතු ගාණක් ගෙවලයි. ඇරත් විවේක දවසේ වැදගත් වෙලාවක් අපි ඒකට වෙන් කරගන්නවා. එහෙම ගිහින් ඔන්න ෆිල්ම් එක රසවිඳින්න ගත්තා විතරයි පටන් ගන්නවා අඬන ළමයින්ගේ සද්දේ. සානුකම්පිතව බැලුවොත් කුඩා දරුවන් සිටින දෙමාපියන් ගෙවන්නේ බෙහොම අවිවේකී දිවියක්. ඔවුන්ට රෑට නින්දක් පවා නැහැ දරුවන් නිසා. ඔවුනුත් ආසයි දරුවත් එක්ක ඇවිත් ෆිල්ම් එකක් බලන්න. ඒත් ඉතින් ඒකෙන් අනෙක් අයට වෙන කරදරය? ඒ නිසා ඉක්මනින් අඬන දරුවෝ ඉන්න දෙමාපියෝ ටිකක් දරුවන් ලොකු වෙනකල් ෆිල්ම් එකක් බලන්න දරුවන් එක්ක නොඑනවා නම් හොඳයි.

 

2. ෂොපින් බෑග් අංකල්

Image Source – bt.com

අංකල් බුවාල සහ ඇතැම් අය හෝල් එක තුළ පොප් කෝන් සහ අනෙක්වා ගණන් වැඩි නිසා පිටතින් ඒවා මලුවල දාගෙන එනවා. ඇවිත් හිමීට ඒ පොලිතින් මලු ඇරලා කන්න ගන්නවා. මේ ගොඩක් පිටතින් ගේන බිස්කට්, බයිට්ස් සහ ඒ වගේ ආහාර ද්‍රව්‍ය ඔතලා තියන්නේ සිලි සිලි කවර වල. මේ සිලි සිලි කවර වල සද්දේත් ටිකක් ඉවසන්න අමාරුයි කණට. සමහර වෙලාවට හැරිලා ටිකක් රවලා බැලුවත් අංකල්වරු සිලි සිලි මලු මිරික මිරික කන එක නම් නවත්වන්නේ නැහැ.

 

3. නෑම අරහන් ඩයල්

Image Source – entertainism.com

ගෙදර ඉඳන් ලැප්ටොප් එකක් එක්ක ඉන්නවා වගේ නෙමෙයි ෆිල්ම් හෝල් එක. නානාප්‍රකාර මිනිස්සු එනවා. සීට් එක බුක් වුනාට පස්සේ වටේ බොහොම සුගන්ධවත් ඩයල් අපිට සෙට්වෙනවා. ඒ වගේ වෙලාවට නම් ටිකක් අමාරුයි නහයට. සමහර අයගේ ජීවන සුවඳ එයාලට දැනෙන් නැහැ. ඒත් අපිට සැරටම දැනෙනවා.

 

4. බොක්ස් වල ජිම්නාස්ටික්

Image Source – greatist.com

ගම්බද හෝල් එකක ෆිල්ම් බලන්න සෙට් වුනොත් ඇතැම් හෝල් වල හෝල් එකේ ඉන්න කට්ටියට වඩා පිරිසක් බොක්ස් වල ඉන්නවා. මේ පෙළක් බොක්ස් වලින් සමහර වෙලාවට එක එක කිරි කිරි සද්ද සහ අහ් උහ් ආදී සද්ද, ජිම්නාස්ටික් සද්ද එනවා. සිරි සිද්ධාර්ථ ගෞතම වගේ සැදැහැවත් ෆිල්ම් එකක් බලාගෙන හිටියත් ඒ වගේ අවස්ථාවක සිත එකඟ කරගෙන ෆිල්ම් එක බලන්න අපහසුයි බොක්ස් ආසන්නයේ වාඩි වුන අයට. බොක්ස් වලට ටිකක් ඈතින් වාඩිවුනා නම් වැඩේ ගොඩ. ඒත් ඉතින් සමහරු ඒ බොක්ස් වල සිදුවන දේ බලන්නට බැරි වුනත් අහලා හරි මවාගන්න ඕනි නිසා බොක්ස් වලින් එන සද්ද බලාපොරොත්තුවෙන් ඒවා ආසන්නයේම වාඩිවෙනවා.

 

5. මගින් ගැනීම

Image Source – snowys.com.au

හෝල් එකේ ෆිල්ම් එක පටන් ගත්තා කියමු. ඔන්න නාමාවලිය යද්දි ටෝච් පාර වදිනවා. ඩෑල් එකක් කරුවලේ අත ගගා ඇවිත් වාඩිවෙනවා. ඉන් පස්සේ ෆිල්ම් එකේ මුල හරියෙදිත් එහෙම කරුවලේ රෙද්ද ඇරන් එනවා. ඒ විතරක් නම් මැදැයි. මෙන්න ඉන්ටවල් කිට්ටුවත් එනවා. ඒ විදියට ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ ටෝච් එළියෙන්, ෆෝන් එළියෙන් හෝල් එකට ඇතුලුවෙන සෙට් එකත් ෆිල්ම් එක බලන අයට හිරිහැරයක්.

 

6. කෑ කෝ ගැසීම සහ රියැක්ෂන්

Image Source – collider.com

මේක ලංකාවෙ දෙමළ ෆිල්ම් බලන්න දෙමළ සෙට් එක වැඩිපුර ඉන්න හෝල් වලට ගියාම අත්දකින්න ලැබෙනවා. ඉන්දියාවේ නම් ගොඩක් හෝල් වල තත්ත්වය මෙහෙමයි. ෆිල්ම් එක බලන මිනිස්සු පිරිසක් ෆිල්ම් එක ඇතුළේ ජීවත් වෙනවා. සටන් නළුවා ගහනකොට ඒ එක්ක හුරේ දානවා. ඔහු වැටෙනකොට ඔහු එක්ක දුක් වෙනවා. ෆිල්ම් එකේ කොටට ඇඳන් යන කෑල්ලට මේ හන්දියේ අපේ පාරේ යන කෑල්ලක්ය කියලා හිතලා සූ දානවා, සද්ද දානවා. ඒ විදියට අනුන්ට බාධා වෙන රියැක්ෂන් වැඩි සෙට් එකක් එක්ක ෆිල්ම් බැලීමත් ටිකක් අමාරු වැඩක්.

 

7. ෆිල්ම් ද ඇඩ්ද?

Image Source – netflix.com

ළඟදි බොහිමියන් රැප්සඩි බලන්න ලංකාවේ තියෙන සුපිරිම හෝල් එකකට ගියා. ෆිල්ම් එක පැය දෙකයි විනාඩි 15ක්. ඒත් ෆිල්ම් එකේ එක ශෝ එකක් ඉවර වෙන්න පෑ දෙකයි විනාඩි 45ක් යනවා. ඒ කියන්නේ අපි රුපියල් දාහකට කිට්ටු ටිකට් එකක් අරන් ෆිල්ම් එක බලන්න වාඩි වුනත් පැය බාගයක් ඇඩ් බලන්න වෙනවා. විනාඩි දහයක් වගේ නම් ටිකක් පරක්කු වෙලා එන සෙට් එකටත් එක්ක අවුලක් නැහැ. ඒත් හොඳටම සෙනග ඉන්න ෆිල්ම් එකක පැය බාගයක් විතර ඇඩ් කියන්නෙ ඇත්තටම ප්‍රේක්ෂකයාට රතු කට්ට පේන වැඩක්.

 

8. ෆෝන් බිල්ලන්

Image Source – themirror.co.uk

ෆිල්ම් එකක් බලන්න සෙට් වෙද්දි ෆෝන් එක සයිලන්ට් කරගන්න කියන එක තවදුරටත් දැනුම්දෙන්න ඕනි දෙයක් නෙමෙයි. ඒක කොමන් සෙන්ස් එකක් විදියට වෙන්න ඕනි දෙයක්. දැන් තියෙන ස්මාට්ෆෝන් අඟල් 5-6 ලොකු ස්ක්‍රීන් තියෙන ඒවා. සමහර අය ෆිල්ම් එක අතර මේ ස්ක්‍රීන් ඔන් කරගෙන එක එක වැඩ කරනවා. තව අය චැට් කරන්න ගන්නවා. මේ ස්මාට්ෆෝන් එකේ එළිය නිසා ෆිල්ම් එක සිරාවට බලන අයට කරදරයක් වෙනවා. කෝල් නොකෙරුවත්, ෆෝන් එකෙන් ඒ ෆිල්ම් බලන කාලෙදිවත් ඈත්වෙලා ඉන්න පුළුවන් නම් තමුන්ට ෆිල්ම් එක බලන්න ලැබෙනවා වගේම අනුන්ටත් කරදරයක් නැතුව ෆිල්ම් එක රස විඳින්න අවස්ථාවක් ලැබෙනවා.

පොදු තැන් වලදී හැකිතාක් අනෙක් අයට කරදර හිරිහැර නොවන විදියට ඉන්න එක දියුණු සමාජයක ලක්ෂණයක්. ඒ වගේ අපිටත් අනුන්ට වදයක් නොවී ඉන්න පුරුදුවෙන්න හැකිනම්, ෆිල්ම් හෝල් එකකදි වෙන කරදර වලින් අපි හැමෝටම ඈත් වෙන්නට පුළුවන්. හිතට අලුත් අත්දැකීමක් ගන්න, ෆන් එකක් ගන්න ෆිල්ම් එකකට සෙට් වෙද්දි අනෙක් බලන අය ගැනත් හිතලා වැඩකටයුතු කරන්න ඕනි. එතකොටයි අපිට වගේම ඉන්න සෙට් එකටම සිනමා කෘතිය ලෙසටම විඳගන්නට ලැබෙන්නේ.

Cover Image Source – detroit.eater.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *