අපිට පේන්නම බැරි වගේම ජීවිතයෙන් අයින් කරගන්නමත් බැරි විෂයක් තමයි මේ රටේ දේශපාලනය කියලා කියන්නේ. ඊයා අනේ මට නම් ඇති වෙලා කියලා කතන්දර දෙන අක්කලා තමයි ඉස්සෙල්ලම ඡන්දේ දාලා ඇඟිල්ල පාට කොරගෙන ඕකේ පොටෝ ගහලා බුකිගත කරන්නේ. ඒවයෙන් වැඩක් නැහැ. රැල්ලට හරි බහුතරයක් දෙනා මට නම් අපේ රටේ පොලිටික්ස් අල්ලන්නේ නැහැ කියන්නේ ඒකෙන් මිනිස්සුන්ට මෙලෝ දෙයක් වෙන්නේ නැති ගාණටයි. හැබැයි ඉතින් එච්චර අජපල් දේශපාලනයෙනුත් අපිට ඉගෙනගන්න දේවල් ඉතුරුයි.
1. කෙළවලා යන්නේ ළඟින්ම හිටපු අය බව
කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් වුණාට මේ සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් වුණේ 2015 ජනාධිපතිවරණය තමයි. මෛත්‍රිපාල මහත්තයා මහින්ද මහත්තයාගේ බුදු ෆිට් වෙච්චි. එහෙව් එකේ අනික් පහු වෙනිදා එකට කාලා බීලා සාමීචියේ යෙදුනගෙනුත් පස්සේ තමන්ට විරුද්ධව එදිරිවාදියා වෙන්න තරම් හැකියාවක් ලැබුණා. ඒක අහපු වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට දැනුණ පුදුමය වගේ සිය දාස් ගුණයක් මහින්ද මහත්තයාට දැනෙන්න ඇති. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතවලත් එක බත්පත බෙදාන කන එකා තමයි වෙලාව බලලා වහ පොවන්න වුණත් දෙපාරක් හිතන්නේ නැත්තේ.
2. වාසි පිලට හෝයියා වීමේ ඈයියා එක
මෙහෙ ඉඳන් එහෙට එහෙ ඉඳන් මෙහෙට පනින කිසිම ප්‍රතිපත්තියක් නැති හාල්පාරු දේශපාලන උදවිය මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වුණා. ඊළඟ පාර එයාලා ඡන්දෙන් දිනන්න වුණත් පුළුවන්. ඒත් මේ මනුස්සයා මෙහෙම කෙනෙක් ය කියන ජුගුප්සාජක හැඟීම නැති වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ජීවිතයේ දේවල් සම්බන්ධයෙන් නිශ්චිතබවක් නැත්නම් සමාජයේ අනික් අය ඉස්සරහ නියත වශයෙන්ම නෝන්ඩි වෙන්න වෙනවා. අන්න ඒ දේට බයයි නම් ඒ වගේ කෙනෙක් වෙන්න මිනිස්සු බයයි.
3. උත්සාහය අත් නොහැරිය යුතු බව
අවුරුදු ගාණක් තිස්සේ ඡන්දෙන් පැරදිලා පැරදිලා ආයෙත් ඡන්දෙකට එන්ටර් වෙන්න යනවා කියන්නේ අදාළ ඉලක්කයට යන්න තියෙන හෙනම ආසාවනේ. දේශපාලන මල පෙරේතකම තමයි ඒක හරි. ඒත් ඒ කතාව පැත්තකින් තිබ්බොත් ඒකෙන් පේන්නේ ඇත්තටම අත ඇරියේ නැති උත්සාහයක් විතරයි. මිනිසුන්ගෙන් දාහක් කතන්දර අහගෙන ආයේ ආයේ තමන්ගේ අවස්ථාව උරගා බලන තක්කඩියා ලොකු පාඩමක් කියලා දෙනවා.
4. පරාජය විඳගැනීම
ජය පරාජය සම සමව විඳින හැටි කියා දෙන්නේ ක්‍රීඩාව කියලා තමයි අපි පොත්වල කියවලා තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රායෝගිකව දේශපාලන රාමුවේ ඕක හිතේ හැටියට දැකගන්න පුළුවන්කමක් තියෙනවනේ. තව ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කියලා එයාලාමත් කියනවා. ඡන්දෙකින් පැරදුණා කියලා ආවේගෙට පිස්සු කෙළපු එකම දේශපාලකයෙක්වත් අපේ රටේ නැති තරම්. ඒ පරාජය ඊළඟ මැතිවරණයටත් හයියක් කරගන්න එක තමයි අපේ කට්ටිය කරන්නේ.
5. සිනහවෙන් හෝ කතාවෙන් මිනිසාව මනින්න බැරි බව
මේ අපි අවිවාදයෙන්ම පිළිගන්න ඕනි දෙයක් නේ. ඡන්දේ කාලෙට කට පුරා හිනා වේගෙන සිරිමත් වගේ හැසිරෙන අය තමයි යන්න ඕනි තැනට ගියාම තියන තරමක් දේවල් කඩාවඩා ගන්නේ. දේශපාලන වේදිකාවල උගුර ලේ රහ වෙනකන් දූෂණය අරවා මේවා ගැන කතා කරලා දූෂණ අක්‍රමිකතා එයාම පටන් ගන්නවා. අපේ ජීවිතවලට මිනිස්සු ළං කරගනිද්දීත් ඕනිවට වඩා හොඳ බබා සීන් එකේ එන අය ගැන පරීක්ෂාවෙන් ඉන්න මේ නිසා පෙළඹෙන්න ඉඩ තියෙනවා.
6. පමණට වඩා බලාපොරොත්තු වීම දුකක් බව
පමණට වඩා නෙවෙයි සාමාන්‍ය තරමින්වත් බලාපොරොත්තු කියන දේවල් ජීවිතේ එක්ක ගනුදෙනු කරන විදිය දේශපාලනේ දී දැකගන්න පුළුවන්. ඡන්ද කාලෙට දෙන පොරොන්දු එක්ක මිනිස්සු බලාපොරොත්තු ඇති කරගන්නවා. රස්සාවක් ගන්න පුළුවන්ම වෙයි කියලා හිතනවා. එහෙම හිතාගෙන කාලේ කකා ඉන්නවා. ඒත් පස්සේ තමයි බලාපොරොත්තු කඩ වුණාම දැනෙන වේදනාව දැනෙන්නේ. බණ පදයක් ඇහුවත් ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දේශපාලනයේ දී ඒ දේ දැනෙනවාමයි.
7. දේවල් සම්බන්ධයෙන් අප දන්නා කෙහෙල්මලක් නැති බව
ලෝකේ කාලා වතුර බීලා විශ්වය අතැඹුලක් සේ දන්නවා කියලා කියන අයත් ලංකාවේ දේශපාලනය ඉස්සරහා පදිරි. මේ මොඩල් එකේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියන්න අපි කවුරුත් දන්නේ නැහැ. එහෙම දන්නේ නැති දේවල් සම්බන්ධයෙන් දන්නවා වගේ පොර කතන්දර කියවන අයටයි මේක අදාළ වෙන්නේ. එහෙම කෙනෙක්ට වඩා මුකුත් ම දන්නේ නැති කෙනෙක් වගේ ඉන්න එක ලේසි වෙන්නේ ඇත්ත දැනගත්ත දාට ඒක මොළයට දාගන්න ලේසි වෙන නිසා. වර්තමාන ශ්‍රී ලංකාවේ බල කතන්දරයට මූලික වෙච්ච තුන්දෙනා කොන්සට් එකක් බලන්න අඹ යාළුවන් වශයෙන් ගිහින් තිබ්බනේ. ඒත් අපි හිතන් හිටියේ මොකද්ද?
Leave a Reply