දම් රැජිණ වගේ බස් මොඩිෆයි කිරීම ගොඩයන්ගේ වැඩක්ද?

බස් එකක් හොඳට තියෙනව නම් අපි හැමෝම ආසයි ඒකේ නැගලා යන්න. අපිරිසිදු, කිසි පිළිවෙලක් නැති, සීට් ටිකත් ඉරිලා තියෙන සමහර ලංගම බස් වලට වඩා පුද්ගලික බස් ගොඩක් පිරිසිදුව තියෙනවා. ඒ අතරින් මේ පිළිවෙලට තියාගැනීමෙන් එහාට ගිය අලුත්ම මාදිලියේ බස් ටිකක් පහුගිය කාලේ කරළියට ආවා. ලයිට් අල්ලලා, ශීතකරණ සවිකරලා, ප්ලග් පොයින්ට් තියලා, සවුන්ඩ් සෙටප් සෙට් කරලා, පිටටත් සවුන්ඩ් තියලා හරි ලස්සනට මොඩිෆයි කරපු බස් කිහිපයක්ම පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය වුනා. එයින් දම් රැජිණ, මොණර පැටික්කි වගේ නම් කිහිපයක් ෆේස්බුක් වලත්, යූ ටියුබ් වලත් ගොඩක් දෙනා කතාබහ කරන මාතෘකා බවට පත් වුනා.

 

1. බස් හැඩ කිරීම හොඳ නැති දෙයක්ද?

Image Source – youtube.com

පරණ සීයල නම් අපි පොඩ්ඩක් ෆැෂන් එකක් කරගෙන යන්න හදද්දි ඒකට එච්චර කැමති නැහැ. කොණ්ඩෙ ජෙල් ටිකක් ගාගෙන යන එකත් එයාල දකින්නේ ඕනි නැති වැඩි වැඩ විදියට. ඒ වගේම බස් මොඩිෆයි කිරීමත් සමහරුන්ට දිරවන්නේම නැහැ. ඒත් බස් හිමිකරු බස් වල යන අයට තව තවත් පහසුකම් දීලා බස් එක හැඩ වැඩ කරන එක බොහොම හොඳ දෙයක්. ඒ තුළින් බස් රියක යන මගීන්ට වෙනදාට වඩා හොඳ පහසුකම් ලැබෙනවා. ඒත් ඉතින් අනික් අයට කරදරයක් වෙන හෝන් වල එහෙම නම් අවුලක් තියෙනවා. මේ බස් සමහර ප්‍රදර්ශන ආදියටත් ගෙනහින් තිබුනා. ඒ තැන්වලදී බස් වලින් එක එක වැඩ දාන්නත් මේ දම් රැජිණ, මොණර පැටික්කි, වැලිගොව්වා වගේ බස් ක්‍රියාකරල තිබුනා.

 

2. බස් එක ඇතුළට එකතු කරපු දේවල්


බස් එකක ට්‍රිප් එකක් ගියාම අපිට එන එක අවුලක් තමයි වතුර ගෙනියන එක. සෙට් එක කෑම අරන් ගියත් ඒ වගේම වතුරත් ගෙනියන්න වෙනවා. මේ මොඩිෆයි බස් වල වෙනම වතුර ටැංකියක් තියෙනවා. ඒකෙන් ජලය බොන්න ගන්න පුළුවන් කිසිම අවුලක් නැතිව. බස් එක ඇතුළේ ෆ්‍රිජ් එකක් සවිකරලා තියෙනවා. මේ නිසා අයිස් ක්‍රීම් එකක් වුනත් කිසි අවුලක් නැතුව දාගෙන ගිහින් මගදි කන්න අවස්ථාව ලැබෙනවා. සනීපදායී සීට් තියෙන මේ බස් වල ඇතුළේ අලංකාර ලයිට් සෙට් එකකුත් තියෙනවා. ටීවී එකක් හැමෝටම පේන්න ලොකුවට තියෙනවා. හොඳ මියුසිකල් ශෝ එකකට ගියා වගේ සද්දෙන් සිංදු අහන්න පුළුවන් සෙටප් එකකුත් බස් එක ඇතුළේම තියෙනවා.

 

3. බස් එකේ පිටට පේන දේවල්

Image Source – facebook.com

මේ බස් එකක තියෙන ලස්සනම දේ තමයි ලයිට් සෙට් එක. රෑට පාරේ යද්දි ජංගම තොරණක් යනවා වගේ ලස්සනට බස් එක පේනවා. පිටට පේන්න තියෙන බස් එකේ බඳ ස්ටිකර් ගහලා හැඩ කරන්නත් බස් හිමියන් අමතක කරලා නැහැ. බස් එකෙන් පිටට තියෙන මෙට්ල් බාර් සහ ප්ලාස්ටික් කෑලි පවා ලස්සන වෙන විදියට නිමවලා තියෙනවා. වීදුරුත් කළු කරලා ඉර අවුව ඇතුළට එන්නේ නැති වෙන්න සකස් කරලා තියෙනවා. බස් එකට නැග්ගම විතරක් නෙමෙයි පිටින් ඈතින් එනකොටත් මේ එන්නේ අහවල් බස් එක කියලා අඳුරගන්න හැකි වෙන්න හොඳ කික් එකක් තියෙන නාද රටා සහිත හෝන් පද්ධතියකුත් මේ බස් වලට සවිකරලා තියෙනවා. එළියෙන් ඉඳගෙන හීනියට සද්දයක් දාල පාටි සීන් එක්ක කරන්න පුළුවන් වෙන්න එළියෙනුත් සවුන්ඩ් සිස්ටම් එකක් මේ බස් වල සවිකරලා තියෙනවා.

 

4. මේ බස් මගී ප්‍රවාහනයට සුදුසුද?

Image Source – facebook.com

මාර්ගයේ ධාවනය වන බස් රියක තිබිය යුතු පහසුකම් ටිකක් තියෙනවා. බස් එක පිරිසිදුව තියාගෙන ස්ටිකර් ලයින් එකක් ගහගෙන පොඩි ලයිට් ටිකක් සෙට් කරගත්තාට කිසි අවුලක් නැහැ. ඒත් ඊට වඩා බස් එක ගොඩාක් මොඩිෆයි කරන්න මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තියෙන රෙගුලාසි වලට අනුව බැහැ. ලංකාවේ බස් සේවාව වර්ග කීපෙකට බෙදෙනවා. සාමාන්‍ය, අර්ධ සුඛෝපබෝගී, වායුසමන, අධි සුඛෝපබෝගී තමයි ඒ බස් සේවා වර්ග. ඒ අනුව ඉහළම මට්ටමේ ඇති අධි සුඛෝපබෝගී සේවාවේ ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් හතර ගුණයකට කිට්ටු වෙන වෙලාවල් තියෙනවා. එතකොට අධි සුඛෝපබෝගී සේවාවේ තියෙන සමහර පහසුකම් සාමාන්‍ය සේවා වලට එකතු කරන්නට බැහැ.

 

5. ඇයි පොලිසියෙන් ස්ටිකර් ගැලෙව්වේ?

Image Source – facebook.com

වාහනයක් අපිට හිතුන හිතුන විදියට මොඩිෆයි කරලා පාරක ගෙනියන්න බැහැ. පොලිසියට සහ මෝටර් ප්‍රවාහන අංශ වලට බලය තිබෙනවා වාහනයක් මොඩිෆයි කළ යුතු සීමාව තීරණය කරන්න. බස් එකක් රුපියල් ලක්ෂ 15ක් විතර දීල මොඩිෆයි කළාට පස්සේ පොලිසියෙන් සහ අදාළ අංශ වලින් ඒවා ගලවන්න කියන එක දුකයි. ඒත් රටේ රථවාහන වලට නීති රීති රෙගුලාසි තියෙනවා. ඒවා අනුව වැරදි නම් ඉතින් ඒ මොඩිෆයි කිරීම් ගලවනවා හැර වෙනත් විසඳුමක් නැහැ.

 

6. මේක ගොඩයන්ගේ වැඩක්ද?

Image Source – dawn.com

වාහන මොඩිෆයි කිරීම, හැඩ කිරීම කියන්නේ එක්තරා කලාවක්. පාකිස්ථානයේ සහ ඉන්දියාවේ හිමාල කොටස් වල ධාවනය වන ලොරි කියන්නේ එක්තරා කලාවක්. ඒ ලොරි බොහොම හැඩට ලස්සන කරලා තියෙනවා. ඉන්දියාවේ වගේම ලංකාවෙත් ත්‍රී රෝද රථ ලස්සන කරනවා. ඒ වගේම පරණ කාර් එහෙම අරගෙන ලෙසට හදලා ලස්සන කරන එකත් ජයටම කෙරෙනවා. ඉතින් බස් එකක් මොඩිෆයි කළාම ඒක ගොඩයන්ගේ වැඩක් කියන එක අනුමත කරන්න බැහැ. අනික මේක රජයේ මුදලින්වත්, මහජන මුදලින්වත් කරන දෙයක් නෙමෙයි. බස් හිමිකරු ඒකට කැමති අය වෙනුවෙන් කරන දෙයක්.

 

7. මොඩිෆයි බස්වල අද තත්ත්වය

Image Source – facebook.com

පාරෙ මගී ප්‍රවාහනයට මේ බස් වලට යම් යම් නීති රීති රෙගුලාසි එන්න ගත්තා. ඒ නිසා දැන් මේ බස් වන්දනා ගමන්, විනෝද චාරිකා යන අයට හොඳට සෙට් වෙලා තියෙනවා. සමහර බස් දුර පළාත්වල තියෙන ප්‍රදර්ශන ආදියේ විස්කම් දක්වන්නත් ගෙනියනවා. මේ බස් කොළඹ සිටින ඇතැම් මොඩ් අයට විකාරයක් වුනත්, ගම්බද ජනයාට නම් ලොකු දෙයක්. මොකද ගමට ගියාම තියෙන කැඩිච්ච, තීන්තවත් කාලෙකින් නොගාපු බස් වලට වඩා මේ බස් රිය ඇත්තටම සුරවිමනක් වගේ පේනවා ඇති.

 

8. ඇයි මේ තහනම්?

Image Source – facebook.com

පාරෙ යද්දි අනික් වාහනවලට කරදරයක් නැතිනම්, අනික් ජනයාටත් බස් වලටත් කරදරයක් නැතිනම් ඇත්තටම මේ බස් වල මොඩිෆිකේශන් ගලවන්න කියන එකේ ලොකු තේරුමක් නැහැ. බස් මොඩිෆයි කියන්නේ පිරිසකගේ අහිංසක විනෝදයක්. බස් සේවාව පැත්තෙන් ගත්තොත් අපේ පොලිසියට සහ මගී ප්‍රවාහන අංශ වලට කරනවා නම් මීට වඩා ඕනි තරම් වැඩ තියෙනවා. දම් රැජිණට, මොණර පැටික්කිට, වැලි ගොව්වාට ඈතින් ඉඳන් බනිනවාට වඩා ළඟට ගිහින් ඇතුළේ රවුමක් යන්න. ගිහින් බලන්න අපේ නිකම් බස් එකකට වඩා කොච්චර කික් එක්ක තියේද කියලා. එතකොට දම් රැජිණ කියන්නේ ආගමක් කියලා ෆේස්බුක් ෂෙයාර් කරනවාට වඩා දෙයක් ඒවයේ තියෙනවා කියලා ඔයාලටත් තේරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *