දෙවි කෙනෙක් කිව්වම අපිට ඇති වෙන්නේ ඉතා උතුම් කෙනෙක් කියන හැඟීම. අපි හිතන්නේ දෙවිවරු වැරදි වැඩ කරන්නේ නෑ කියලා. එහෙම අපි හිතන්නේ අපිට වැඩිපුරම බලපාලා තියෙන්නේ බෞද්ධ දේව සංකල්පය නිසා. ඒත් අපි වඳින පුදන හින්දු දෙවිවරු ගත්තොත් කතාව වෙනස්. ඒ අය ගැන හිතලා බලද්දි අපිට හිතෙන්නේ දෙවිවරු කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු වගේම පිරිසක් කියලා. ඒ තරම්ම හොඳ වැඩ වගේම හොඳයි කියලා අනුමත කරන්න බැරි වැඩත් එයාලා අතරින් වෙලා තියෙන නිසා. අපි දැන් ඒ වගේ දේව ඕපදූප කීපයක් ගැන හරාවුස්සලා බලමු.
1. කියන්න බැරි තරම් කැත වැඩක් කරන්න ගිහින් බෙල්ල ගිය මහා බ්‍රහ්මයා
මහා බ්‍රහ්මයා කියන්නේ මේ මුලු මහත් විශ්වයම මවපු දෙවියෝ විදිහටයි සැලකෙන්නේ. ලෝකයේ සියලු දේ මවන මහා බ්‍රහ්මයා “ශතරූපා” කියන දෙවඟනව මවනවා. නමේ කියවෙන හැටියටම මේ දෙවඟන පුදුමාකාර ලස්සනයි. මහා බ්‍රහ්මයා තමන්ගේම නිර්මාණය එක්ක රාගයෙන් බැඳෙනවා. ශතරූපා මේ නිසා තිගැස්මට ලක් වෙනවා. හේතුව බැලුවොත් මහා බ්‍රහ්මයා පියා, ශතරූපා දියණිය. ශතරූපා මහා බ්‍රහ්මයාගෙන් බේරෙන්න කෑගගහා විශ්වය පුරාවට දුවනවා. මහා බ්‍රහ්මයා ඇය පසුපසින් එනවා. ශතරූපාගේ කෑගැහිල්ල අහන ශිව දෙවියෝ මේ සිද්ධ වෙන්න යන දෙයින් කම්පාවටත් කේන්තියටත් පත්වෙනවා. ශිව දෙවියෝ මහා බ්‍රහ්මයා පස්සෙන් එළවන් ගිහින් මහා බ්‍රහ්මයාගේ මූණු පහෙන් එක මුහුණක් කපලා දානවා දඬුවමක් විදිහට. ඒ වගේම ශතරූපාත් මහා බ්‍රහ්මයාට සාප කරනවා මහා බ්‍රහ්මයාගේ බැතිමතුන් බිහි වෙන්න එපා කියලා. මේ සිද්ධියේ ප්‍රතිඵලයක් විදිහටලු මහාබ්‍රහ්මයා චතුර්මුඛ කියලා හැඳින්වෙන්නේ. ඒ වගේම අනිත් දෙවිවරුන්ට කැප වුණු කෝවිල් තිබ්බට මහා බ්‍රහ්මයට කැපවුණු කෝවිල් තියෙන්නේ අතලොස්සක්.
2. ඇඟ පුරා ස්ත්‍රී යෝනි මවා ගත්ත ඉන්ද්‍ර
ඉන්ද්‍ර කියන්නේ දේව මණ්ඩලේ ප්‍රධානියා., දෙවියන් අතර රජ්ජුරුවෝ කියලත් හඳුන්වන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතියේ ඇතුළේ ශක්‍ර දෙවියන් බවට පත් වෙන්නෙත් මේ ඉන්ද්‍ර ම තමයි. ඉන්ද්‍රට දවසක් අසම්මත ආසාවක් ඇති වෙනවා. ඒ තමයි අහල්‍යා කියන ගෞතම සෘෂිවරයාගේ බිරිඳව වරදට පොළඹවාගන්න ඕන කියලා. ඉතින් ඉන්ද්‍ර ගෞතම සෘෂිවරයා ස්නානය සඳහා යන වෙලාව බලන් ඉඳලා ගෞතම සෘෂිවරයාගේ වේෂය අරන් අසපුවට ගිහින් අහල්‍යා එක්ක එක්වෙනවා. කාරිය ඉෂ්ට කරන් එළියට යද්දිම ඉන්ද්‍රට ගෞතම සෘෂිවරයාව මුණ ගැහෙනවා. සිද්ධ වුණු දේ තේරුම් ගන්න සෘෂිවරයා ඉන්ද්‍රගේ ඇඟ පුරා ස්ත්‍රී යෝනි දහසක් මැවෙන්න කියලා සාප කරනවා. ඒ වගේම අහල්‍යාවත් කළු ගලක් වේවා කියලා සාප කරනවා. මේ දේ එක්ක දේව සභාවට මූණ දෙන්න බැරුව ඉන්ද්‍ර සැඟවෙනවා. මේ නිසා දේව සභාවේ කටයුතු අවුල් වෙනවා. ඒ වෙලාවෙදි මහා බ්‍රහ්මයයි අවශේෂ දෙවිවරුයි ගෞතම සෘෂිවරයා මුණ ගැහිලා ඒ දෙන්නට සමාව දෙන්න කියලා ඉල්ලනවා. දෙවිවරුන්ගේ හඬට ඇහුම්කන් දුන්න මහා බ්‍රහ්මයා ඉන්ද්‍රගේ යෝනි දහස ඇස් දහසක් බවට පත් කරනවා. මේ නිසා ඉන්ද්‍රට සහසැස් කියන නම ලැබෙනවා. අහල්‍යාගේ සාපය යම් දවසක විෂ්ණු දෙවියන් රාම කුමාරයාගේ ස්වරූපයෙන් ඇවිත් ඒ ගල ස්පර්ශ කරපු දවසට නැති වෙන්න කියලා වෙනස් කරනවා. ඊට කල්ප කාලාන්තරයකට පස්සේ අහල්‍යාත් මේ නිසා නිදහස් වෙනවා.
3. කාන්තාවක් විදිහට අසුරයන් රවටපු විෂ්ණු දෙවියන්
දෙවියන්ගෙ ආහාරය විදිහට සැලකෙන්නේ “අමෘතය.” මේ අමෘතය මතු වෙන්නේ කිරි මුහුද කළඹලා. මේක කොච්චර බාරදූර ප්‍රොජෙක්ට් එකක්ද කියනවා නම් තනියම දෙවියන්ට විතරක් කරන්න බැරි වෙනවා. ඒ නිසා දෙවියෝ අසුරයන්ගෙ සහයෝගය ගන්නවා. කිරි මුහුදෙන් අමෘතය මතු වුණාම ඒක අසුරයෝ ගන්නවා. මේ වෙලේදී දෙවිවරු විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලනවා අමෘතය අසුරයන්ගෙන් උදුරගෙන තමන්ට ලබා දෙන්න කියලා. මේකට විෂ්ණු දෙවියෝ කපටි උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි දැක්කම පිස්සු හැදෙන කාන්තාවකගේ වේෂයක් ගන්නවා. “මෝහිණී” තමයි මේ ස්වරූපයේ නම. අසුරයෝ ඉදිරියට යන මෝහිණි නටන්න ගන්නවා. මෝහිණි නැටුමට අසුරයෝ අවධානය යොමු කරගෙන ඉද්දි “අමෘතය” තියෙන කළය හොරකම් කරගෙන දෙවියන්ට ලබාදෙනවා.
4. කුම්භකර්ණව නින්දට යැවූ සරස්වතී දෙවඟන
කුම්භකර්ණ ගැන හැමෝම අහලා ඇතිනේ. කුම්භකර්ණ, විභීෂණ සහ රාවණ මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබා ගන්න තපස් රකිනවා. මේ අයගේ තපස ගැන පැහැදෙන මහා බ්‍රහ්මයා මේ අයට වර ලබාදෙන්න තීරණය කරනවා. කුම්භකර්ණ හිතනවා දෙවියන්ගේ රජු වෙන්න, ඒ කියන්නේ ඉන්ද්‍රයාගේ සීට් එක, ඉන්ද්‍රාසනය ලබාගන්න. මේ සිතුවිල්ල දැනගන්න ඉන්ද්‍ර, සරස්වතී දේවියගේ උදව් ඉල්ලනවා. ඇය තමයි වචනයට දෙවඟන. ඇය කරන්නේ ඒ අවස්ථාවේ කුම්භකර්ණගේ මුඛයේ පහළ වෙලා “ඉන්ද්‍රාසනය” වෙනුවට කුම්භකර්ණ ලවා “නිද්‍රාසනය” ඉල්ලන එක. මේ වරය ඇහුණ ගමන් මහා බ්‍රහ්මයත් එය ලබා දෙනවා. තමන්ට වුණු දේ තේරුම් ගන්න කුම්භකර්ණ මහා බ්‍රහ්මයට මේක වරයක් නෙමෙයි සාපයක් කියලා පැහැදිලි කරනවා. වරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බැරි නිසා වරය වෙනස් කරනවා. ඒ අනුව කුම්භකර්ණ අවුරුද්දෙන් බාගයක් නිදා ගන්නවා. බාගයක් අවදියෙන් ඉන්නවා.
5. හඳට වින කරන්න ගිය ගණ දෙවියෝ
නාරද සෘෂිවරයා දවසක් පළතුරක් ශිව දෙවියන්ට ගෙනත් දෙනවා. ශිව දෙවියෝ තමන්ගේ පුතාලා දෙන්නා වුණු ගණ දෙවියන්ටයි කතරගම දෙවියන්ටයි පළතුර බෙදාගන්න කියනවා. ඒත් දෙන්නම රණ්ඩු වෙන්න ගන්නවා. මේ රණ්ඩුව ශිව දෙවියන්ට බේරන්න බැරිවුණු තැන ශිව දෙවියෝ පළතුර දෙන්න ඕන කාටද කියලා අහන්න දෙන්නවම මහා බ්‍රහ්මයා ගාවට යවනවා. මහා බ්‍රහ්මයා පළතුර කතරගම දෙවියන්ට දෙනවා. ඒ වෙලේ කේන්තියෙන් යන ගණ දෙවියන්ට තරහා පාලනය කරගන්න අමාරු වෙනවා. ඒ නිසා ආපහු අසුරයෙක්ගේ වේෂයක් අරන් මහා බ්‍රහ්මයා ඉදිරියට යනවා. ඒ අසුරයගේ භයංකාර ස්වභාවය දකින මහා බ්‍රහ්මයත් බය වෙනවා. ඒත් මේ සියල්ල බලන් ඉන්න “චන්ද්‍ර” දෙවියෝ ගණ දෙවියන්ගේ බොළඳකමට හිනා වෙනවා. මේ නිසා සියලුම දෙවිවරු මේ අසුරයාගේ ඇත්ත දැනගන්නවා. මේ නිසා තවත් කෝපයට පත්වෙන ගණ දෙවියෝ කිසිම කෙනෙක්ට චන්ද්‍රයා නොපෙනේවා කියලා සාප කරනවා. මේ සාපයෙන් කලබලයට පත්වෙන අනිත් දෙවිවරු ගණ දෙවියන්ගෙ කේන්තිය නිවෙනකන් ඉඳලා සාපය වෙනස් කරන්න කියලා ඉල්ලනවා. ඒ ඉල්ලීම පිළිගන්න ගණ දෙවියෝ චන්ද්‍රයා සම්පුර්ණයෙන් නොපෙනී යන තත්ත්වයේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා සම්පූර්ණයෙන් පෙනේවා කියලා පතනවා. ඔන්න ඔය නිසායි අපිට අමාවක, පසළොස්වක පොහොය දවස් ඇතිවෙලා තියෙන්නේ.
6. පාර්වතී දෙවඟනව පරද්දවපු ශිව දෙවියෝ
දවසක් පාර්වතී දේවිය ශිව දෙවියන්ට නර්තන තරඟයකට එන්න කියලා අභියෝග කළා. ශිව දෙවියන් නර්තනයේ දක්වන දස්කම් සියල්ලම ඒ විදිහටම ලාලිත්‍යයෙන් යුතුව පාර්වතී දේවිය දැක්වුවා. තමන් තමන්ගේ බිරිඳට පැරදෙන්න යනවා කියලා තේරුම් ගත්ත ශිව දෙවියෝ තමන්ගේ දකුණු කකුල ඔලුව දක්වා උස්සමින් නර්තනයක යෙදුණා (හිතා ගන්නකෝ කොහොමද කියලා). මේ නර්තන ලීලාව දැකලා ලැජ්ජාවට පත් වුණු පාර්වතී දේවිය පරාජය බාරගත්තා.
7. තමන්ගෙම පියාව ශිෂ්‍යයෙක් කරගත්ත කතරගම දෙවියෝ
දවසක් මහා බ්‍රහ්මයා ශිව දෙවියන්ව මුණ ගැහෙන්න එනවා. ශිව දෙවියන්ට ගරු බුහුමන් දැක්වුවට කතරගම දෙවියන්ව මහා බ්‍රහ්මයා එච්චර ගණන් ගන්නේ නෑ. මේකට කේන්ති ගන්න කතරගම දෙවියෝ මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්න ගිහින් “ඔයා කවුද?” කියලා අහනවා. මහා බ්‍රහ්මයා තමන් “මුළු විශ්වයම මැව්වා කියලා” උත්තර දෙනවා. එහෙම නම් විශ්වය පුරාම පැතිරිලා තියෙන “ඕම්” ශබ්දයේ තේරුම මොකද්ද කියලා කතරගම දෙවියෝ අහනවා. මේකට මහා බ්‍රහ්මයට උත්තරයක් දෙන්න බැරි වෙනවා. මේ නිසා කතරගම දෙවියෝ මහා බ්‍රහ්මයට ලැජ්ජ කරලා හිර කරනවා. මේ ගැන දැනගන්න ශිව දෙවියෝ මහා බ්‍රහ්මයාව නිදහස් කරන්න කියලා තමන්ගෙ පුතාගෙන් ඉල්ලනවා. ඒ ඉල්ලීම කතරගම දෙවියෝ පිළිගන්නවා. ඒ වගේම ශිව දෙවියෝ අහනවා “ඕම්” ශබ්දයේ තේරුම මොකද්ද කියලා. කතරගම දෙවියෝ හිනාවෙලා කියනවා “ඒ ගැන කියලා දෙන්න නම් ශිෂ්‍යයෙක් විදිහට” ඉල්ලීමක් කරන්න ඕන කියලා. ශිව දෙවියෝ ඒ අවස්ථාවෙ කතරගම දෙවියන් ගාව කොට අසුනකට ගිහින් වැඳගෙන තමන්ට අවශ්‍ය දේ දැන ගන්නවා. මේ සිදුවීම හින්දා කතරගම දෙවියන්ට ගුරුන්ගෙත් ගුරු කියන තේරුමෙන් “ස්වාමිනාත”කියන නම පට බැඳෙනවා.
මේ දේවකතා ගැන ඔයාලගේ අදහස් පල්ලෙහායින් ලියා කියා යන්න. අපි ආසයි අපේ ලිපි ගැන ඔයාලගේ හිතේ බුර බුරා නැගෙන අදහස් කියවන්න. ආහ් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Cover Image Source – videoblocks.com
Leave a Reply