කේක් එක රස කරන අයිසින් රෙසිපි – දෙවැනි කොටස

මීට කලිනුත් අපි අයිසින් වර්ග ගැන ලිපියක් පල කළා මතක ඇතිනෙ. මේ ඒකෙ දෙවෙනි කොටස. පළවෙනි ලිපියෙදි ඇති වෙච්ච ගැටළු කීපයකට පිළිතුරු දැනගෙනම තවත් අයිසින් සහ ෆ්‍රොස්ටින් වර්ග කීපයක් ගැන දැනගමු.

  • හුඟක් අය අයිසින් වර්ග වල නම් පටලවන් ඉන්නව ගම්පේස්ට් සහ පාච්මන්ට් කියන්නෙ එකම අයිසින් වර්ගය. ඒක පාවිච්චි කරන්නෙ කේක් එක සැරසීමට මල් හදන්න. ඉක්මණින් වියලෙන, වියලුනාම හයිය අයිසින් එකක්.
  • ගනාශ් සහ මිරර් ග්ලේස් කියන්නෙ දෙකක්. ගනාශ් එකට ජෙලටීන් පාවිච්චි කරන්න අවශ්‍ය නෑ. අද ලිපියෙන් මිරර් ග්ලේස් එකක් හදාගන්න හැටි කියල දෙන්නම්.
  • ෆොන්ඩන්ට් අයිසින් හොඳින් ආවරණය කරල ශීතකරණයක අවුරුද්දක් උනත් තියාගන්න පුළුවන්. නැවත ගන්න කොට හොඳින් සීතල යන්න ඇරල අනල ගන්න. වියලි හෝ තද ගතියක් දැනෙනව නම් බටර් අයිසින් ටිකක් හරි මාවෝ බටර් ටිකක් හරි එකතු කරල අනාගන්න පුළුවන්.

 

ෆ්‍රොස්ටින් සහ අයිසින් අතර වෙනස

Image Source – kisscc0.com

දෙකම පාවිච්චි කරන්නෙ කේක් සරසගන්න සහ රස කරගන්න උනාට මේ දෙකේ වෙනස්කම් කීපයක් තියෙනව. ෆ්‍රොස්ටින් එකක බේස් එක එහෙම නැත්නම් මූලද්‍රව්‍ය ක්‍රීම් හෝ බටර්. අයිසින් එකක සීනි, බිත්තර සුදුමද හෝ බටර්. ෆ්‍රොස්ටින් එකක් අයිසින් වගේ තුනී ලේයර් එකක් නෙවෙයි ඝණ ලේයර් එකක් විදියටයි පාවිච්චි වෙන්නෙ. හුඟක්ම කප්කේක් වලට ෆ්‍රොස්ටින් ගැලපෙනව. ෆ්‍රොස්ටින් එකක ක්‍රීම් හෝ බටර් රස ඉස්මතු වෙනව. අයිසින් වල ඉස්මතු වෙන්නෙ සීනි රස.

 

1. මිරර් ග්ලේස්

Image Source – yourfamily.co.za

වර්ණවත් මිරර් ග්ලේස් එකක් හදන්න නම් පාවිච්චි කරන්න ඕන වයිට් චොකලට්. වයිට් චොකලට් එකට අපි කැමති වර්ණ එක් කරල ගන්න පුළුවන්. එහෙම නැත්නම් කුකින් චොකලට් වලින් චොකලට් මිරර් ග්ලේස් එකක් හදන්න පුළුවන්. රෙසිපි එකේ චොකලට් කියල තියෙන එකට කැමති නම් වයිට් චොකලට් ගන්නත් පුළුවන් කුකින් චොකලට් ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ජෙලටින් තේ හැඳි 1 1/2
  2. සීනි කප් 1
  3. ලික්විඩ් ග්ලූකෝස් කප් 1/3
  4. චොකලට් කප් 1
  5. මිල්ක්මේඩ් කප් 1/2
  6. වයිට් චොකලට් ගන්නවා නම් අවශ්‍ය පාටින් කලරින්
  • ජෙලටින් වලට වතුර මේස හැඳි 3ක් එකතු කරල පැත්තකින් තියන්න. සීනි සහ ලික්විඩ් ග්ලූකෝස් වලට වතුර කප් 1/3ක් එක් කර සීනි දියවෙන තුරු ලිප තබා හැඳි ගාන්න.
  • ලිපෙන් ඉවත් කර පෙඟෙන්න තැබූ ජෙලටින් එක් කර මිශ්‍ර කරගන්න. එයටම කපාගත් චොකලට් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කර පෙරාගන්න.
  • වර්ණ කීපයක් එක් කරනවා නම් මිශ්‍රණය වෙන් කරගෙන අවශ්‍ය වර්ණ එකතු කරගන්න. මිරර් ග්ලේස් එක පාවිච්චි කරන්න කලින් කේක් එක බටර් අයිසින් හෝ ෆොන්ඩන්ට් අයිසින් එකකින් කඩතොලු නොහිටින්න කවර් කරගන්න ඕන. ග්ලේස් එක දාන්න කලින් විනාඩි 30ක්වත් කේක් එක ෆ්‍රිජ් එකේ තියල ගන්න.

 

2. ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින්

Image Source – taste.com.au

රෙඩ් වෙල්වට් කේක් වලට වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් එක.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුඩු කරගත් සීනි කප් 4
  2. බටර් කප් 1/2
  3. ක්‍රීම් චීස් 225g
  4. වැනිලා තේ හැඳි 3
  • ක්‍රීම් චීස්, වැනිලා සහ බටර් එකට එක් කොට බීට් කරගන්න. එයට කුඩු කරගත් සීනි ටිකෙන් ටික එක් කරමින් හොඳින් මිශ්‍ර වනතුරු බීට් කරගන්න.

 

3. රෝයල් අයිසින්

Image Source – kingarthurflour.com

වෙඩින් කේක් සරසන ලේස්, මල්, සියුම් කැටයම් පයිප් කරගන්න සහ කුකීස් සරසගන්න මේ රෝයල් අයිසින් එක පාවිච්චි වෙනව. රෝයල් අයිසින් වලට මරෑන්ජ් පවුඩර් තියෙනව නම් වඩා හොඳයි. එහෙම නැත්නම් හදන්න ක්‍රමයකුත් සඳහන් කරන්නම්. මරෑන්ජ් පවුඩර් everybodylovescupcakes සහ threestar යන ස්ථාන වලින් මිලදීගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මරෑන්ජ් පවුඩර් මේස හැඳි 3
  2. අයිසින් සීනි කප් 4
  3. මද උණුසුම් වතුර මේස හැඳි 5

 

මරෑන්ජ් පවුඩර් නැති නම්,

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අයිසින් සීනි 450g
  2. බිත්තර සුදු මද 3
  3. දෙහි යුශ මේස හැන්දයි
  • සියල්ල එකට එක් කර හොඳින් බීට් කරගන්න. පින්තූරයේ පරිදි පීක් එක සිටින මට්ටමට අයිසින් එක ආ යුතුයි. පීක් එක කඩා හැලෙන ගතියෙන් යුක්ත නම් තව අයිසින් සීනි ටිකක් එක් කර බීට් කරගන්න.
  • බීටරයේ කොටස් සහ බීට් කරන්න ගන්නා භාජනය තෙල් හෝ තෙතගතියෙන් තොරව වියලිව, පිරිසිදුව තිබිය යුතුයි.

 

4. විප්ඩ් ක්‍රීම් ෆ්‍රොස්ටින්

Image Source – acalculatedwhisk.com

බටර් රසට අයිසින් කන්න අකමැති අයට මේක හොඳ විසඳුමක්. බ්ලැක් ෆොරස්ට් සහ ගැටෝ වලටත් මේ ෆ්‍රොස්ටින් එක පාවිච්චි කරනව.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හෙවි ක්‍රීම් හෝ විපින් ක්‍රීම් කප් 3
  2. අයිසින් ශුගර් මේස හැඳි 5
  3. වැනිලා තේ හැඳි 1
  • බීටරයේ බීට් කරන යකඩ කොටස් දෙක සහ බීට් කරන්න ගන්න බෝල් එක විනාඩි 5ක් ෆ්‍රීසරයේ තියාගන්න.
  • විපින් ක්‍රීම් ටික බෝල් එකට දමා මීඩියම් හයි ස්පීඩ් එකෙන් තික් වනතුරු බීට් කරගන්න. අයිසින් සීනි එක්කර මීඩියම් ස්පීඩ් එකෙන් පීක් වනතුරු බීට් කරන ගමන් වැනිලා එක් කරගන්න.

 

5. මාශ්මෙලෝ ෆොන්ඩන්ට්

Image Source – saga.co.uk

සාමාන්‍ය ෆොන්ඩන්ට් එක වගේම කේක් කවර් කරන්න පාවිච්චි කරන්න, ශේප්ස් හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සුදුපාට මාශ්මෙලෝ 225g (සහ රෝල් කිරීමට ඉස ගැනීමට වෙනම අයිසින් සීනි)
  2. අයිසින් සීනි කප් 4
  3. වතුර මේස හැඳි 2
  4. අවශ්‍ය නම් කලරින්
  • මයික්‍රොවේව් කරනවා නම් සියළුම ද්‍රව්‍ය එකට එක් කර හයි පවර් එකේ විනාඩියක් මයික්‍රොවේව් කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. නැවත තප්පර 30ක් මයික්‍රොවේව් කරගෙන අනාගන්න.
  • නැතිනම් මාශ්මෙලෝ ටික ඩබල් බොයිල් කර දියකරගෙන ලිපෙන් ඉවතට ගෙන අයිසින් සිනී සහ වතුර එක් කර අනාගන්න.
  • අයිසින් සීනි ප්‍රමාණය මීට වඩා වැඩි විය හැකි නිසා වැඩිපුර අයිසින් සීනි ළඟ තබාගන්න. ෆොන්ඩන්ට් පදමට එන තුරු ටිකෙන් ටික අයිසින් සීනි එක් කර අනාගන්න.

Cover Image Source – saga.co.uk/ thanksgiving.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *