දැන් රවුම් ප්ලග් විසික්කා කරලා කො‍ටු ප්ලග් ගෙදරට ගෙනාවද? නැතිනම් වහාම මේ කරුණු ටික කියවලා බලන්න!

මීට අවුරුද්දකට දෙහෙකට උඩදී අපේ සිරිලංකාවේ රජයෙන් බොහොම වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි දැනට අපි පාවිච්චි කරන හැම ලෝකෙන්ම ගෙනාපු එක එක හැඩේ, එක එක ප්‍රමාණේ ප්ලග් වර්ග සහ සොකට් වර්ග විසික්කා කරලා ප්ලග්, සොකට්, එක්ස්ටෙන්ෂන් ඇතුළු විදුලි උවාරණයක් කරන්ට් එකට ගහලා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය හැම ගැජට් බැජට් එකක්ම මුළු ලංකාවේම එකම ක්‍රමේකට ගේනවයි කියලා. ඒ කියන්නේ තව ටික කාලයක් යනකොට ලංකාවම කො‍ටු කො‍ටු ප්ලග් සහ සොකට් වලට හුරු කරවන්න අවශ්‍ය නීති ප්‍රතිපාදන ගේනවය කියලා. ඉතින් ඕක කවුරුත් ඒ තරං ගණං ගත්තේ නැති වුනාට ඔන්න දැන් ලබාදුන්නු සහන කාලේ ඉවර වෙලා තහනම පැනවිලා ඉවරයි. දැන් ඉතින් රවුම් ඒවා කො‍ටු කරන්න පටං ගනිල්ලකෝ! හැබැයි දැන් මේ ගැන සරං කරට අරගෙන රජයට බණින්න යනවා නං හෝව් පොඩ්ඩක්! මේ තීරණය අරගෙන තියෙන්නේ දකින දකින හිල් වල ඇඟිලි ගහන්න ගිහින් කරන්ට් වද්ද ගන්න එවුන්ගේ ඉඳන් සුවහසක් පාරිභෝගික ප්‍රජාවගේ, ඒ කියන්නේ පුරවැසියන් වෙන අපේ යහපත උදෙසා. ඉතින් අපි සූදානම් වෙන්නේ, මේ රවුම් එව්වා කො‍ටු කරන අලුත් නීතිය ගැන නොදන්න එවුන්දලා කියන කඩප්පුලි කතා වලට උත්තරයක් ලබා දෙන්ඩ!

 

1. ෂුවර් එකටම ඕක පිටිපස්සේ කො‍ටු එව්වා ගෙන්නන ලොක්කෙක් ඇති!

Image Source – netio-products.com

ඇත්තටම අපේ රටේ දූෂණය, කොමිස් ගැහිලි හැමදාම පායන ඉර ගාණට සාමාන්‍යකරණය වෙලා නිසා, මේ රවුම් එව්වා කො‍ටු කරන නීති ප්‍රතිපාදන ගැනත් මෙහෙම චෝදනා අනුමාන අහන්න ලැබෙනවා. ඇත්තටම මේ තීරණයෙන් ලැබෙන සෙත ගැන අපි ඊළඟට කතා කරනවා. ඊට කලින් කියන්න ඕන කවුද මේකට වග කියන්නේ කියලා. ලංකාවේ තියෙනවා PUSL නැතිනම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියලා එකක්. මේකට ප්‍රධාන වශයෙන් අයිති වෙන්නේ විදුලිබල අංශයේ නියාමනය. ඒ අය කෙලින්ම කියා හිටින්නේ විදුලිබල පාරිභෝගික අයිතිය සු‍රැකීම තමන්ගේ වගකීමක්ය කියලා. දැන් මේ තීරණේ ගහෙන් ගෙඩි එන්නාක් වගේ ගත්තු එකක් නෙවෙයි. මේ අය 2015 ඉඳලම ප්ලග්, සොකට් සහ වෙනත් විදුලි උපාංග ආනයනය කරන අය, නිෂ්පාදනය කරන අය, පාරිභෝගික නියෝජිතයින්, විශේෂඥයින් එක්ක සාකච්ඡා කරලා, සෑහෙන්න මේ ගැන කතිකාවක් කරලා අවසානයේ ගත්තු තීරණයක් මේක.

එහෙම නැතුව කවුරු හරි ප්‍රධානියෙක්ගේ අත්තනෝමතික තීරණයක් නෙවෙයි.

 

2. ඇයි රවුම් එව්වා කො‍ටු කරන්නේ?

Image Source – greatist.com

මෙහෙමයි. දැන් හිතලා බලමු ලංකාවේ මෙතුවක් කාලෙකට අපි කොයි තරම් විවිධ හැඩහුරුකම් තියෙන, විවිධ ප්‍රමාණ වල, විවිධ ඇම්පියර් ගණන් තියෙන ප්ලග් එක්ක වැඩ කළාද කියලා. සාමාන්‍යයෙන් ගෙදර තියෙන්නේ රවුම් කූරු සොකට්. හැබැයි අපි ඕකට එක එක ග්‍රහලෝක වලින් ගේන එක එක විදියේ කූරු තියෙන එව්වා බස්සනවනේ. ආයි අර්ත් කූර නැති කූරු දෙකේ ප්ලග් එකක් වුනත් පෑනක්, කෝ‍ටු කෑල්ලක් ගහලා කරදරයක් නැතුව බස්සගන්නවා. ත්‍රිකෝණ හැඩේ ප්ලග් එකක් ගෙනාවත් කූරු එහාට මෙහාට ඇදලා, අඹරවලා අර රවුං කූරු සොකට් එකට බස්සනවා. හැබැයි මේ අපි පාවිච්චි කරපු ගොඩක් ප්ලග් වගේම සොකට් වලත් නියම ප්‍රමිතියක් නෑ. එක කාලෙකදී SLS තත්ත්ව සහතිකය පිටරටින් ගේන එක සීමා කළත්, ඒකෙන් ප්‍රශ්නය සියේට සීයක් විස‍ඳෙන්නේ නෑ. ඒ වගේම මේ ප්ලග් වල අඩු තරමේ හොඳ ආරක්ෂිත පරිපථයක්, ‍ෆියුස් ආරක්ෂණයක් වගේ දේවල් නං දකින්න නොලැබෙන තරමයි.

 

3. එතකොට කො‍ටු කො‍ටු ප්ලග් ගෙනාවහම වැඩේ හරියනවද?

Image Source – pinterest.com

මෙහෙමයි. දැන් ලංකාවේ ඕනෑම කො‍ටු කො‍ටු ප්ලග් එකක් නීතිගත කෙරිලා නෑ. මේ නීතියෙන් කියන්නේ ලංකාවේ ඉස්සරහට ගෙන්නන්න, නිෂ්පාදනය කරන්න සහ විකුණන්න ඕන G-Type ප්ලග් සහ සොකට් විතරයි කියලා. මෙච්චර කල් තිබුණු ඇම්පියර් 5 සහ ඇම්පියර් 15 කියන වර්ග දෙක වෙනුවට මේ G-Type ප්ලග් එකේ එන්නේ ඇම්පියර් 13. මේවා එන්නේම කූරු තුනේ ප්ලග් විදියට. ඒ කියන්නේ අකුණු ආරක්ෂාව සඳහා තියෙන අර්ත් කූර අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔබේ විදුලි උපකරණ වලට අමතර ආරක්ෂාවක් සැපයෙනවා. එතනින් එහාට මේ G-Type ප්ලග් වල ඇතුළේ මනාව නිර්මාණය කරපු ආරක්ෂක පරිපථයක් තියෙනවා. ඒ නිසා එයින් සැපයෙන ආරක්ෂාව වැඩියි. එතකොට වර්තමානයේත් තියෙන ගොඩක් සම්මත ප්‍රමිතීන්ට අනුව හදපු ප්ලග් වල වගේම G-Type එකේත් කූරු වල බාගයක් විතර දුර පරිවරණය කරලා තියෙන්නේ. ඒ නිසා හදිසියෙන් ඇඟිල්ලක් ගෑවුනත් කරන්ට් වදින්නේ නෑ. මේ G-Type ප්ලග් බොහොම හැඩිදැඩියි. ශක්තිමත්. ඒ වගේම සොකට් එකට බොහොම ස්ථිරව, සම්පූර්ණයෙන් සවි වන විදියේ නිමාවකින් යුතුයි. ඒකත් ලොකු ආරක්ෂාවක්.

 

4. ඇඟිලි ගහන මල්ලිලාගේ ආරක්ෂාව!

Image Source – manchestereveningnews.co.uk

ඔව්, නොදැනුවත්වම හරි කරන්ට් සොකට් එකක් ඇතුළට පොඩි ඇඟිල්ලක් ගිහිල්ලා කරන්ට් වද්දගෙන තියෙන අය දන්නවා ඒකේ තියෙන ආතල් එක. ආයෙ නොමැරී බේරුණොත් පූරුවෙ වාසනාව තමා. හැබැයි අපි හිතනවට වඩා මේ රවුම් හිල් තියෙන සොකට් නිසා විදුලි අනතුරු සිද්ධ වෙනවා. දැන් මේ නව ප්‍රමිතිකරණයට අනුව රවුම් හිල් සොකට් වලින් හත‍රැස් හිල් සොකට් වලට මාරු වුනහම තියෙන වාසිය තමයි මේ විදියේ විදුලි අනතුරු නැතුව යන එක. මොකද මේ හත‍රැස් පින් සොකට් වලට ඇඟිලි තියා වෙන අනං මනං කෝ‍ටු කෑලි වත් ඔබන්න බෑ. ඒ වගේම ඔය හඳුන්වා දෙන සම්මත ප්‍රමිතියේ සොකට් එකේ ලයිව් පින් හෝල් එක සහ නියුට්‍රල් පින් හෝල් එක සාමාන්‍යයෙන් වැහිලා තියෙන්නේ. ඒ නිසා අනං මනං කූරු එබුවත් කරන්ට් වදින්න තියෙන ඉඩ අවම වෙනවා. මේ පින් හෝල් දෙක විවෘත වෙන්නේ සම්මත කො‍ටු ප්ලග් එකේ අනෙක් කූරු දෙකට වඩා දිගින් වැඩි අර්ත් කූර භාගයක් දුරට ඇතුළට ගියාට පස්සේ. ආන්න ඒ වගේ ආරක්ෂාවක් තමයි තියෙන්නේ.

 

5. වෙන වෙන රටවලත් කො‍ටු කො‍ටු පාවිච්චි කරනවද?

Image Source – visitlondon.com

අපොයි ඔව්. දැන් ඔය එංගලන්තේ සුද්දෝ ඉන්නේ. අන්න උන්දැලා පාවිච්චි කරන්නේම මේ සම්මත ප්‍රමිතියෙන් යුතු හත‍රැස් ප්ලග් සහ සොකට් විතරයි. එංගලන්තේ කියන්නේ ප්ලග් සහ වෝල් සොකට් ඇසුරෙන් සිද්ධ වෙන විදුලි අනතුරු අතිශයින්ම අවම රටක්. ඒ වගේම අයර්ලන්තේ, සිංගප්පූරුව, හොංකොං, මැලේසියා වගේ රටවලත් මේ කො‍ටු කො‍ටු සම්මතකරණය සිද්ධ වෙලා තියෙනවා.

 

6. දැන් එතකොට කො‍ටු එව්වා ඇරෙන්න අනික් එව්වා තහනං?

Image Source – amazon.co.uk

මෙහෙමයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කියන විදියට ජාතික වශයෙන් ප්‍රමිතිගත කරලා තියෙන ඇම්පියර් 13 ක G-Type නැතිනම් හත‍රැස් වර්ගයේ ප්ලග්, සොකට් විතරයි මෙතනින් එහාට ලංකාවට ගෙන්නන්න, නිෂ්පාදනය කරන්න සහ විකුණන්න පුලුවන්. ඒ කියන්නේ එහෙම නොවෙන වෙන ඕනෑම සොකට් එකක්, ප්ලග් එකක් ගෙන්නන්නත් බෑ, නිපදවන්නත් බෑ, ගබඩා කරලා තියාගෙන ඉන්නත් බෑ, විකුණන්නත් බෑ.

හැබැයි පරිශීලකයෝ නැතිනම් පාරිභෝගිකයෝ වෙන අපිට එහෙම තහනමක් නෑ. පොඩ්ඩක් අප්සට් වගේද? මෙහෙම හිතමුකෝ. අපිට ඔය තහනං ආවා කියලා ගෙදර තියෙන රවුම් සොකට් ටික හි‍ටු කියලා ගලෝලා විසික්කා කොරන්ඩ බෑනේ ආයිබොවන්ඩ. හැබැයි ඉතින් ඔව්වා සදාකාලිකව පාවිච්චි කොරන්ඩ තනපුවා නෙවෙයිනේ. දැන් අලුතෙන් සොකට්, එක්ස්ටෙන්ෂන්, පවර් කෝඩ්, මල්ටි ප්ලග් එහෙම ගන්නකොට අපිට ගන්න සිද්ධ වෙන්නේ කො‍ටු එව්වා විතරයි. ඇයි වෙන වෙන එව්වා වෙළෙඳපොළේ නැහැනේ. එතකොට අලුතින් ගෙදරට ඉලෙක්ට්‍රික් බඩුවක් ගත්තත් ඒකේ එන්නේ හත‍රැස් ප්ලග් තමයි. ඇයි අනික් එව්වා ගෙන්නන එක තහනංනේ. ආන්න එතකොට අපිටත් හිමීට හිමීට ඔය කො‍ටු සම්මතේට අනුගත වෙන්න සිද්ධ වෙනවා. අපිට කියලා අමුතුවෙන් තහනමක් දාන්ඩ ඕනෑ නෑ!

 

7. ඉතින් මොකෝ කරන්නේ?

Image Source – rakuten.com

හිත කලබල කරගන්ඩ එපා. කොහොමත් දැන් කාලේ වෝල් සොකට් එකක ගණං ඇහුවහම බුදු අම්මෝ කියවෙනවා. අලුතින්ම ගෙවල් හදන උදවියට අවුලක් නෑ. කොහොමත් සම්මත ප්‍රමිතියේ හත‍රැස් G-Type කෑලි බෑලි තියෙන විදුලි පද්ධතියක් ඒ අයට හදාගන්න පුලුවන්. අනික් අයට ටික කාලයක් ඔහොම හෙමිහිට යන්න වෙනවා. හැබැයි හෙමි හෙමින් හත‍රැස් ස්ටෑන්ඩර්ඩ් සොකට් එකක් දෙකක් අරගත්තට කාරි නෑ. දැන් අලුතෙන් ස්ටෑන්ඩර්ඩ් ප්ලග් තියෙන ඉලෙක්ට්‍රික් බඩු ගෙනැල්ලා, ගහන්න සොකට් නැතිවෙනකොට හදිසියකට මල්ටියක්, එක්ස්ටෙන්ෂන් එකක් ගහලා බේරගන්න පුලුවන්. හැබැයි ඉතින් වඩා හොඳ දේ තමයි ඒ ඉලෙක්ට්‍රික් බඩුව තියෙන තැන සොකට් එකවත් අලුත් හත‍රැස් ස්ටෑන්ඩර්ඩ් එකකට මාරු කරන එක.  ඔහොම අවුරුදු කීපයක් යනකොට දන්නෙම නැතුව රටම හත‍රැස් එව්වා පාවිච්චි කරන්න පටන් අරගෙන. ආන්න එතකොට අපිටත් ආඩම්බරෙන් කියන්න පුලුවන් එංගලන්තේටත් වඩා ලංකාවේ විදුලි අනතුරු අඩුයි කියලා!

Cover Image Source – sporeintersection.blogspot.com/ quietpc.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *