ලෝකයේ රට රටවල මිනිස්සු දැඩි සේ පරිස්සම් වෙන අවාසනාවේ සංකේත

එකම කාසියක දෙපැත්ත වගේ වාසනාව සහ අවාසනාව ගැන සිතුවිලි මිනිස්සුන්ගේ හිත් වල තැන්පත් වෙලා තියනවා. වාසනාව සහ අවාසනාව ගැන විශ්වාස නොකරන මිනිස්සුත් ඉන්නවා තමයි. ඒත් බහුතරයක් දෙනා ඉන්නේ මේ දේවල් විශ්වාස කරන පැත්තේ. ඒ බහුතරය අතරිනුත් සමහරු වාසනාව කැන්දනවායැයි කියන දේවල් තමන්ට ළං කරගන්නත්, අවාසනාව කැන්දනවායැයි කියන දේවල් වලින් ඈත්වන්නටත් උත්සාහ කරනවා. ඔයාලට මතක ඇතිනෙ පහුගිය සතියක අපි ලිවුවා වාසනාව ළඟා කරගන්නටය කියලා මිනිස්සු ළඟ තබාගන්න දේවල් ගැන. මේ ලිපියෙන් අපි ලියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඒ කිවුවේ අවාසනාව ගෙන එනවාය කියලා ලෝකේ නොයෙකුත් රටවල මිනිස්සු සළකන දේවල් කීපයක් ගැනයි මේ…

 

1. ඉර බැස්සට පස්සේ ගෙවල් අතුපතු ගෑම

Image Source – thespruce.com

මේ විශ්වාසය වැඩි වශයෙන්ම මුල් බැහැලා තියෙන්නේ ඉන්දියානු හින්දු භක්තිකයන් අතර තමයි. සමහර ඉස්ලාම් භක්තිකයිනුත් මේ විශ්වාසයේ එල්බගෙන ඉන්නවා. ඉර බැස්සට පස්සේ තමන්ගේ ගෙදර අතුගෑමෙන් වාසනාවට අධිපති ලක්ෂ්මී දේවිය තමන්ගේ නිවසින් පළා ගිහිල්ලා අවාසනාව උදාවෙනවා කියලයි හින්දු භක්තිකයින් විශ්වාස කරන්නේ. ලංකාවෙ සමහරු අතරෙත් මේ විශ්වාසය තියනවා හවස හයෙන් පස්සෙ ගෙවල් අතුගෑම හොඳ නැහැ කියලා. ලක්ෂ්මී දේවිය පළා යන කතාව කෙසේ වෙතත් අන්ධකාර වෙලාවක අතුගාද්දි අපි නොදැනුවත්වම ගෙදර බිම වැටිලා තියෙන වටිනා දේවල් ගෙයින් එළියට අතුගෑවිලා අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන් නිසා මේ කතාව පිටිපස්සේ යම්කිසි විද්‍යාත්මක සත්‍යයකුත් තියනවා කියලයි සමහරු කියන්නේ.

 

2. ඔරලෝසු තෑගි දීම

Image Source – ovolohotels.com

ඔරලෝසු තෑගි දීම ඉතාම අසුභයි කියලා ලෝකයේ සමහර රටවල ජනතාව විශ්වාස කරනවා. විශේෂයෙන්ම චීන උදවිය මේ විශ්වාසයේ දැඩිව එල්බගෙන ඉන්නවා. කෙනෙක්ට ඔරලෝසුවක් තෑගි දීම ඒ අය සමාන කරන්නේ ඒ කෙනාගේ අවමංගල්‍යයේ අවසාන කටයුතු වලට සහභාගි වීම හා සමානවයි. කාලය ගෙවී යෑම සංකේතවත් කරන ඔරලෝසුවක් තෑගි ලැබීමෙන් එය ලැබුණු පුද්ගලයාට මෙලොව ගත කරන්නට ඇති කාලය අහවරව යන බව සංකේතවත් වන බවටත් ඔවුන් වැඩිදුර විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රේමවන්තයින් අතර ඔරලෝසු හුවමාරුව මගින් පෙම් සබඳතා බිඳී යන බවටත් සමහරු විශ්වාස කරනවා.

 

3. ගේ ඇතුළෙ කුඩ ඉහිළීම

Image Source – speeli.com

මේක නම් ලංකාවේ අය අතරත් මුල් බැහැගෙන තියෙන විශ්වාසයක්. පොඩි කාලෙ ඔයාලත් සමහර විට අම්මලාගෙන් බැනුම් අහලා ඇති ගේ ඇතුළෙ කුඩ ඉහළලා. ගෙයක් ඇතුළෙ කුඩයක් ඉහළනවා කියන්නේ අවාසනාවේ වර්ෂාවක් පතිත වෙන්න මග පාදන දෙයක් කියලයි පුරාණ විශ්වාසය. කුඩේ ඉහළන කෙනාට විතරක් නෙමෙයි, ඒ ගෙදර නිවැසියො හැමෝටමත් මේ අවාසනාව පල දෙනවා කියලයි කියන්නෙ. මේ විශ්වාසය ආරම්භ වුණා කියල සැලකෙන්නෙ ඊජිප්තුවෙන්. අවුවෙන් ආරක්ෂා වෙන්න ඉහළා ගන්නා කුඩයක් සෙවණ ඇති ගෘහයක් ඇතුළේ ඉහිළීම හිරු දෙවියන්ව කෝප ගන්වන බවත්, ඔහුගේ ශාපයට ඒ ගෘහය ලක්කරන බවටත්ලු ඒ විශ්වාසය. කොහොම වෙතත් අර අතුගෑමේ විශ්වාසෙදි වගේ සමහරු නම් කියන්නේ ගෙයක් ඇතුළේ කුඩයක් ඉහළද්දී ඒකෙ යකඩ කූරු අරවා මේවා අහළ පහළ අයගේ ශරීරාංග වල වැදිලා තුවාල සිද්ධ වෙන්න පුළුවන් නිසා හදපු කතාවක් කියලා මේක.

 

4. මුහුණ බලන කණ්ණාඩියක් බිඳීම

Image Source – desinema.com

මේකත් ලෝකයේ බොහෝ රටවල වගේම අපේ රටෙත් සමහරු විශ්වාස කරන අසුභ නිමිත්තක්. අසුභයි කියන්නේ ලේසි නැහැ. කණ්ණාඩියක් බිඳෙනවා කියන්නේ කෙලින්ම හත් අවුරුදු ශාපයකට ලක්වෙනවා කියලයි විශ්වාස කෙරෙන්නේ. මේ විශ්වාසය පැවතගෙන එන්නේ පුරාණ ග්‍රීක ජාතිකයින්ගෙන් කියලා තමයි කියන්නෙ. කැඩපතක් මගින් කෙනෙක්ගේ ආත්මය පිළිබිඹු වෙන බවත්, එය බිඳීමෙන් ආත්මයට හානි වෙලා අවාසනාවෙන් සහ නපුරෙන් ආරක්ෂා වෙන්න තියෙන ශක්තිය ගිලිහී යන බවටත් තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මේ විදිහට උදාවෙන හත් අවුරුදු ශාපයෙන් ගැලවෙන්නට නම් හඳ පායලා තියෙන වෙලාවක මේ බිඳුණු කැඩපත වළදැමිය යුතුයි කියලත් සමහරු කියනවා. මේ ශාපය හැදුණු හැටි ගැන තව කතාවකුත් තියනවා. මුල් කාලේ මුහුණ බලන කැඩපත් ඉක්මනින් බිඳෙන සුළු සියුම් ඒවා හැටියටලු නිෂ්පාදනය වුණේ. ඉතින් මේවා නිතර බිඳෙන එක වළක්වන්න වෙළෙන්දෝ මේ විදිහෙ ශාපයක් ගැන බයක් ඇති කළා කියලයි ඒ කතාවෙන් කියන්නෙ.

 

5. ඉනිමගක් යටින් ගමන් කිරීම

Image Source – aadl.org

ගොඩක් කාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට අසුභ ප්‍රවෘත්තියක් මේක. ඒ විතරක් නෙමෙයි, පාරෙ තොටේ ගමනක් යද්දි වුණත් ඉනිමගක් යටින් ඇවිදින්න වෙන අවස්ථා අපිටත් උදා වෙනවනෙ සමහර වෙලාවට. කොහොම වුණත් මේකත් ඉතා අසුභ ක්‍රියාවක් කියලයි සමහරු විශ්වාස කරන්නෙ. ත්‍රිකෝණාකාර හැඩයෙන් යුතු ඉනිමගක් යටින් ගමන් කිරීමෙන් ක්‍රිස්තියානි දහමේ එන ශුද්ධ වූ ත්‍රිත්වය බිඳවැටීම සංකේතවත් වන බවත්, ඒ මගින් යක්ෂයාට ආරාධනා ලැබෙන බවත් සමහරු කියද්දි තවත් සමහරු කියන්නේ ඉනිමගකින් එල්ලුම් ගසක් සංකේතවත් වන බවත්, ඒ යටින් ගමන් කරන පුද්ගලයා එල්ලී මියයන බවකුත් තමයි. මේ අසුභ ක්‍රියාව කෙනෙක්ගෙ අතින් සිද්ධ වුණොත් ආයෙත් ආපස්සට ඒ ඉනිමග යටින් ගමන් කිරීමෙන් ඒ අවාසනාව බිඳින්න පුළුවන් කියලත් කියනවා. ඒවා මේවා කොහොම වුණත් ඉතින් ඉනිමං යටින් ගමන් කරද්දී පරිස්සම් වෙන්න ඕනෙ තමයි. මොකද ඒවායෙන් උඩට ගෙනියන බඩු භාණ්ඩ සහ ඒවයේ නැගලා ඉන්න මිනිස්සු තමන්ගේ ඇඟට පතිත වෙන්න පුළුවන් නිසා.

 

6. කළු බළල්ලු

Image Source – collective-evolution.com

කළු බළල්ලු කියන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනෙ ජාතියක්. මොකද නොයෙකුත් සංස්කෘතීන් එක්ක කළු බළල්ලු වාසනාවේ සහ අවාසනාවේ සංකේත කියන දෙවර්ගයටම දාල සළකන නිසා. කළු බළලෙක් ගෙදරට ගොඩවීම වාසනාවේ සංකේතයක් හැටියට ස්කොට්ලන්ත ජාතිකයින් සළකද්දි තවත් යුරෝපීය රටවල උදවිය කළු බළලෙක් මගදී හමුවීම අවාසනාවක් හැටියට සළකනවා. ජර්මානුවන් කළු බළලාගේ වාසනාව සහ අවාසනාව තීරණය කරන්නෙ ඌ ගමන් කරන පැත්ත අනුවයි. ගමනක් යද්දි කළු බළලෙක් දකුණු පැත්තේ ඉඳන් වමට ගමන් කළොත් අවාසනාව උදාවෙනවා කියලත්, වමේ ඉඳන් දකුණට ගියොත් වාසනාව ලැබෙනවා කියලත් තමයි ඔවුන් විශ්වාස කරන්නේ. කළු බළලුන් කියන්නේ වෙස් වලාගත් මන්තරකාරියන් කියලත් යුරෝපීය රටවල් පුරාණයේ සිට පැවතෙන විශ්වාසයක් තියනවා. අවුරුදු 7ක් ගිය තැන ඔවුන් තමන්ගේ බළල් ස්වරූපය හැරදාලා, මායාකාර ස්වරූපයට අවතීර්ණ වෙනවලු.

 

7. ලුණු අහක යෑම

Image Source – daily.social

එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කරන ගෘහණියකගේ අතින් ඉතින් ලුණු පෝඩ්ඩක් අහකට හැලෙන එක සාමාන්‍යයයි. හැබැයි යුරෝපියානු රටවල අතීතයේ ඉඳන් පැවතගෙන එන විශ්වාසයක් තමයි වැරදීමකින් හරි ලුණු අපතේ යෑම අවාසනාව කැන්දන වැරැද්දක්ය කියන එක. මේ මගින් යක්ෂයින්ට කැඳවීමක් සිද්ධ වෙන බවකුත්, අඬදබර ඇතිවන බවකුත්, සමීපතමයෙක් විරසක වන බවකුත් පැවසෙනවා. හැබැයි මේ විශ්වාස හැම එකකටම හේතුවන මෙහි මුල හොයාගෙන ගියහම අපිට දැනගන්න ලැබෙන්නේ වෙනස්ම කතාවක්. අතීතයේදි ලුණු කියන්නේ ඉතාම දුර්ලභ සහ මිලාධික ද්‍රව්‍යයක් හැටියටයි සැලකිලා තියෙන්නෙ. ඉතින් ලුණු ටිකක් හරි අපතේ යනවා කියන්නෙ ලොකු පාඩුවක්. මේ පාඩුව අවම කරගන්නට සහ ලුණු අරපරෙස්සමින් භාවිතා කරන්නට ජනතාව පොළඹවන්නට මේ කතාව හැදුණා කියලායි සමහරු කියන්නෙ.

Cover Image Source – youtube.com/ anandbharat.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *