ලෝකේ වටෙන් ඇහුණු විද්‍යාවට අහු නොවුණු අද්භූත කතන්දර

ශාකවල ප්‍රභාසංස්ලේෂණ කාර්යය සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා විද්‍යාව කියලා දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක ඇත්තද කියලා බලන්නත් එක එක පර්යේෂණ ආදිය තියෙනවා. හැබැයි ඒ වගේ ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම වෙන දේවල් විද්‍යාව කියන බේසම අස්සට දාන්න බැරි වෙලා තියෙනවා. ටිකක් අමුතු දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට තියෙන විද්‍යාත්මක පදනම ගැනයි ඉස්සෙල්ලම ලෝකය අවධානය යොමු කරන්නේ. ඒත් එහෙම කරන බැරි වෙලා විද්‍යාවටත් හීක් ගෑවුණ සිද්ධි කීපයක් තමයි මේ.

 

1. මරණයේ පුටුව

Image Source – seeksghosts.blogspot.com

මේක මේ අපේ ගෙවල්වල තියෙනව වගේම ලීයෙන් හදාපු පුටුවක්. හැබැයි ගෙවල්වල තියෙන පුටුත් එපා වෙන විදියේ කතාවක් තමයි තියෙන්නේ. ඉස්සර කාලේ එංගලන්තයේ බස්බි කියලා මනුස්සයෙක් අවන්හලක් දාගෙන හිටියා. බස්බි එපා කරපු මනුස්සයෙක්. අමු බේබද්දෙක්. ඉතින් බස්බිගේ මාමණ්ඩි මේ ගැන නෝක්කාඩු කියාගත්තු ගමන්මයි හිටියේ. දවසක් මේ දෙන්නගේ අතර රණ්ඩුවකින් බස්බි මාමණ්ඩිව මරනවා. මේකට බස්බි එල්ලුම් ගහට නියම වෙනවා. අවසන් කැමැත්ත වෙන්නේ අවන්හලේ තමන් කැමතිම පුටුවකට වෙලා බීර බොන එක. පුටුවෙන් නැගිටලා එනකොට ඒක පෙන්නලා මේ පුටුවේ ඉඳගන්න හැමෝම අකාලයේ සෙත්තපෝච්චි වෙන්න ඕනි වගේ පණ්ඩිත කතාවක් කියලා තමයි බස්බි මාරු වෙලා තියෙන්නේ. ඉතින් ඕක බස්බිගේ ශාපය නමින් ප්‍රසිද්ධ වුණා. හැමෝම ඕකේ වාඩි වෙන එකෙන් වැළකුණා. ඒත් පණ්ඩිතකමට ඉඳගන්න ගියපු සොල්දාදුවන් දෙන්නෙක්, වැරදීමකින් එහි ඉන්දවුණ චිමිනි පිරිසිදුකරුවෙකු සහ සේවිකාවක් මරණයට පත් වෙලා තියෙනවා ඉක්මනින්ම. ඉතින් අද මේ පුටුව එංගලන්තයේ තර්ස්ක් කෞතුකාගාරේ උඩකින් එල්ලලා තියනවා.

 

2. එලීසා ලෑම්ගේ සිදුවීම

Image Source – talesofcrime.com

ආන්දෝලනාත්මක ඒ වගේම තවමත් විසඳගන්න බැරිවුණ අබිරහසක් තමයි මේ. එලිසා ලෑම් කියන තරුණිය අන්තිම මොහොතේ දකින්න ලැබෙන්නේ ඇමරිකාවේ සුපිරි හෝටලයක ලිෆ්ට් එකේ. ඒ පණපිටින්. අවසන් ගමන් ගිහින් අන්තිමේ දකින්නේ ළඟා වෙන්නට අපහසු වතුර ටැංකියක් ඇතුළේ. ලිෆ්ට් එකේ සී සී ටී වී දර්ශනවලින් පේනවා කාත් එක්ක හරි කතා කරන බවක්. අන්තිමේ වෙච්ච දෙයක් නැහැ.

 

3. ද්‍යට්ලොව් සිදුවීම

Image Source – theunredacted.com

මේක නම් එකෙන්ම ඇඟ හිරිවැටෙන සිද්ධියක්. යාළුවො සෙට් එකක් යනවා පොඩි කෑම්පින් පාරක් දාලා, ස්කි සෙල්ලම් කරන්න. හැබැයි ගියාට ආය එන්න හම්බුවෙන්නේ නැහැ. මෙයාලා හොයන්න ගියපු කට්ටියට කූඩාරම වටේ කට්ටියගේ අඩිසටහන් තිබ්බ විදිය දකින්න ලැබෙනවා. සමහරු මේස් දාගෙන, සමහරු නැහැ. මේ අඩිසටහන් ඔස්සේ ගියාම මළසිරුරු දෙකක් හම්බුවෙනවා. මන්දතාපය නිසා මැරුණා කියලා හිතුවත් අනික් සිරුරුත් සොයාගෙන හැරිලා බලද්දී ඒ කතාව යට යනවා. එක්කෙනෙක්ගේ දිව නැහැ, අනෙකාගේ පිළිස්සීම්, අනිත් කෙනා ලේ වමනේ දාලා. ඔක්කොටම මොකක් හරි ලොකු නස්පැත්තියක්. මොකක් වුණාදැයි කියන්න කවුරුත් දන්නේ නැහැ.

 

4. සොඩර් දරුවන්ගේ අබිරහස

Image Source – youtube.com

නත්තල් දවසට කලින් දවසේ මේ අයගේ නිවස ගිනි ගන්නවා. ළමයි දහදෙනෙක් හිටපු ගෙදර මෙන්න ඉන්නේ පහක් විතරයි. ගින්නට අහුවුණා කියලා කියන්නත් බැරි වෙන්නේ ශේෂ මොනවාවත් හොයාගන්න බැරි වුණ නිසයි. මේ සිදුවීමට සතියකට හමාරකට පස්සේ කාන්තාවක් ඔවුන්ව දැකලා තියෙනවා. කතා කරන්න උත්සහ කරාම ඒ එක අයෙකු මාරුවෙලා ගිහින් තියෙනවා.

 

5. ඕවර්ටන් පාලමේ සිදුවීම

Image Source – greatenigmas.wordpress.com

මේක මිනිස්සුන්ට නෙවෙයි බල්ලන්ට බලපාන එකක්. මේ පාලමේ ඉඳන් පැනලා බල්ලෝ සියදිවි නසාගන්න එක තමයි සිදුවීම, ඒ බල්ලෝ හැමෝම මේ දේ කරන්නේ හොඳට ඉර පායාපු දවස්වල. පනින්නේත් බොහෝ දුරට එකම තැනින්. බල්ලන්ට විතරක් ඇහෙන සංඛ්‍යාතයකින් මොකක් හරි සද්දයක් නිසා මේ වැඩේ වුණා කියලා කට්ටියක් කියනවා.

 

6. ටුන්ගුස්කා සිදුවීම

Image Source – historyrundown.com

රුසියාවේ සයිබීරියාව ආශ්‍රිතව සිදුවුණ පිපිරීමක් වගේ එකක් ගැනයි මේ කතාව. මොන අටමගලයක් වෙලා හරි පිපිරීමක් ඇති වෙලා තියෙනවා. වර්ග කිලෝමීටර 770ක් පමණ මේ අනතුරට මුහුණ දීලා තියෙනවා. ආකාශ වස්තු දෙකක් එකට ගැටීමෙන් වෙන්න ඇති කියලා හිතුවත් එහෙම දෙයක් පිලිබඳ පර්යේෂණවලින් ඔප්පු වුණේ නෑ.

 

7. ප්‍රදීපාගාරයේ අබිරහස

Image Source – youtube.com

ස්කොට්ලන්තයේ ෆ්ලැනල් දූපතේ ප්‍රදීපාගාරයේ තුන්දෙනෙක් වැඩ කරා. දවසක් දා සහන සේවකයෙකු ප්‍රදීපාගාරයට එනවා. හැබැයි කවුරුත් නැහැ. ඔහුට අමුත්තක් වෙලා තියෙන බව තේරෙන්නේ පුටුවක් අනික් පැත්ත තබලා තියෙන ආකාරය ගැන හිතුවම. අතුරුදහන් වූවන්ට වෙච්ච දෙයක් නැහැ.

මේ සිදුවීම ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක් පසුගිය ජනවාරි 4 වෙනිදා නිකුත් වුණා. එහි රඟපාන්නේ ජනප්‍රිය නළු ජෙරාඩ් බට්ලර්. චිත්‍රපටයේ නම The Vanishing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *