කලාවට ආස අයට රවුමක් දාන්න පුළුවන් කොළඹ තියෙන ආට් ගැලරි 9ක්

ආට් කියන්නේ හැමෝටම සෙට් වෙන දෙයක් නෙවෙයි. සමහරු චිත්‍රයක් දිහා බලලා ඒකේ පාට අතරින්, හැඩතල අතරින් හැංගිලා තියෙන අදහසක්, හැඟීමක්, අර්ථයක් මතු කරගන්න දන්නවා. තව කෙනෙක්ට එහෙම චිත්‍රයක තියෙන යටි අදහසක් එක වර තේරුම් ගන්න බැරි වුනත්, චිත්‍රයක් දිහා බලන්න, ඒකේ තියෙන ආට් එක විඳින්න ආස වෙන්න පුළුවන්. තවත් සමහරු නම් ඔය අමූර්ත චිත්‍රයක් එහෙම පෙන්නුවහම අහන්නේ තීන්ත බෝතලේ කැන්වස් එක උඩට හැළිලද කියලා තමා!

කොහොම වුනත් ආට් වලට ආස අයට, ආට් විඳින්න ආස අයට කොළඹ අවට තියෙන ආට් ගැලරි ගැන අදහසක් ලබාගෙන තියාගන්න එක වටිනවා. ඒකට හේතුව ගොඩක් දෙනෙක් දන්නේ කොළඹ කලා භවන සහ ලයනල් වෙන්ඩ්ට් එක විතරක් නිසා.

 

1. ජාතික කලා භවන

Image Source – commons.wikimedia.org

ජාතික කලා භවන කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පැරණිතම කලාගාරයක්. අවුරුදු වලින් කිවුවොත් අවුරුදු 100කටත් වඩා පරණයි. මාර්ටින් වික්‍රමසිංහගේ පොත් වලත් ජාතික කලා භවන ගැන එහෙම සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක්ට කලා ප්‍රදර්ශන පවත්වන්න ඉඩ වෙන්වෙන මෙතන බොහොම පහසු මුදලකට වෙන් කරගන්න පුළුවන්.

තැන:

 

2. ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රය

Image Source – wikipedia.org

ලයනල් වෙන්ඩ්ට් කියන්නේ ලංකාවේ කලාවත් එක්ක අමතක කරන්න බැරි නමක්. ලයනල් වෙන්ඩ්ට් කියන්නේ චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි, ලංකාවේ හිටපු අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියෙක්. 43 කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු වෙන්ඩ්ට් කලාවට දක්වපු අනුග්‍රහයත් අපමණයි. අද ලයනල් වෙන්ඩ්ට් කියන්නේ ඇත්තටම කලාගාර දෙකකින් සමන්විත කලා කේන්ද්‍රයක්.

තැන:

 

3. සපුමල් පදනම

Image Source -thuppahi.wordpress.com

සපුමල් පදනම කියන්නේ 43 කණ්ඩායමේ එකතුවෙන් බිහිවුණු ලංකාවේ විශිෂ්ටතම කලා අවකාශයක්. බොහොම ඉපැරණි නිවස්නයක් වෙන සපුමල් පදනම ඇත්තටම ඒ කාලේ හිටපු චිත්‍ර ශිල්පියෙක් වුණු හැරී පීරිස්ගේ නිවස. මෙතන දැන් බොහොම නිස්කලංක කලාගාරයක්. මෙතන තියෙන්නේ 43 කණ්ඩායමේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර එකතූන්.

තැන:

 

4. බෙයාර්ෆුට් ගැලරි

Image Source – timeout.com

ලංකාවේ තියෙන පරණම ආට් ගැලරි එකක් සහ සංස්කෘතික කේන්ද්‍රයක් තමයි බෙයාර්ෆුට් එක. ඇත්තටම ගත්තොත් බෙයාර්ෆුට් ගැලරි එක දශක ගණනාවක් අතීතයට දිව යනවා. 1967-1972 කාලය ඇතුළතදී මේක හැඳින්වුණේ කොළඹ ගැලරිය කියලා. පස්සේ 1991 දී ආයෙමත් ආරම්භ වුනා Gallery 706 Colombo කියලා. පස්සේ 1999 දී තමයි බෙයාර්ෆුට් ගැලරි කියන නම ලැබෙන්නේ. දේශීය වගේම ජාත්‍යන්තර කලාකරුවන්ගේත් චිත්‍ර දකින්න ලැබෙන ගැලරි එකක් තමයි මේ. ඒ ඇරෙන්න පොත් කියැවීම්, කවි කියැවීම් වගේ වෙනත් අංගත් මෙතන සංවිධානය වෙනවා.

තැන:

 

5. සස්කියා ෆර්නැන්ඩෝ ගැලරි

Image Source – yamu.lk

සස්කියා ෆර්නැන්ඩෝ කියන්නේ ලංකාවේ ප්‍රකට හෝටල්කරුවෙක් වෙන සේනක ෆර්නැන්ඩෝගේ දියණිය. පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ එක සේනකගේ. සස්කියා ලංකාවේ චිත්‍ර කලාවට දක්වන ලැදියාවත් එක්ක 2009 දී වගේ පටන් ගන්න සස්කියා ෆර්නැන්ඩෝ කලාගාරය එදා ඉඳන් අද වෙනකල්ම ලංකාවේ නව ‍රැල්ලේ අද්‍යතන චිත්‍ර ප්‍රදර්ශන වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. බොහොම කුඩා ඉඩකඩක හැංගිලා තියෙන හුරුබුහුටි කලාගාරයක් වෙන සස්කියා ෆර්නැන්ඩෝ ගැලරි එකේ මෑතකාලීන ශ්‍රී ලාංකික චිත්‍ර සහ මූර්ති ශිල්පීන් සෑහෙන දෙනෙක්ගේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වෙනවා.

තැන:

 

6. පැරඩයිස් රෝඩ් ගැලරි

Image Source – kiwigypsy.com

ලංකාවේ හිටපු කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වෙන ජෙෆ්‍රි බාවාගේ ඔ‍ෆිස් එක තිබුණු තැන විවෘත කරපු පැරඩයිස් රෝඩ් ගැලරි කැෆේ එක කියන්නේ, කොළඹ කලා ලෝලී ඕනෑම කෙනෙක් එක පාරක් හරි ගිහින් තියෙන්න ඕන තැනක්. මෙතන ඉහළ පන්නයේ අවන්හලක් වගේම කලා අවකාශයත් එකට තමයි තියෙන්නේ. ඇත්තටම මෙතන සමස්ත ගෘහාලංකරණය හා නිර්මාණයමත් ආට් එකක්. ඒ නිසා ගිහින් බලන්න වටිනවා.

තැන:

 

7. තීර්ථ රෙඩ් ඩොට් ගැලරි

Image Source – theertha.org

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටලා තියෙන රෙඩ් ඩොට් ගැලරි එක විශේෂයෙන්ම තීර්ථ කලාකරුවන් සමූහය මගින් ක්‍රියාත්මක වෙන්නේ කියන එක කියන්න වුවමනායි. ස්වාධීන ලාභ නොලබන කලා පර්ශදයක් වෙන මේකට ලංකාවේ අද ඉන්න බොහෝමයක් විශිෂ්ට චිත්‍ර කලා ශිල්පීන් ඇතුළත්. මෙතන පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනවල ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ අනූව දශකයෙන් පස්සේ ආපු අද්‍යතන කලා නිර්මාණ තමයි.

තැන:

 

8. ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරි

Image Source – twitter.com

කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන මේ ජේ. ඩී. ඒ පෙරේරා ගැලරි එක බොහොම ඉඩකඩ තියෙන තැනක්. ඒ වගේම අවට තියෙන්නේ විශ්ව විද්‍යාලයීය පරිසරයත්, සම්භාව්‍ය කලාගාරයක පරිසරයත් මිශ්‍ර වුණු බොහොම අපූරු පසුතලයක්. මේක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරපු සාපේක්ෂව අලුත් කලාගාරයක්. මේ වගේ කලාගාරයක් ලංකාවේ නිර්මාණය වුණේ පළමු වතාවට කියලා තමයි කියවෙන්නේ.

තැන:

 

9. ග්‍රීන් පාත් කලා පොළ

Image Source – johnkeellsfoundation.com

මහජන පුස්තකාලය ගාවින් ග්‍රීන් පාත් එකට හැරුණු ගමන් පේන්න තියෙන දෙයක් තමයි අර දැවැන්ත ගස් වල හෙවණ යට, පාරත් එක්ක තියෙන වැටට හේත්තු කරලා හරි වැටේ එල්ලලා හරි තියෙන චිත්‍ර තොගය. මෙතන විවිධ ශෛලීන්ට අනුව නිර්මාණය කරපු චිත්‍ර තියෙනවා. මෙතන තියෙන චිත්‍ර දිහා බලාගෙන යන්න විතරක් නෙවෙයි, මිලදී ගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ ලංකාවේ චිත්‍ර ශිල්පය ඉගෙනගන්න ශිෂ්‍යයෝ ඇඳපු චිත්‍ර. ඒ අය පොඩි ගාණක් උපයගන්න තමයි මෙතන චිත්‍ර විකුණන්නේ.

තැන:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *