බොහිමියන් රැප්සඩි හරහා නැවත කළඑලි බට පොප් තරුව – ෆ්‍රෙඩී මර්කරි

ෆ්‍රෙඩී මර්කරි කියන්නේ පොප් ලෝකයේ ලැයිස්තු අතර ඉහළින්ම සිටින ගායකයෙක්. ඔහු ගැන 2018 අවසානයේදී නිමවුණු බොහිමියන් රැප්සඩි ෆිල්ම් එක හරහා කතා වුනා. ඒ තුළින් ෆ්‍රෙඩී නැවතත් ලොව වටා 1991න් පසු ඉපදුණු තරුණ පිරිසක් අතර ජනප්‍රිය වුනා. විශාල පරාසයක දක්ෂතා රැසක් තිබුන ෆ්‍රෙඩී ආන්දෝලනාත්මක චරිතයක් වුනා. ඔහුගේ සම්බන්ධතා, මාධ්‍ය හැසිරවීම්, පුද්ගලික ජීවිතය වගේම ගායන ක්ෂේත්‍රය තුළත් අසාමාන්‍ය ගති ලක්ෂණ ගොඩක් තිබුනා. අපි ෆ්‍රෙඩී ගැන තොරතුරු ටිකක් බලමු.

 

1. විනෝදාංශ

Image Source – getintothis.co.uk

විනෝදාංශ මොනවද? කියලා ෆ්‍රෙඩී ගෙන් ඉන්ටවිව් එකකදි ඇහුවම ෆ්‍රෙඩී කියන්නේ මට විනෝදාංශ නැහැ. සෙක්ස් තමයි මගේ විනෝදාංශේ කියලා. ෆ්‍රෙඩී ගෙන් පුද්ගලික ජීවිතය ගැන අහන විට ෆ්‍රෙඩී ඒ ගැන හරි උත්තරයක් දෙන්නේ නැහැ. ඔහු කියන්නේ මම ගායකයෙක්. ගායකයෙක් විදියට කරන වැඩ ගැන මම උත්තර දෙන්නම්. ඒත් පුද්ගලික දේවල් ගැන මම කතාකරන්න ඕනි නැහැ කියලා. පාටි වලට සහභාගි වෙමින්, කමින් බොමින් ජීවිතය ගත කළ ෆ්‍රෙඩී, අමුතුම ජීවන රටාවකට හුරු වූ අයෙක්.

 

2. ක්වීන් සහ ෆ්‍රෙඩී

Image Source – bbc.co.uk

ක්වීන් කියන්නේ ෆ්‍රෙඩී ගේ මියුසික් බෑන්ඩ් එක. ඒ බෑන්ඩ් එකේ මැනේජර් විදියට එල්ටන් ජෝන් සම්බන්ධ වුනා. ඒ වගේම මයිකල් ජැක්සන් වගේ අයත් ෆ්‍රෙඩී එක්ක එකට වැඩ කරලා තියෙනවා. ෆ්‍රෙඩී කතාකරන හැම වෙලාවකම වගේ තමුන්ගේ බෑන්ඩ් එකේ අයට ක්‍රෙඩිට් එක දෙන්න පසුබට වුනේ නැහැ. ෆ්‍රෙඩී කියන්නේ මල්ටි ටැලන්ට් පොරක්. ඔහු සින්දු ලිව්වා, ඒවට මියුසික් කළා. මියුසික් වීඩියෝ හැදුවා. අමුතුම ආකාරයේ මියුසික් අත්හදාබැලීම් කළා. ආකර්ෂණීය විදියට මියුසිකල් ශෝ ප්‍රසන්ට් කළා. මේ බොහෝ නිර්මාණ කාගෙන්වත් කොපි කරපු ඒවාට වඩා ෆ්‍රෙඩීම දියුණු කරගත් ඒවා. ක්වීන් සහ ෆ්‍රෙඩී ගත්තාම බොහෝ ක්වීන් සින්දු ෆ්‍රෙඩීගේ. බොහෝ සින්දුවල ලිරික්ස්, මියුසික් වගේම ගායකයාත් ෆ්‍රෙඩී. ඒත් හැම ඉන්ටවිව් එකකදිම වගේ මේක පුරුෂ ලිංග හතරක ජොබ් එකක් (This is Four Cock Job) කියලා හිනාවෙවී කියන්න තරම් ෆ්‍රෙඩී නිහතමානී වුනා.

 

3. ෆ්‍රෙඩී ගේ පවුල සහ ළමා කාලය

Image Source – sanjaykar.wordpress.com

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ගැන කියද්දි මුලින්ම ඔහුගේ ළමා කාලය, හැදී වැඩුන ආකාරය සහ මුලින්ම ෆීල්ඩ් එකට ආපු හැටි ගැන කතා කරනවා. බොහිමියන් රැප්සඩි කියන 2018 වර්ෂයේ හැදුන හොඳම ෆිල්ම් එකේදි කතාකරන්නේ ෆ්‍රෙඩී ගැන. ඒත් ඔහුගේ ළමා කාලය සහ සම්භවය ගැන එහි ලොකු විස්තරයක් නැහැ. ඒක ෆ්‍රෙඩීගේ වචන වලින්ම බැලුවත් සාධාරණයක්. පුද්ගලික ජීවිතය, දෙමාපියන් ගැන මාධ්‍ය එක්ක කියන්න ෆ්‍රෙඩී මර්කරි එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ.  පුද්ගලයෙක් බිහිවෙන්න ඔහුගේ දෙමාපියන්, පාසැල, අධ්‍යාපනය ලැබූ තැන ආදී සාධක බලපානවා.

Image Source – younews.in

ඒත් ඔහු හොඳ උසස් කලා නිර්මාණකාරයෙක් වෙන්න ඒ දේවල් වල එතරම් අදාළත්වයක් නැහැ. ෆ්‍රෙඩී ඉපදුනේ සැංසිබාරයේ… හැදුනේ බොම්බායේ. අවසානේ මියුසික් ෆීල්ඩ් එකට එන්න කලින් වැඩ කළේ එංගලන්තේ හීතෲ ගුවන් තොටුපලේ බැගේජ් හැඩ්ල් කරන කම්කරුවෙක් විදියට. ඔහු සම්භවයෙන් පාකිස්ථානයේ පාර්සි හෙවත් පුරාණ පර්සියානු ජාතිකයින්ගෙන් පැවත එන්නෙක්.

 

4. හොඳ මිනිහෙක් නොවීම

Image Source – youtube.com

ලංකාවෙ හෝ ඉන්දියාවේ නම් කලාකාරයෙක් බොනවා, ගංජා පාවිච්චි කරනවා, නයිට් ක්ලබ් යනවා, කීප දෙනෙකු ලිංගික සහකාරයින් විදියට තියාගන්නවා වගේ දේවල් කලාකාරයින් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මන්ද රසිකයින් තමුන්ගේ කලාකරුවා ඇවිල්ලා හොඳ මිනිහෙක් විය යුතුයි කියලා අදහසක ඉන්නවා. ෆ්‍රෙඩී ජනප්‍රිය වුණු 1970-1990 කාලේ හිටපු බොහෝ ජනප්‍රිය ගායකයෝ වුනත් ලොවට පේන්නට හොඳ අය ලෙස ජීවත් වෙන්න උත්සාහ කළා. ෆ්‍රෙඩී මර්කරි ඉන්න ඉන්ටවිව් කිහිපයක් බැලුවොත් ඇතැම් එකක ෆ්‍රෙඩී කැමරාවට මුහුණ දෙන අතරම බියර් බොනවා, සිගරට් බොනවා, නරක කතා කුණුහරුප කියනවා. ඔහු යාලුවන් එක්ක කරන සෙක්ස් ජෝක්ස් ඔහුව ඉන්ටවිව් කරන අයත් එක්කත් කරනවා. කොටින්ම ඔහු ලෝකයාට තමන් වඩාත් හොඳ මහත්මයෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ.

 

5. අසාමාන්‍ය ටැලන්ට් එක

Image Source – latimes.com

ෆ්‍රෙඩී මර්කරි ගේ ජනප්‍රියම සිංදුව ‘බොහිමියන් රැප්සඩි.’ එය එකිනෙකට වෙනස් මියුසික් සම්ප්‍රදායන් 6කින් ලබාගත් සිංදු කොටස් 6කින් සමන්විත විනාඩි 6ක් පමණ දිග ගීයක්. මේ ගීතයේ බොහෝ පදවැල් ෆ්‍රෙඩී අතින් ලියවුන ඒවා. ඒ ගීතය ලියන කාලය වනවිට රේඩියෝවේ හෝ ගීත ඇල්බම් වල හෝ විනාඩි 6ක ගීයක් ජනප්‍රිය කිරීම අමාරුයි. ඒත් ෆ්‍රෙඩී ගේම අත හැරියේ නැහැ. ඔහු විශ්වාස කළා විනාඩි හයේ බොහිමියන් රැප්සඩි ඒ ආකාරයෙන්ම විය යුතුයි කියලා. මේ ගීතයේ එන ඇතැම් සංගීතමය වැඩිදියුණු කිරීම් සඳහා එකල තිබූ තාක්ෂණය අනුව ලොකු වෙහෙසක් දරන්නට සිදු වෙලා තියෙනවා. ෆ්‍රෙඩී මුල් කාලයේ බටහිර ලන්ඩනයේ ආට් ස්කූල් එකක් හෙවත් කලා විද්‍යාලයක උපාධිධරයෙක්. ඔහු ෆැෂන් කරද්දි, බෑන්ඩ් එකේ තීම් හදද්දි, බෑන්ඩ් එකට ලෝගෝ හදද්දි වගේම ස්ටේජ් පර්ෆෝමින් වලදි ඒ ටැලන්ට් එකත් පාවිච්චි කළා.

 

6. බොහිමියන් රැප්සඩි ෆිල්ම් එක

Image Source – vox.com

ෆ්‍රෙඩී කියන්නේ කවුද කියලා මියුසික් ගැන දන්න කෙනෙක්ට විස්තර කන්න බොහිමියන් රැප්සඩි සිංදුව හොඳටම ප්‍රමාණවත්. ඔහු එය ස්ටේජ් එකේ ඉදිරිපත් කරන විලාශය එක්කම සිංදුව පෙන්නුවොත් ඇත්තටම බොහෝ අය ෆ්‍රෙඩීගේ තවත් සිංදු සොයා යනවා. බොහිමියන් රැප්සඩි කියන්නේ 2018 තිරගත වුණු වාර්තාගත චිත්‍රපටයක්. ලංකාවේ කලම්බු සිටි සෙන්ටර් සහ ස්කෝප් සිනමා වල තිරගත වුණු මේ චිත්‍රපටය නොකඩවා මාස දෙකක් සිනමා හල පුරවන්නට සමත් වුනා. ලොව පුරා ගත්තත් එවැනි සාර්ථක ප්‍රතිචාර බොහිමියන් රැප්සඩි වලට තිබුනා. එහි රඟපාන රාමී මලෙක් දක්ෂ නළුවෙක්. ඔහු ෆ්‍රෙඩීගේ චරිතයට සාධාරණයක් කරන්න ලොකු උත්සාහයක් අරන් තියෙනවා. ඒත් ෆිල්ම් එක බලල ඇවිත් යූ ටියුබ් එකේ ෆ්‍රෙඩී ගේ ඇත්තම ලයිව් ශෝ එක බැලුවම ෆිල්ම් එකේ පෙන්වන ෆ්‍රෙඩී ඇත්තටම පොඩියි කියලා (සයිස් එකෙන් වගේම ටැලන්ට් එකෙනුත්) හිතෙනවා. බොහෝවිට 2018 වර්ෂයේ තිරගත වූ ෆිල්ම් වලට නියම වෙන ඇකඩමි සම්මාන වලින් කිහිපයක්ම බොහිමියන් රැප්සඩි වෙත හිමිවේවි කියලා විශ්වාසයක් තියෙනවා.

 

7. සම්මාන සහ රෑන්ක් වලට එහා ගිය ෆ්‍රෙඩී

Image Source – gold1043.com.au

ෆ්‍රෙඩී ගේ සමකාලීන පොප් තරු අතරත්, ඉතිහාසයේ බිහිවූ සියලුම පොප් තරු අතරත් ෆ්‍රෙඩී මර්කරි කියන්නේ සැබෑ චරිතයක්. බෑන්ඩ් එකක ගායකයෙක් නොවී තනි ගායකයෙක් ලෙස ගමනක් ගියානම් ඔහුට බොහෝ ගීත දර්ශක වල වගේම ගායක දර්ශක වලත් ඉහළම තැනක් අවුරුදු ගණනාවක් පුරාවට ලැබෙනවා. ඒත් ෆ්‍රෙඩී කිව්වේ ඔහුට රසිකයෝ ඉන්නවා, ඉතින් ආයේ රෑන්ක් සහ නාමයන් පිටුපස හඹායන එක තේරුමක් නැහැය කියලා. 1986 වෙද්දි 1970 ගණන්වල පටන් ගත් ෆ්‍රෙඩීගේ සංගීතමය ගමන ඔහුටත් බෝරින් වෙන තත්ත්වයට පැමිණ තිබුනා. හැමදාම ෂෝස්. ඉන් පස්සේ කැසට්… මේකෙ ඉවරයක් නැහැ කියලා ෆ්‍රෙඩී ඒ ඒකාකාරී සිංදු ජීවිතේ ගැන කියලා තිබුනා. ඉන්පසු ඔහු බෑන්ඩ් එකෙන් ඉවත් වී වෙනමම ගමනක් යන්න හිතුවත් එහිදී ඔහුට එතරම්ම සාර්ථක උනේ නැහැ.

 

8. ෆ්‍රෙඩී ගේ මරණය

Image Source – queenphotos.wordpress.com

ෆ්රෙඩී ගේ මරණය සිදු වන්නේ 1991 දි. ඔහු ඉපදුනේ 1946 දි. අවුරුදු 44ක් වගේ කාලයක් තමයි ෆ්‍රෙඩී ජීවත් වුනේ. ලෙඩ රෝග තත්ත්වය නිසා අවසාන අවුරුදු දෙකේදී ෆ්‍රෙඩී වැහැරී ගියා. ෆ්‍රෙඩී ලොව හැරයන්නේ ඒඩ්ස් වලින්. ෆ්‍රෙඩී මිය යන විට ඔහු ජනප්‍රියත්වයේ ඉහළින්ම හිටියා. ලොව වැඩිපුරම විකුණුන ඇල්බම් සහිත බෑන්ඩ් අතර ෆ්‍රෙඩීගේ ක්වීන් ඉස්සරහින්ම ඉන්නවා. ඔහු පිරිමි සහ ගැහැණු සම්බන්ධකම් කිහිපයක්ම තිබුන අයෙක්. ඒ හරහා ලොව වටා සංදර්ශන තියමින් ගිය ගමන් වලදී ඔහුට ඒඩ්ස් වැළඳෙන්නට ඇති. ලොව වටා පොප් රසිකයින්ට මෙය දරාගන්නට අමාරු ශොක් එකක් වුනා.

බොහිමියන් රැප්සඩි තුළින් නැවතත් ෆ්‍රෙඩී ගේ ගීත ඉදිරියට ආවා. යූ ටියුබ් එකේ වේලි වේලි තිබුන ක්වීන් බෑන්ඩ් එකේ සින්දු වලට මිලියන සිය ගණනින් හිට් ලබාදෙන්නට බොහිමියන් රැප්සඩි චිත්‍රපටය සමත් වුනා. ඒත් චිත්‍රපටය ෆ්‍රෙඩීගේ ටැලන්ට් එකට වඩා ඔහුගේ ලිංගික සහ පෞද්ගලික ජීවිතය වටා කැරකෙනවා වැඩි ගතියක් තියෙනවා. මේ නිසාම බොහිමියන් රැප්සඩි වලට පැරණි ෆ්‍රෙඩී රසිකයින් එතරම්ම රුචිකත්වයක් දක්වා නැති අවස්ථාත් ගොඩක් අන්තර්ජාලයේ හමුවෙනවා. ගුවන්තොටක බැගේජ් ඔසවමින් සිටි ෆ්‍රෙඩී, ඔහුගේ ටැලන්ට් එකට අවස්ථාවක් දෙනවා. ඒ තුළින් ඔහු විශාල ජනප්‍රියත්වයක් සහ මුදල් උපයනවා. ඒ නිසාම වැළඳුණු ඒඩ්ස් වලින් ෆ්‍රෙඩී අකාලයේ මිය යනවා. සමහර විට බැගේජ් හැඩ්ල් කරපු ෆ්‍රෙඩී එහෙම්ම හිටියනම් ඔහු වැඩි කාලයක් ජීවත් වේවි. ඒත් ඒ අසාමාන්‍ය අමරණීය ගායකයා සහ ඔහුගේ නිර්මාණ කවදාවත් දකින්නට නොලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *