ජාත්‍යන්තර සිනමාවේ නම රන්දපු අපේ නිළියෝ

සමහරු කියන විදිහට අපේ රටේ කලාත්මක සිනමාව ඉන්දියාවේ කලාත්මක සිනමාවටත් වඩා ඉදිරියෙන් තියනවලු. ඒ කතාව ඇත්තද නැද්ද කියන්න නම් අපිට අමාරුයි. ඒත් අපිට එක දෙයක් නම් පිළිගන්න වෙනවා. ඒ තමයි අපේ රටේ දක්ෂ නළුනිළියන් වගේම දක්ෂ සිනමාකරුවනුත් රාශියක් හිටියා සහ ඉන්නවා කියන එක, .මේ නිසාම අපේ රට සමහර ජාත්‍යන්තර සිනමා නිර්මාණවලට පසුතල විදිහට භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම අපේ රටේ නළු නිළියෝ විදෙස් සිනමා නිර්මාණවලටත් දායක වෙලා තියෙනවා. ඒ අතරිනුත් නිළියෝ ප්‍රමාණය වැඩියි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ෆිල්ම්ෆෙයාර් සඟරාවේ කවරය හැඩකරපු පළමු විදෙස් නිළිය වෙන්නේ අපේ රුක්මණී දේවී. ඒ වගේම රාජ් කපූර් ඇයට හින්දි සිනමාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනයක් කළා කියලත් කියනවා. නමුත් ඇයට ඒ අවස්ථාව මග ඇරෙනවා. අපි දැන් බලමු තමන්ට ලැබුණු අවස්ථා මග නොහැර විදෙස් සිනමා නිර්මාණවලට එකතු වුණු නිළියන් කීප දෙනෙක් ගැන.

 

1. මොරීන් හින්ගර්ට්

Image Source – jalan2ombin.blogspot.com

1937 ජනවාරී 09 වෙනිදා ඉපදුණු මොරීන් හින්ගර්ට් බර්ගර් ජාතික තරුණියක්. ඇය අධ්‍යාපනය ලබන්නේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. 1955 දී ඇය මිස් සිලෝන් කිරුළ දිනාගන්නවා. ඇයගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ විශ්ව රූ රැජින කිරුළ. ඇය ලංකාවේ නම විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට පළමුවරට ගෙනියනවා. ඇය විශ්ව රූ රැජින තරඟයෙන් තෙවන ස්ථානය දිනාගන්නවා. ඒත් එක්කම මොරීන්‍ට හොලිවුඩ් සිනමාවේ දොරටු විවර වෙනවා. ඇය යුනිවර්සල් සහ ටුවෙන්ටිත් සෙන්චරි චිත්‍රාගාර සමග ගිවිසුම් අත්සන් කරනවා. The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail වගේ චිත්‍රපටි රාශියක චරිත නිරූපණය කිරීමට ඇයට අවස්ථාව ලැබෙනවා. Mario Armond Zamparelli සමග විවාහ වෙන ඇය ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෙනවා. නමුත් ඇයට ශ්‍රී ලංකාවේ නිපදවුණු සිනමා නිර්මාණ සඳහා නම් දායක වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

 

2. දෙනවක හාමිනේ

Image Source – fragmenteyes.blogspot.com

සිංහල සිනමාවේ අත්තම්මා විදිහට සැලකෙන්නේ දෙනවක හාමිනේ, කලා ක්ෂේත්‍රයේ අය නම් ඇයට කිව්වේ දෙනවක ආන්ටි කියලා. සත් සමුදුර චිත්‍රපටියේ ඇගේ චරිත නිරූපණය සිංහල සිනමාවේ විශිෂ්ටතම චරිත නිරූපණ අතරින් එකක් විදිහටයි සැලකෙන්නේ. ඇයට ජාත්‍යන්තර සිනමා නිර්මාණයකට සහභාගී වෙන්න ලැබීම එක්තරා විදිහකට අහම්බයක්. ස්ටීවන් ස්පීල්බර්ග් Indiana Jones and the Temple of Doom චිත්‍රපටිය ලංකාවේ නිෂ්පාදනය කරන්න තීරණය කරනවා. ඒ නිසා ඔහු ලංකාවේ නළු නිළියන් කීප දෙනෙක්වත් චිත්‍රපටියට දායක කරගන්නවා. දෙනවක හාමිනේට නිරූපණය කරන්න තියෙන්නේ අඬා වැලපෙන මවකගේ චරිතයක්. ඒ චරිතය නිරූපණය කරන්න ඇයට ග්ලිසරින් ලබා දෙනවා. දෙනවක හාමිනේ ග්ලිසරින් ප්‍රතික්ෂේප කරනවා. ස්පීල්බර්ග් ඇයගෙන් ඇයි කියලා අහනවා. ඇය කියනවා තමන්ට කඳුළු ගන්න ග්ලිසරින් අවශ්‍ය නෑ කියලා. ඇය එතනදි බිම හැපි හැපි කඳුළු හලමින් අඬනවා. පුදුමයටත් සන්තෝසයටත් පත්වෙන ස්පීල්බර්ග් දෙනවක හාමිනේව වැළඳ ගන්නවා. හැබැයි චිත්‍රපටියේ නාමාවලියේ නම් අපිට අපේ චිත්‍රපටි නාමාවලිවල වගේ දෙනවක හාමිනේ කියන නම මුණ ගැහෙන්නේ නෑ. හම්බ වෙන්නේ D.M Denawaka කියන නම. ඒ කියන්නේ දෝන මෙරායා දෙනවක කියන දෙනවක හාමිනේගේ ඇත්ත නම.

 

3. සරලා කාරියවසම්

Image Source – midcenturymodernmag.com

ලංකාවේ බොහෝ ළමා චිත්‍රපටි නිර්මාණ කෙරිලා තියෙනවා. සමහර ළමා චිත්‍රපටි ජාත්‍යන්තර ඇගයීම්වලටත් ලක්වෙලා තියෙනවා. ඒත් ඒ කිසිම අවස්ථාවකදි ළමා නළුවන්ගෙ හෝ නිළියන්ගේ රංගන ප්‍රතිභාව ඇගයීමකට ලක්වුණේ නෑ. නමුත් ලංකාවේ ළමා නිළියක් හොලිවුඩයෙන් ඇගයීමට ලක්වුණා. ඇය නමින් සරලා කාරියවසම්. ඒ ලංකාවේ නිපදවුණු, ඉන්දීය සිනමා අධ්‍යක්ෂිකා දීපා මේතා අධ්‍යක්ෂණය කරපු ” Water” චිත්‍රපටියේ චුයියා කියන ප්‍රධාන චරිතය රඟපෑම වෙනුවෙන්. ඇය නිරූපණය කළේ ළමා වැන්දඹුවකගේ චරිතයක්.ඉන්දියාවෙන් මේ චිත්‍රපටියට එල්ල වුණු විරෝධතා නිසා දීපා ලංකාවේ මේ චිත්‍රපටිය රූගත කරන්න තීරණය කළා. ඒ අතරතුරේදී දීපා තීරණය කරනවා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට ලංකාවෙන්ම ළමා නිළියක් හොයාගන්න. සම්මුඛ පරීක්ෂණ කීපයකින් ඇය සරලාව තෝරාගන්නවා. මේ වෙනකොට හින්දි වචනයක් හෝ නොදන්න සරලා මේ අභියෝගය බාරගන්නවා. අවසානයේදී ඇයගේ රංගනයේ විශිෂ්ටත්වය ගැන හැමෝම කතා කරන්න ගන්නවා. අවසානයේදි ඇයගේ රඟපෑම අගය කරමින් හොලිවුඩ් තරුණ කලාවේදීන්ගේ සංගමය විසින් හොඳම ළමා නිළියට හිමි සම්මානය ඇයට පිරිනමනවා.

 

4. සබීතා පෙරේරා

Image Source – slactresshot.blogspot.com

කරච්චි ගුවන්තොටුපලින් බැහැලා තමන්ගේ හෝටලයට යන්න හිටපු ප්‍රතාපවත්, නළුවෙකුගේ පෙනුමක් තියෙන කෙනෙක් ටැක්සියකට ගොඩ වෙනවා. ටික වෙලාවකින් රියැදුරා මේ ප්‍රතාපවත් පුද්ගලයා එක්ක කතාවට වැටෙනවා. “ඔබතුමා මොන රටෙන්ද?” රියැදුරා ඉංග්‍රීසියෙන් අහනවා. “මම ශ්‍රී ලංකාවෙන්” අර පුද්ගලයා උත්තර දෙනවා. “ආහ් ඒ කියන්නේ අපේ සබීතා පෙරේරාගේ රටෙන් නේද?” කියලා ආපහු රියැදුරා අහනවා.මේ ප්‍රතාපවත් පුද්ගලයගේ නම ගාමිණී ෆොන්සේකා. දැන් ඔයා කල්පනා කරනවා ඇති කොහොමද අපේ සබීතා පෙරේරා, පාකිස්ථානේ “අපේ සබීතා පෙරේරා” කියලා හැඳින්වුණේ කියලා. උත්තරේ තමයි සබීතා පෙරේරා කාලයක් පාකිස්ථාන සිනමාවට සම්බන්ධ වෙලා හිටියා කියන එක. ඒ වගේම ඇය පාකිස්ථානයේ හොඳම නිළියට හිමි සම්මානය වගේම ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් දිනාගත්තා. පාකිස්ථානය ඇතුළේ ඇයව හැඳින්වුණේ “සුන්දර ඇස් ඇති නිළිය” කියලා.

 

5. උමාලි තිලකරත්න

Image Source – elakella.com

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක්. නමුත් බොහෝ දෙනා දන්නේ නැති වුණාට උමාලි විදෙස් චිත්‍රපටි තුනකට විතර තමන්ගේ රංගන දායකත්වය ලබාදීලා තියනවා. ඇය මුල්ම වතාවට විදෙස් සිනමා නිර්මාණයකට දායක වෙන්නේ “Mother Teresa of Calcutta” හරහා. ඒ චිත්‍රපටියෙත් රූගත කිරීම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාව තුළ. උමාලි දායක වෙන දෙවෙනි විදෙස් සිනමා නිර්මාණය වෙන්නේ “The Final Judgement” කියන ජපාන චිත්‍රපටිය. ඇය නිරූපණය කරන්නේ “Lin” කියන චරිතය. 2015 දී ඇය “Equals” කියන සිනමා නිර්මාණයටත් දායක වෙනවා.

 

6. මීනා කුමාරි

Image Source – youtube.com

මේ දවස්වල වැඩිපුර පේන්න නොහිටියත් මීනා කුමාරි අපිට ඉන්න දක්ෂ නිළියක්. ලංකාවට මීනා කුමාරි වුණාට මලයාලම් සිනමා රසිකයෝ ඇයව දන්නේ “කාලි” විදිහට. සාජි එන් කරූන් කියන අතිදක්ෂ මලයාලම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ “කුට්ටිෂාන්ක්” කියන සිනමා නිර්මාණය තුළ දී තමයි ඇය කාලි බවට පත්වෙන්නේ.

 

7. ජැකලීන් ෆර්නැන්ඩස්

Image Source – wallpaperup.com

ජැකලීන්ගේ රූපේ මේ දවස්වල අපේ සිනමාහල්වල පුවරුවල දකින්න ලැබෙන එකේ විශේෂයක් තියෙනවා. දැන් ඔයා කල්පනා කරයි ජැකලීන්ව ඉතින් බොලිවුඩ් චිත්‍රපටියක් ප්‍රදර්ශනය වෙද්දි ඕන තරම් පාර දෙපැත්තේ බිල් බෝර්ඩ්ස්වල තියෙන්නේ, මොකද්ද ඒකේ විශේෂත්වේ කියලා. විශේෂත්වය තමයි ජැකලීන් පළවෙනි වතාවට තමයි ලංකාවේ නිපදවෙන සිනමා නිර්මාණයකට දායක වෙන්නේ “According to Mathew” හරහා. අපේ රටේ ඉපදිලා, විශ්ව රූ රැජින තරගයට ලංකාව නියෝජනය කරපු ජැකලීන් කෙලින්ම නැවතුනේ බොලිවුඩයේ. ඒ ගැන විස්තර අපි වැඩිපුර කියන්නේ නෑ, ගහ දන්න අයට මොකටද ඉතින් කොළ.

මේ ලැයිස්තුවට එන්න තවත් නිළියෝ ඉන්නවා නම් එයාලා ගැනත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *