උයන්න පිහන්න සමත්කම් නැති අපේ වයිෆ්ලාගේ අතිනුත් නොයකෙුත් හදිසි අනතුරු නිසා අහම්බෙන් අමුතු කෑම වර්ග බිහිවෙනවා. ඒවාට අමුතු නම් තියලා පිළිගැන්වුවම අසරණ හබියලා හදිසි අනතුරු වලට ලක්වුණ අවස්ථාවනුත් වාර්තා වෙලා තියනවා. ඒ ගැන ලයිෆි අපි ලියලත් තියනවා. හැබැයි අපේ මේ ලිපිය ඒ ගැන නෙමෙයි.
මේ ලිපියෙන් අපි කියන්නේ හදිසි අනතුරු, අතපසුවීම් සහ අහම්බයන් නිසා මේ ලෝකෙට බිහිවුණ රසවත්ම ආහාර වර්ග 7ක් ගැනයි…
1. පොටේටෝ චිප්ස්
කර කර ගා යසට හැපෙන, ලොකු පොඩි භේදයක් නැතිව රස විඳින ලෝකේ ප්‍රසිද්ධම කෑමක් තමයි බැදපු අල පෙති එහෙමත් නැත්නම් පොටේටෝ චිප්ස් කියන්නේ. පොටේටෝ චිප්ස් වල උප්පත්ති කතාව 1853 අවුරුද්ද දක්වා ඈත අතීතෙකට දිව යනවා. එක්තරා හෝටලයක බැදපු අල සහිත ආහාරයක් ඇනවුම් කරපු පුද්ගලයෙක් ඒ ආහාරයේ රසයෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අල පෙති මහත වැඩියි, බෙරි වෙලා වැඩියි වගේ නොයෙකුත් වැරදි කියන මේ පුද්ගලයා ඒ ආහාරය හරවලා අරිනවා. මේ වැඩෙන් ඒ හෝටලයේ කෝකිවරයාට ටිකක් තරහ යනවා. එයා කරන්නෙ මිනිහෙක්ට කපන්න පුළුවන් තරම් හීනියට මේ අල පෙති නැවත කපලා, හොඳට බැදලා මේසෙට ආයෙම යවන එක. පුදුමේ කියන්නේ ඒ විදිහට හීනියට ක්‍රිස්පියට හැදුණු අල බැදුමට අර පුද්ලයාගෙන් ප්‍රශංසා හම්බවෙනවලු. ඒ විතරක් නෙමෙයි, වැඩි කාලයක් යන්න කලින් මේ සිහින් අල පෙති බැදුම අතිශය ජනප්‍රියත්වයකට පත්වෙනවලු.
2. බියර්
බියර් කියන්නේ දෙවියන් වහන්සේ අපිට ආදරේ කරන බවට තියන ප්‍රධානම සාක්ෂිය කියලා පුරාණේ ඉඳල එන කතාවක් තියනවනේ. ගතට සිසිලක්, හිතට උණුසුමක් එක්ක සැහැල්ලුවක් ගෙන දෙන මේ රන්වන් පැහැති පෙන නගින දියරයත් ඉතාම සතුටුදායක අහම්බයක් නිසා මේ ලෝකෙට බිහිවුණ එකක්ය කියලයි ඉතිහාසඥයො විශ්වාස කරන්නෙ. පාන් හදන්න ගබඩා කරන ධාන්‍ය වර්ගයක් තෙතබරිත පරිසරයකදි ඊස්ට් එක්ක මුසුවීමෙන් බියර් නිර්මාණය වීමේ මූලික අඩිතාලම වැටුණා කියන එක තමයි මේ ගැන තියෙන ප්‍රධානම මතය. අද වෙද්දි ලෝකයේ ජනප්‍රියම ඇල්කොහොල් වර්ගය හැටියට මේ අහම්බයෙන් බිහිවුණු පානය වැජඹෙනවා.
3. පොප්සිකල්
නොයෙකුත් රසයන්ගෙන් යුතුව දිව පිනවන, සිසිල ගෙනෙන පොප්සිකල් එක හොයාගෙන තියෙන්නෙ අවුරුදු 11ක කුඩා ළමයෙක් කියල කිවුවොත්? පුදුමත් හිතෙනවා නේද? ඇත්තටම මේක අහම්බෙන් සිද්ධ වුණු සොයාගැනීමක්. 1905 අවුරුද්දේ එක් හැන්දෑවක ෆ්රෑන්ක් එපර්සන් කියන ළමයා බීම මිශ්‍රණයක් ලී කෝටුවකින් මිශ්‍ර කරමින් සෙල්ලමේ නිරත වෙනව. පස්සෙ රෑ කෑමට මෙයාට ගෙදරින් අඬගහපු නිසා බීම එක අමතක කරලා ගේ ඇතුළට යනවා. ආපහු පහු වෙනිදා උදේ කුඩා ෆ්රෑන්ක් මේ බීම එක දකිද්දි ඒක අධික ශීතලට ඝන වෙලා. ලී කෝටුවක ගහලා එන රසැති අයිස් කුට්ටිය ගැන අදහස හිතේ පැළපදියම් කරගන්නා ෆ්රෑන්ක් පස්සෙ කාලෙක එප්සිකල් නමින් මේ පොප්සිකල් නිපදවන්නට පටන් ගන්නවා.
4. අයිස් ක්‍රීම් කෝන්
1905 අවුරුද්දේ උදේ වරුවක ෆ්රෑන්ක් එපර්සන් පොප්සිකල් එකක් දැකලා පුදුම වෙද්දි මේ ලෝකෙට අයිස් ක්‍රීම් කෝන් එක හඳුන්වලා දීලා අවුරුද්දක්වත් නැති තරමයි. මේ අහඹු සොයාගැනීම සිද්ධ වෙන්නෙ ඇමරිකාවේ මිසූරි වල පවත්වපු අන්තර්ජාතික ප්‍රදර්ශනයක් අතරතුරයි. මේ ප්‍රදර්ශන භූමියෙ එකිනෙකා අසළ කුටි වලට වෙලා කෑම වර්ග විකුණගෙන වෙළෙන්දො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අයිස් ක්‍රීම් විකුණන්නෙක්. අනිත් කෙනා වොෆල් වලට සමාන මැද පෙරදිග පේස්ට්‍රි වර්ගයක් විකුණපු අයෙක්. අයිස් ක්‍රීම් වෙළෙන්දගෙ අයිස් ක්‍රීම් දාන කෝප්ප ටික වෙලාවකින් ඉවර වෙනවා. එයා අයිස් ක්‍රීම් දාන්න බඳුන් හොය හොය ලතැවෙද්දී පේස්ට්‍රි විකුණපු වෙළෙන්දා තමන්ගේ සිහින් පේස්ට්‍රි වර්ගය කෝන් එකක් හැටියට රෝල් කරලා අයිස් ක්‍රීම් වෙළෙන්දාට දීල තියනවා අයිස් ක්‍රීම් දාල විකුණනන්න කියලා. ඉතාම සුළු වේලාවකින් අතිශය ජනප්‍රියත්වයට පත්වෙන මේ නව එකමුතුව නිසා තමයි අදටත් අපි රසවිඳින වොෆල් අයිස්ක්‍රීම් කෝන් එක ලෝකෙට එන්නෙ.
5. කෝන් ෆ්ලේක්ස්
සෞඛ්‍ය හිතකර උදෑසන ආහාරයක් හැටියට ප්‍රසිද්ධ කෝන් ෆ්ලේක්ස් නිෂ්පාදනයේ ආරම්භය 1894 වර්ෂය දක්වා අතීතයකට දිවයනවා. අදටත් කෝන් ෆ්ලේක්ස් වලට ප්‍රසිද්ධම නාමය වන කෙලොග්ස් නාමයේ හිමිකරුවා වුණු ජොන් හාවි කෙලොග්ස් සහ ඔහුගේ සහෝදරයා අතින් වන අතපසුවීමක් හින්දා තමයි කෝන් ෆ්ලේක්ස් ආහාරය උපත ලබන්නේ. මේක පිටිපස්සේ තව රසවත් කතන්දරයකුත් තියනවා. කෙලොග්ස් සහෝදරයෝ විශ්වාස කරලා තියනවා රසකාරක වලින් තොර, ධාන්‍යමය නිර්මාංශික ආහාර මගින් කාමුක සිතුවිලි සහ ආශාවන් දමනය කරල මිනිසුන්ගේ සිතුම් පැතුම් පවිත්‍ර කරන්න පුළුවන්ය කියල. ඒ අනුව ඒ අය කරපු අතහදාබැලීමකදී අමතකවීමකින් ධාන්‍ය වගයක් වේලිලා නරක් වීමකට ලක්වෙනව. මේවා අපතේ හරින එක අපරාදෙ නිසා මේ දෙන්නා කරන්නේ ඒ ධාන්‍ය යන්ත්‍ර මගින් රෝල් කරලා ශීට් එකක් වගේ තලපයක් හදන්න උත්සාහ කරන එකයි. ඒත් අන්තිමට ඒ යන්ත්‍රය මගින් හැදෙන්නේ ධාන්‍ය වල තැලුණු පතුරු රැසකුයි. මේ පතුරු, එහෙමත් නැත්නම් ෆ්ලේක්ස් ටෝස්ට් කරලා අරගෙන තමයි මේ අය අවසානෙදි ෆ්ලේක්ස් ආහාරය හැටියට මේක ලෝකයට හඳුන්වලා දෙන්නෙ.
6. සැන්ඩ්විච්
කම්මැලි කම සහ නරක ඇබ්බැහිවීමක් නිසා අහම්බෙන් මේ ලෝකෙට බිහිවෙච්ච කෑමක් තමයි අපි කවුරුත් කන සැන්ඩ්විච් එක. සැන්ඩ්විච් එකේ ඉතිහාසය 1762 අවුරුද්ද තරම් ඈතකට දිවෙනවා. ජෝන් මොන්තේගු කියන්නේ සැන්ඩ්විච් හි 4 වැනි අර්ල්වරයා හැටියට නිලතල දැරූ අයෙක්. ඔහු සූදුවට දැඩි ලෙස ඇබ්බැහි වුණ පුද්ගලයෙක්. දූ කෙළියට ගියහම දවස් ගණන් එක දිගට පුටුවෙන් නැගී නොසිට ක්‍රීඩා කරන්නෙක්. ඉතින් දවසක් දිගින් දිගටම ඇදී ගිය සූදු කෙළියක් අතරතුර සැන්ඩ්විච්හි අර්ල්වරයා කෝකියෙක්ට අණ කරනවලු පුටුවෙන් නැගිටින්නේ නැතිව ලේසියෙන් කන්න පුළුවන් විදිහේ කෑමක් ගෙන්න කියලා. අන්න එතකොට කෝකියා අරගෙන එනවලු කපපු පාන් පෙති මැදට මස් පෙති දමාපු ලෝකයේ මුල්ම සැන්ඩ්විච් එක. කඩිමුඩියෝ මේ පාන් සහ මස් පෙති ගිලදමමින් ක්‍රීඩා කරන සැන්ඩිවිච් හි අර්ල්වරයාව දකින ඔහුගේ සූදු මිතුරනුත් “Same as Sandwich” කියලා ඒ පාන් පෙති ඇනවුම් කරනවලු. අන්න ඒ විදිහටලු පාන් සැන්ඩ්විච් එකට ඒ නම වැටුණෙ.
7. යෝගට්
යෝගට් කියන නම බිඳිල ඇවිල්ල තියෙන්නෙ තුර්කි භාෂාව ඇසුරින් කියල තමයි දැනගන්නට ලැබෙන්නෙ. ඈත අතීතයේදී මධ්‍යම ආසියානුවන් කිරි ප්රවාහණය කරන්නට යොදාගෙන තියෙන්නේ සත්තුන්ගේ උදර කොටස් වලින් හදාගත්ත මලු වලලු. මෙහෙම ප්රවාහණය කරද්දී ඒ කිරි කැටිගැහුණු ස්වරූපයකට පත්වෙන බවක් ඔවුන් නිරීක්ෂණය කළාලු. මේ විදිහට කැටි ගැහුණට ඒ කිරි වල නරක් වීමක් සිද්ධ නොවී කෑමට ගන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන බවටත් ඒ අය තේරුම් ගන්නවලු. සතුන්ගේ බඩවල් වලින් නිපදවපු අසුරණ වල තිබුණ බැක්ටීරියා සමග කිරි ප්‍රතික්‍රියා කිරීමෙන් මේ තත්ත්වය ඇතිවෙන බව තේරුම් ගැනීමත් එක්කම යෝගට් කියන ආහාරය නිෂ්පාදනය වීම ඇරඹුනා කියලා තමයි පැවසෙන්නේ.
Leave a Reply