මොන තරම් උත්සාහ කරත් අද වෙනකොට සාමාන්‍ය ජීවන මට්ටමකට හැඩගැහුණු කාන්තාවක් අතින් වියදම් සිද්ධ වෙනවා. ගැහැණු අතින් විතරක් නෙවෙයි පිරිමිත් නිස්කාරණේ මුදල් නාස්ති කරන අවස්ථා තියනවා. මේ සල්ලි එක්ක සම්බන්ධ හරඹය සමහරු කොහෝමින් හරි පාලනය කරනවා. සමහරුන්ට නම් ටැප් එක ඇරියා වගේ තමයි. ඉතින් මේ දෛනික වියදම් ගොඩේ කාන්තාව අතින් පොදුවේ වියදම් වෙන්නේ මේ දේවලට තමයි. මේකෙන් කියන්නේ නෑ මේ දේවල් කාන්තාවන්ට පමණක් අනන්‍ය වෙනවා කියලා
1. රූපලාවණ්‍ය
තමන් කඩේට ගිහින් මොනා හරි සැන් පවුඩර් එකක් ගැනීමේ ඉඳලා සැලුන් එකකට ගිහින් ඇහිබැමි උගුල්ලන එක දක්වා ලොකු වපසරියක බියුටිකචල් ලෝකයක් තියනවා. ලස්සනට ඉන්න ඇති දැඩි කැමැත්ත නිසා ආයාසයකින් තොරවම මේ දේවල් කරන්න පෙළඹෙනවා. ඔය මැස්කාරා, ටෝනර් අනම්මනම් ගිනි ගණන් නේ. අනික විනාඩි 5ක 10ක මොනම හරි බියුටිකචල් වැඩේකට පුදුමාකාර විදියට අය කරනවනේ. වෙන ඕනි නෑ ඉතින් රුපියල් 100ට කපතහැකි කොණ්ඩේ මේ රූපලාවණ්‍යයක් නිසා 500ක් වෙලා තියනවනේ. කමක් නෑ මොනවා වුණත් ලස්සනට ඉන්න ඕනි.
2. ඇඳුම්
ෂොපින් කරන්න ගියාම අරකත් ඕනි මේකත් ඕනි මට්ටමේ තැනකට වැටෙන එක සෑහෙන සාමාන්‍ය දෙයක්. හැබැයි අසාමාන්‍ය දේ තමයි මේ වෙනුවෙන් වෙන වියදමේ ස්වාභාවය. ටිකක් හොඳ ගවුමක් ගන්නවා නම් අවම වශයෙන් රුපියල් 1500ක්වත් යනවා. ඩෙනිමක් බලනවා නම් රුපියල් 2000ක්වත් යනවා. අනික සාරි හෙමත් දැන් ගිනි ගණන්. දැන් මේවා ගණන් කියලා ගන්නේ නැතුව ඉන්නද? නෑනේ. කොහෙන් කැරකිලා මොන රෝල ගැහුවත් ඔතෙන්ට එනවා. බිලක් අතට එනවා. පොකැට්ටුවෙන් දෙනවා. සරලයි.
3. සඟරා සහ ආශ්‍රිත පොත්පත්
ගැහැණිය කියන එකට සමාන පද හොයන් එන්න කිව්වොත් සෙනික කරන්න ඕනි පත්තර ලෑල්ලකට දුවන් යන එක. දෙයිහාමුදුරුවනේ එක එක නම්වලින් කාන්තාවන්ට වෙන් වෙච්චි පත්තර වැහිවැහැලා. සමහර ඒවා ගුණාත්මක පැත්ත ගැනත් හිතන ඒවා. තවත් ඒවයේ සෝබන විතරමයි. සමහරවිට ගොඩක් අනවශ්‍ය දෙයක් වෙන්නත් පුළුවන් ඒත් දැක්කම ගන්නවා. ඔය පත්තර කලාවට අමතරව මාස්පතා වගේ එන සඟරා තියනවා. මේවා නම් ටිකක් ගණන්. හැබැයි ගන්නවා.
4. ශරීර සුවතාව
ජිම් එකකට යන්න ස්පා එකකට යන්න එන ආසාව සල්ලි ඉතුරුකරගන්නය කියලා නවත්වාගන්න ඕනි ආසාවක් නෙවෙයි. මේ දේවල්වලට අද රටේ කාන්තාවන් යොමු වෙලා තියනවා. ඒක මොන තරම් සතුටට කාරණයක් වුණත් ඒකටත් ලොකු වියදමක් දරනවා. එක එක ඖෂධ වර්ග සමහරු පානය කරනවා. පෙනඩෝල් පෙත්තක් ගන්නවා වගේ සූපින් දෙයක් නොවන නිසා පොකැට්ටුවට පොඩ්ඩක් දැනෙනවා.
5. අධ්‍යාපනය
අධ්‍යාපන අවස්ථා ඇත්තටම තියෙන්නේ අවුරුදු 13ක පාසල් ඉගැන්වීමෙන් පස්සේ කිව්වොත් එක අතකට හරි. සෑහෙන විෂය ධාරාවලින් ඉදිරියට යන අවකාශ තියනවා. හැබැයි මේවට අතගහන එකේ එකම අවුල වියදම විතරයි. පොදුවේ මේ වෙනුවෙන් කාන්තාව සැරටම වියදම් කරන්නේ තමන් වගේම අනික් අය ගැනත් හිතලයි. තමන් රැකියාවක් කරන ගමන් ඒ සමගාමීව කරන්න හිතන පාඨමාලාවක් වේවා තමන්ගේ ළඟම නෑදෑයෙකුගේ වේවා අධ්‍යාපන අවස්ථා සෑහෙන වියදම් ඇති කරවනවා.
6. කෑම
දවසේ ඕනම වෙලාවක කොෆී ෂොප් එකක් පැත්තේ ගියොත් පොතක් නැති නම් ලැප්ටොප් එකක් තියාන කෝපි කෝප්පයක් තොළගාන ගෑල්ලමයෙක් දකින්න පුළුවන්. ඒක ඒ තරමට සාමාන්‍යයි. කොෆී ෂොප්වල තියෙන්නේ ගෙදර හදන් බොන කෝපි කෝප්පේ වගේ දහගුණේක විතර වියදමක්. මේ වගේ තැනක දී විතරක් නෙවෙයි අවන්හල්වල දවස ගතකරන්න බොහෝ කාන්තාවන් යන්නේ අලුතින් ම ආහාර සංස්කෘතියකුත් නිර්මාණය කරගෙනමයි. ඒත් ඉතින් වැඩේ ආර්ථිකමය වශයෙන් සැරයි.
7. සුබසාධන සේවා
චැරිටිවලට බහින එක දැන් එක්තරා විදියක උන්මාදයක් බවට පත්වෙලා තියනවා. සමහරු සල්ලි තියන නිසාම මේවට දායක වෙන්නේ නැහැ. සමාජයට මෙහෙවරක් කරන උණ වගේම ඒ සමාජයෙන්ම යහපත් දෙයක් බලාපොරොත්තුවෙන් මේ දේවල් කරන කොට්ඨාසයක් ඉන්නවා. සමහරු මහා පරිමාණයෙන් මේවාට දායක වෙනවා. පොකැට්ටුවත් ඉවසන්නේ මේක හොඳ වැඩක් නිසයි.
ගැහැණුන්ට වඩා පිරිමි වියදම් කරනවා ය, පිරිමින්ට වඩා ගැහැණු වියදම් කරනවා ය කියන කතාව නම් කෙස් පැලෙන කතාවක්. හැමදේට ම ගැහැණු පිරිමි මල් පළතුරු ගාවගන්න බොළඳ ඩෑල් එකක කතාවක්.
Leave a Reply